ඇල්ලේ ගුණවංශ හිමිපාණෝ අගමැති ගේ මෙහෙය අගයති
ඉන්දුනීසියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2024.09.12) කොළඹ බෞද්ධාලෝක මාවතේ ධර්මායතනයේදී පැවැත්විණි.
ඉන්දුනීසියාවේ තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබිං (Dewi Gustina Tobing) මහත්මිය විසින් බුද්ධ ප්‍රතිමාව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලද අතර, අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් එම ප්‍රතිමාව ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමියන් වෙත පිළිගැන්වීය. ආසියානු රටවල බුද්ධ ප්‍රතිමා සඳහා කැප කර ඇති විශේෂ අංශයේ ඉන්දුනීසියානු පිළිරුව ස්ථාපිත කිරීමට නියමිතය.
දර්ශනීය ශෛලමය බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ඉන්දුනීසියානු තානාපතිවරයාට සහ ජනතාවට ස්තූතිය පුද කළ ඇල්ලේ ගුණවංශ හිමියෝ ධර්මායතනයට වැඩි කාලයක් සම්බන්ධ වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරියේ මෙම ප්‍රතිමාව පිළිගැන්වීම සුවිශේෂී කරුණක් බව පැවසූහ. අවුරුදු 45 ක් පුරා ධර්මායතනය මුල්කරගෙන පවත්වනු ලබන ජාතික, ආගමික, සමාජීය කටයුතුවලට සම්බන්ධ වෙමින් මේ රටේ බෞද්ධ ප්රබෝධයක් ඇති කිරීමට අග්‍රාමාත්‍යවරයා මැදිහත් වූ බව ඇල්ලේ ගුණවංශ හිමිපාණන් වහන්සේ පෙන්වා දුහ.
බුද්ධ ප්‍රතිමාව පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමිපාණෝ ඉන්දුනීසියානු රජයට සහ ඉන්දුනීසියානු බෞද්ධ ප්‍රජාවට මෙන්ම ජෝග් ජකර්තා හි බෞද්ධ විහාරවාසී ශ්‍රී පඤ්ඤාසාර මහතෙරුන්ට ද ස්තූතිය පුද කළහ.
“අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ රටේ බුදුදහමේ පුනර්ජීවනයට සහයෝගය දක්වන අතර ථෙරවාදී බෞද්ධ රටවල සහ අනෙකුත් මිත්‍ර රටවල බුදුපිළිම මෙහි ප්‍රදර්ශනය කරමින් මෙහි පැමිණෙන සංචාරකයින්ට සහ බෞද්ධයින්ට වැඳ පුදා ගැනීමට හැකිවන ලෙස යෝජනා කළ බවද ඇල්ලේ ගුණවංශ හිමියෝ සදහන් කළහ.
ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීන මිත්‍රත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ පරිත්‍යාග කිරීම සනිටුහන් කරන බව තානාපතිනි දේවි ගුස්ටිනා ටෝබිං මහත්මිය පැවසුවා ය. ඉන්දුනීසියාව මිලියන 3 ක බෞද්ධයන්ගේ නිවහනක් බවත්, ලොව විශාලතම බෞද්ධ විහාරය වන බොරෝබුදුර් විහාරස්ථානයේ පොහොසත් උරුමය පිළිබඳව රට ආඩම්බර වන බවත් ඇය පැවසුවාය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, ඉන්දුනීසියානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, බෞද්ධ බැතිමතුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය