ආර්ථිකඋණුසුම් පුවත්

උරුමය සින්නකර ඉඩම් ඔප්පු ප්‍රදානය

මහනුවර රාජධානියට අවශ්‍ය සහල් ලබා දුන් වෙල්ලස්ස ප්‍රදේශය 1818 සටනින් පසුව වෙල්ලස්ස සම්පුර්ණයෙන් විනාශ වුණා

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20 ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොණරාගල  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක සුදුසුකම්ලාභීන් 41,960 ක් අතුරින් පුද්ගලයන් 600 ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (30) පෙරවරුවේ වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේ පැවත්විණි

 

''මහනුවර රාජධානියට අවශ්‍ය සහල් ලබා දුන්නේ මෙම වෙල්ලස්ස ප්‍රදේශයෙන්. නමුත් 1818 සටනින් පසුව වෙල්ලස්ස සම්පුර්ණයෙන් විනාශ වුණා. මෙහි ජිවත්වු ජනතාව අනෙකුත් ප්‍රදේශවලට ගියා"

සින්නක්කර ඔප්පුලාභීන් ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් මෙසේ ද පැවසී ය.

''ඉන් පසුව මොණරාගල දිස්ත්‍රික්කය නිර්මාණය වුණේ 1960 වසරේදීයි. 1977 මැතිවරණයෙන් පසුව මම මෙම ප්‍රදේශයට එන විට මෙම පළාත ඉතා නොදියුණු පළාතක්ව තිබුණා. 1977න් පසුව විවිධ ආණ්ඩු යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ  දියුණුව ආරම්භ වුණා.  පිට පළාත්වලින් පැමිණි ජනතාව මෙහි පදිංචි වුණා. නිවාස ඉදි කෙරුණා. ඒ සමඟ මෙම ප්‍රදේශය නාගරිකරණය වුණා. මේ ප්‍රදේශයේ ජනතාවගේ උත්සාහයෙන් මොණරාගල කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස දියුණු වුණා. මෙය ඔබේ මුතුත් මිත්තන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනැඟුණු ප්‍රදේශයක්. නමුත් මේ ප්‍රදේශයේ ජනතාවට සින්නකර ඉඩම් අයිතිය හිමිව තිබුණේ නැහැ. මොණරාගල දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මේ රට වෙනුවෙන් කළ සේවයට නිසි සැලකිල්ලක් හිමි වුණේ නැහැ. නමුත් අප මොණරාගල ගොවි ජනතාව වෙනුවෙන් කෘතවේදිත්වය පිරිනමමින් මෙම සින්නකර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ පිළිබඳ අප ඉතාමත් සතුටු වෙනවා"

''මොණාරාගල දිස්ත්‍රික්කය දියුණු කිරීමට නම් සින්නකර ඉඩම් අයිතිය ලබා දිය යුතුයි. ඇතැම් අය කිව්වා මේ ඉඩම් අයිතිය ජනතාවට ලබා දෙන්න එපා කියලා. ඇතැමුන් අධිකරණය ඉදිරියටත් ගියා. නමුත් අපි ඒ සියලුදේට මුහුණ දී අද ජනතාවට තමන්ගේ ඉඩම් අයිතිය ලබා දී තිබෙනවා"

"මේ ඉඩම් අයිතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. සියලුදෙනාම රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් විය යුතුයි. මෙම ප්‍රදේශවල කෘෂිකර්මය දියුණු කරමින් අප කඩිනමින් අපනය ආර්ථිකයට ගමන් කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. වරාය සහ ගුවන් තොටුපෙළ යන දෙකම මෙම ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා තිබෙනවා"

"ඒ නිසා උඩවලව, මොණරාගල, අම්පාර සහ මහවැලි සී කලාපය එක් කර  වියළි කලාපයේ  විශාල කෘෂිකර්මික කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ගොවි ජනතාවට ඉඩම් අයිතිය ලබා දීම පමණක් නොව, ඔවුන්ගේ ආදායම් ඉහළ නංවා ගැනීමට ප්‍රවේශ පත්‍රයක් ලබාදීමද උරුමය වැඩසහන හරහා සිදු වෙනවා. ඉදිරි වසර 30, 40 වන විට ලෝකයට අවශ්‍ය ආහාර සපයා ගැනීම විශාල ගැටලුවක් වෙනවා. අප  එම ආහාර සැපයීම සඳහා සුදානම් විය යුතුයි. ඒ වෙනුවෙන් සම්පූර්ණ කෘෂිකර්ම රටාවක් මෙම පළාත් තුළ ඇති කළ යුතුයි"

"ඒ වගේම හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල‍ විශාල ආයෝජන කලාප ඇති කිරිමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය සහ ධීවර කර්මාන්තය දියුණු කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ලේ සිට අම්පාර දක්වා විශාල වැඩකොටසක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉදිරි වසර 20 – 30 වන විට එම කටයුතු සිදු කළ යුතුයි. ඒ වන විට අප නොසිටියත් අපේ අනාගත පරපුර වෙනුවෙන් එම කටයුතු කළ යුතුයි. මෙම වැඩපිළිවෙළ සමඟ වැල්ලවාය විශාල දියුණුවක් ලබනවා. වැල්ලවායෙන් තමයි උඩරටට ප්‍රවේශ වන මාර්ගය තිබෙන්නේ. ඇල්ල, බිබිල මාර්ගයෙන් පස්සරට මෙම දියුණුව ගමන් කරනවා"

