චරක භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය
ඉල් මාසය යනු චන්ද්‍ර දින දසුනේ වප් සහ උඳුවප් අතර මාසය යි.
බුදු සමයට අදාළ සිදුවීම් රැසකට, ඉල් පොහොය දිනය සම්බන්ධ බව බෞද්ධ ඉතිහාසයෙහි දැක්වේ. එහෙයින් ම මේ උතුම් පෝ දිනය බලවත් තැනෙක්හි ලා සඳහන් කිරීම වටී.
මෛත්‍රී බේධිසත්වයණෛා් විවරණ ලැබීම,
ප්‍රථම ධර්මදූත මෙහෙවර,
ජටිල දමනය,
අගසව් සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම,
කඨින චීවර පූජා කළ හැකි අවසන් දිනය අදට යෙදී තිබීම.
සැවත් නුවරට ආසන්න සංකස්ස නුවර මහාසාල නම් සිටු කුලයෙහි සිරිවඩ්ඩන නම් සිටුවරයා ගේ පුත්‍රරත්නය ලෙස මෛත්‍රී බෝධිසත්වයාණන් වහන්සේ ඉපිද සිටියහ. එතුමෝ සියලු සිල්ප සාස්ත්ර ප්‍රගුණ කොට සිටියහ. මාපිය උභය පාර්ශ්වයන්ගෙන් අති විශාල මහා ධනස්කන්ධයකට හිමිකම් කියමින් සිය සහපිරිවර දනන් සමඟ දිවි ගෙවූහ.
අපේ ගෞතම බුදුපියාණන් වහන්සේ තම මෑණියන් වූ මාතෘ දිව පුතණුවන් ප්රමුඛ දෙවිවරුනට අභිධර්මය දේශනා කොට තව්තිසා දෙව්ලොවින්, මිනිස් ලොවට වැඩ වදාළේ සංකස්ස නම් නුවරනි.
බුදුන් වහන්සේ, සැරියුත් රහතන් වහන්සේ හා දේවාවරෝහණ පූජාව ගැන ප්‍රශ්න හා විසඳුම් සාකච්ඡා කරද්දී ඊට සවන් දීමෙන් පැහැද සිත් ඇතිකර ගත්, මෙත් මහාබෝසතුන් සිය පිරිවර දනන් සමඟ සම්මා සම්බුදු රජාණන් වහන්සේ වෙත පැමිණ ආර්ය මෛත්‍රී නමින් පැවිදි දිවියට පිළිපන්නාහ.
එළඹි වස් කලෙක පූජා භාණ්ඩ සේ තම දායකයින් ගෙන් ලද, මහානර්ඝ වස්ත්‍ර යුගලකින් ලද එක් සිවුරක් බුදුරජාණන් වහන්සේ වැඩ වසන ගඳ කිළියෙහි වියනක් සේ පූජා කළ මෙත් බෝසතුන් වහන්සේ අනෙක් සිවුර තීරු තීරු වශයෙන් වෙන්කොට වියන් වටකොට එය ද බුදුරජාණන් වෙත පිළිගැන්වූහ.
එම පූජාවෙන් පසු සම්මා සම්බුදු රජාණෝ ''ස්ථවිරයෙනි, නූඹ මේ මහා භද්‍ර කල්පයෙහි මෛත්‍රී නමින් සම්බුද්ධත්වයට පත් වෙන්නේ ය" යැ යි මහසඟ මැද හුන් උන්වහන්සේ අමතා විවරණ දුන්හ.
අද වැනි දිනෙක තවත් වැදගත් ම සිදු වූ ක්‍රියාවක් නම් තමත් වහන්සේ වෙතින් පැවිදි දිවියට ඇතුළත් වූ සැටනමකින් සැදුම් ලත් පිරිස ලෝකයාගේ හිත සුව පිණිස ප්‍රථම ධර්මදූත සේවාවේ යෙදවීම යි. අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහ රහතන් වහන්සේ ප්රමුඛ පස්වග මහණුන් වහන්සේට මේ දූත පිරිසේ නායකත්වයට පත් කිරීම යි.
''මහණනි, බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුනට වැඩ පිණිස, හිත පිණිස, චාරිකාවේ හැසිරෙව්!" තෛයිලෝකනාථ බුදුපියාණන් වහන්සේ මේ ධර්මදූත පිරිසා අමතා වදාළහ. එසේ වදාරමින් සඳහන් කරන ලද්දේ
''දෙදෙනෙක් එක මඟ නොයව්!.'' යන උපදේශය යි.