"උරුමය සින්නකර ඉඩම් ඔප්පු ලබාදීමේ දී මතුව තිබෙන ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා. කෙසේ හෝ අප මෙම වැඩපිළිවෙළ කඩිනම් කළයුතුයි. මේ ඔප්පු ලැබීමට සුදුසුකම් ලැබූ අයගේ නාම ලේඛනය සෑම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයකම තිබෙනවා. ඔවුන්ව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට කැඳවා ගැටළු තිබෙනවා නම් ඒවා විසඳමින් මෙම ඔප්පු ලබාදීම කඩිනමින් අවසන් කරන ලෙස මම සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඉල්ලා සිටිනවා"

"මෙම කටයුතු සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා සමඟ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාටත් එක් විය හැකියි.  මෙම මාසය තුළ මෙම කටයුතු අවසන් කළයුතුයි. වැඩිම  ඉඩම් ඔප්පු ප්‍රමාණයක්  ලබා දෙන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැව් ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 25 ක් ලබාදීමට මම කටයුතු කරනවා. මෙම වැඩසටහන් දෙකෙන්ම ජයග්‍රහණය කරන්නේ මේ රටේ සින්නකර ඉඩම් ඔප්පු ලබන ජනතාව බව කිවයුතුයි. මේ  ලබන ඉඩම් අයිතිය සමඟ අලුත් ජීවිතයක් ආරම්භ කරන ලෙස ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා" හේ වැඩ දුරරටත් ජනතාව අමතා සඳහන් කළේ ය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ  මන්ත්‍රීවරුන් විවිධ ප්‍රචාර ගෙන ගියා. නමුත් රජයක් වශයෙන් අප ඌව වෙල්ලස්සේ ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබාදීමට කටයුතු කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදීමට හැකිවීම අප ලද මහත් භාග්‍යයක් බව කිවයුතුයි. එතුමා දූරදර්ශී නායකයෙක්.එතුමා අමිහිරි තීන්දු තීරණ ගත්තේ රටේ සහ ජනතාවගේ යහපත වෙනුවෙන්. මෙවැනි නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළේ ද ඒ සඳහායි. වසර හතරක් තිස්සේ විමධ්‍යගත අරමුදල් ක්‍රියාත්මක වුණේ නැහැ.දැන් විමධ්‍යගත අරමුදල් ලැබෙන නිසා ගමේ සංවර්ධනය ආරම්භ වී තිබෙනවා. දූරදර්ශී නිර්මාණශීලී එතුමාගේ නායකත්වය තුළින් ඔබේ ආර්ථිකය  ශක්තිමත් වනු ඇති බව සඳහන් කළ යුතුයි.

රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා

දේශපාලන නියෝජිතයන් ලෙස අප බොහෝ අවස්ථාවලදී ඉඩම් ඔප්පු ලබා දී තිබෙනවා. නමුත් මේ ලබා දී තිබෙන ඔප්පුව සින්නක්කර ඉඩම් ඔප්පුවක්.  සින්නකර ඉඩම් අයිතිය නොමැති නිසා ජනතාව‍ට  විවිධ අපහසුතාවලට ලක්වීමට සිදු වුණා.

අද ලැබූ මේ ඔප්පුව ඔබේ දරුවාට ලැබුණු අයිතියක්. තවත් විශාල පිරිසකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙන ලෙස ජනාධිපතිතුමා අපට උපදෙස් ලබා දුන්නා. එදා අපි ගෑස්, ඉන්ධන පෝලිම්වල හිටියා. පොහොර නැතුව ඔබට ගොවි බිම්වලට යන්න විදිහක් තිබුණේ නැහැ.  අර්බුද හමුවේ එදා මේ රට බාරගන්න කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ. මේ රටේ අනාගතය බාර ගැනීම සම්බන්ධව ජනාධිපතිතුමාට අපේ ගෞරවය හිමි වෙනවා.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා

අද දිනය ඔබට ඉතා වැදගත් දවසක්. මහා පොළොව සමඟ පොරබදා අඟලක් නෑර වගා කර  ඔබ මේ රටට මහා අස්වැන්නක් ලබා දෙනවා. තුන් වේලටම බත් ඉල්ලන ජනතාව වෙනුවෙන් කළ සේවයට ඔබට අදසෙතක් සැලසී තිබෙනවා.

ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ විස්සක් ලබාදීමේ වැඩසටහන යටතේ වැඩිම ප්‍රතිලාභී සංඛ්‍යාවක් සිටින්නේ මොණරාගලේ දිස්ත්‍රික්කයේ බවද සඳහන් කළයුතුයි.පරම්පරා දෙක තුනක් තිස්සේ බලාගෙන සිටි ඔබේ අයිතිය අද ඔබට ලැබී තිබෙනවා.මෙම ප්‍රදේශයේ නිෂ්පාදනවලින් 60%ක් වෙනත් දිස්ත්‍රික්කවලට බෙදා හැරෙනවා. එය විශාල ප්‍රතිශතයක්.

එවන් විශාල ක්‍රියාවලියක් සිදුවන දිස්ත්‍රික්කයක් බැවින් ඒ සඳහා පහසුකම් සැපයීම වෙනුවෙන් ආර්ථික මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කළත් එය ඉටු කර ගැනීමට නොහැකි වුණා. නව ජනාධිපතිවරයා ලෙස පත්ව ඔබතුමා  ඉදිරි අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන වෙන් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.

රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද, මොණාරගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති කුමාරසිරි රත්නායක යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූහ.

පළාතේ මහා සංඝරත්නය ද, ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්,  වැල්ලවාය එක්සත් ජාතික පක්ෂ සංවිධායක චමින්ද සරත් යන මහත්වරු ඇතුළු පළාතේ දේශපාලන නියෝජිතයන් ද, මොණරාගල දිස්ත්‍රික් ලේකම් පසන් රත්නායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.