''මම ද උරුවෙල් දනව්වේ සේනානි ගමට, ධර්ම දේශනා පිණිස යන්නෙමි. දෙනමක් එක මඟ නොයව්! මුල, මැද, අවසන අර්ථ සහිත වූ ද, ව්‍යඤ්ජන සහිත වූ ද ධර්මය දේශනා කරව්! ධර්මය අසන්නට නොලැබුණහොත් ,උසස් ගුණයෙන් ඔවුහු පිරිහෙත්. ධර්මය අසා අවබෝධ කරන්නෝ ඇතිවෙත්. එබැවින් ධර්මය දෙසීමට පිටත්ව යවු!!!''
ඉතා දුෂ්කරක්රියාවන් හි නිරතව අවසන මැදිමඟ ඔස්සේ අවබෝධ කරගත් ධර්මය පුළුල් ලෙස ලෝක වාසීන් වෙත පතල මහා අනුකම්පාවෙන් දෙසා වැදෑරීම අරමුණු කරගනිමින් උන්වහන්සේ ඒ ධර්මදූත සැටනමක් වූ ශ්‍රාවක ගණයාට වදාළ බව බෝ පැහැදිලි ය.උන් වහන්සේ ද ධර්මදූත සේවය ආරම්භ කළේ අද වැනි ඉල් පුර පසළොස්වක පොහෝ දිිිනෙ ය.
උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප යන තුන්බෑ ජටිලයෝ උරුවෙල් දනව්වේ නේරංජනා නදිය අසබඩ, ආරාම තුනක විසූවෝ දහසක් වූ සිය අනුගාමිකයන් ද සමඟ ය. බුදුදහමේ සත්‍යය බුදුරදුන් විසින් ඔවුනට පෙන්වා දීමෙන් පසු ඔවුන් සියලු දෙනා අනුගාමිකයින් වී සසුන් ගත වූහ. බුදුරදහු මොවුනට ආදිත්ත පරියාය සූත්‍රය දෙසූහ. ඒ අසා ඔවුන් සියලු දෙනා රහත් වූහ.
බුදුන් වහන්සේගේ දකුණත් අගසව් සැරියුත් මහ රහතන් වහස්සේ ප්‍රචලිත වූයේ සදහම් සෙන්පතිවරයාණන් සේ ය. උන් වහන්සේ පුදුපියාණන්ට පෙර පිරිනිවන් පෑමට ඉටා ගත්හ. ඒ අදහසෛහි පිහිටි සැරියුත් මහ රහතානන් වහන්සේ සිය උපන් ගමට වැඩියේ අන්යලබ්ධිකව දිවි ගෙවනා සිය මෑණියන්ට සසරින් එතෙරවීම පිණිස ඇය බෞද්ධ උවැසියක කිරීම පිණිසයි. තමන් වැලඳගත් දහම් මඟ ගැන ඇයට පවසමින් සාරිප්රතු රහතාණන් වහන්සේ බුදු හිමිගේ අනන්ත වූ ගුණ සමුදාය ද කෙබඳුදැයි පෙන්වා දෙමින් කළ දෙසුමින් ඇය සෝවාන් ඵලය ලැබී ය. ස්වකීය මව්තුමිය බුදුරදුනගේ අනුගාමිකාවක වී සෝවාන් ඵලය ලැබීමේ සතුටට පත් උන්වහන්සේ පිරිනිවන් පෑම උදෙසා නාලක ගමට වැඩම කළේ ද ඉල්මහේ පුන් පෝ දිනක ය.
මේ වස්සාන සෘතුවේ අවසන් දිනය ඉල් පොහෝ දිනයයි. ඉල් මාසය ‘කඨින චීවර මාසය’ ලෙසද බොහෝ දෙනා සලකති. ඉල් පෝ දිනෙන් කඨින හමාර කළ යුත්තේ ය. කඨින පූජාව උතුම් විපාක දෙන ආමිස පූජාවකි. අපේ ගමත් පන්සලත් අතර බැඳියාව සවිබල කරන අවස්ථාවක් ලෙස කඨින පින්කම හැඳින්වේ.
එක් විහාරස්ථානයක වසරකට එක් වතාවක් පමණක් සිදු කෙරෙන කඨින පින්කම වෙනුවෙන් පොළොන්නරුවේ මහ පැරකුම්බා රජතුමා සංඝයා වහන්සේලා තුන් දහස් හාරසිය තිස් දෙනෙකුට ද, කෝට්ටේ පරාක්‍රමබාහු රජතුමා අසූ මහ ශ්‍රාවක සංඝයාට මහ කඨින පූජාවක් පැවැත් වූ බව ද අපේ වංස කතාවන් හි සඳහන් බව ද සිහිපත් කළ යුත්තේ ම ය. සඳහන් කළ යුත්තේ ම ය.
