උණුසුම් පුවත්දේශපාලන

එක්ව ජය ගමු

රනිල් ගේ ගාලු රැලිය

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බවට පළමු වරට ජනපති  ජනතාව හමුවේ ප්‍රකාශ කරයි
මගේ අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීමයි
කිසිවිටෙක මා අභියෝග හමුවේ පැන ගියේ නැහැ : මා කථා කරමින් නොසිට වගකීම ඉටු කළා

 රට ඉදිරියට ගෙන යන බවට ජනතාවට දුන් පොරොන්දුව ද ඒ අයුරින්ම ඉටු කරනවා

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති රාමුවෙන් බැහැරව කටයුතු කරන බව යමෙකු පවසන්නේ නම් ඔවුන් පවසන්නේ රට අවදානමේ හෙළන අසත්‍යයක්
“එක්ව ජය ගමු - අපි ගාල්ල” ජන හමුව අමතමින් ජනපති පවසයි
ජනපතිගේ විජයග්‍රහණය වෙනුවෙන් ගාල්ලේ දී පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසක් රොඳ බඳිය

ගාල්ල දිස්ත්‍රික් ජනතාවගෙන් ජනපතිට ඉහළ පිළිගැනීමක්' ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා ක්‍රීඩාංගණයේ දී අද (27) පැවති “එක්ව ජය ගමු - අපි ගාල්ල” ජන හමුව අමතමින් ප්‍රථම වරට ජනතාව හමුවේ ප්‍රකාශ කළේය.
කිසිවිටෙකත් තමා අභියෝග හමුවේ පැන නොගිය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කතා කරමින් නොසිට වගකීම ඉටු කිරීම තම දේශපාලන පුරුද්ද බවත්, රට ඉදිරියට ගෙන යාමට ජනතාවට දුන් පොරොන්දුව ද ඒ අයුරින්ම ඉටු කරන බවත් අවධාරණය කළේය.
රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මග පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති මෙම ජන හමුවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ද ඇතුළුව අනෙකුත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50කට අධික පිරිසක් මෙන්ම හිටපු මැති ඇමතිවරු සහ ගාල්ල දිස්ත්‍රික් ජනතාව 15,000කට අධික පිරිසක් එක්ව සිටි අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවන බවට ඔවූහු සපථ වූහ.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයෙන් යුතු වත්මන් වැඩපිළිවෙල අනුව ඉදිරියට ගමන් කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී ඇති රාමුවෙන් බැහැරව කටයුතු කරන බව යමෙකු පවසන්නේ නම් ඔවුන් පවසන්නේ රට අවදානමේ හෙළන අසත්‍යයක් බවද ජනාධිපතිවරයා අවධාණය කළේය.
තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස බවද පැවසූ ජනාධිපතිවරයා තම අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට දිනවීම බවත් සියලු දේශපාලන භේද පසෙකලා තරුණ පරපුරට යහපත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්වන ලෙස සියලුම දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටින බවත් පැවසීය.
ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
මේ ගාල්ල දිස්ත්‍රික්කය මට විශේෂයි. මගේ පිය පෙළපත පැවත එන්නේ ගාල්ලෙන්. ඒ නිසා මෙම ගාලු පුරවරය සමඟ මගේ සම්බන්ධයක් තිබෙනවා. අද මම මේ නගරයට පැමිණියේ විශේෂ වැඩකටයුත්තක් වෙනුවෙන්. ඒ අනුව මම ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව මම දැනුම් දෙනවා.

ඒ සඳහා මා මේ වන විට ඇප මුදල් තැන්පත් කර තිබෙන බවද ප්‍රකාශ කළ යුතුයි. මම මේ තීරණය ගැනීමට පෙර සිතා බැලුවා.මීට වසර දෙකට පෙර මට මීට වඩා සිතා බලා තීරණයක් ගැනීමට සිදු වුණා.
2022 වසරේ මට අගමැතිකම භාර ගන්න ආරාධනා කළේ එය භාර ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවූ නිසයි. මං හිතන්නේ ලංකාවේත් ආසියාවේත් පළවෙනි වතාවට අගමැතිකම හිගමනේ යාම සිදු වුණේ. එය භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. මම අගමැති ධූරය භාරගත්තේ එදා මේ රටේ ජනතාව විඳි දුක දැක්ක නිසයි. ඉන්ධන පෝලිම්, ඖෂධ ලබා ගැනීමට පෝලිම් මෙන්ම පොහොර ලබා ගැනීමටද ජනතාවට පෝලිමේ සිටීමට සිදු වුණා. ඒ වගේම පාසල් වසා දමා තිබුණා. ව්‍යාපාර කඩා වැටිලා තිබුණා. ජනතාව විඳි මෙම පීඩාව දැකපු නිසා මේ රට භාරගෙන එය යළි ගොඩනඟනවා කියා මම තීරණය කළා. ඒ සඳහා මා තුළ දැඩි අධිෂ්ඨානයක් තිබුණා. මම වසර දෙකකින් එම කටයුත්ත සාර්ථකව අවසන් කළා. මම කිසි දිනක අභියෝග හමුවේ පැන ගියේ නැහැ. ඒ වගේම මම දීර්ඝ ලෙස කතා කරන කෙනෙක් නෙවෙයි. නමුත් වැඩකට අත ගැහුවොත් ඒ වැඩේ අවසන් කරනවා.
මම මේ රට ගොඩනැගීම ආරම්භ කළේ අසීරුම තැනක සිටයි. මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යෂතුමිය දැන සිටියා. එතුමියට මා කථා කරලා කිව්වා මට උදව් කරන්න කියලා. ඒ වගේම ලෝක බැංකුවේ සහාය ඉල්ලා සිටියා. ජපාන අගැමතිතුමාට කතා කර එතුමාගේ සහය ලබාගත්තා. මේ අනුව තමයි රට ඉදිරියට ගෙන ගියේ.
දැන් අප බංකොළොත්භාවයෙන් නිදහස්වන අවස්ථාවයි. මේ දක්වා පැමිණි ගමනේදී මට ඉතා අසීරු තීරණ ගැනීමට සිදු වණා. නමුත් මම එම තීන්දු තීරණ ගත්තා. කෙතරම් අසීරු වුවත් මාස හයක්, වසරක් ගත වන විට ජනතාවගේ ජීවන බර අඩු කළ හැකි බව මා දැන සිටියා.
අද රුපියල ශක්තිමත් වී තිබෙනවා. අපට අවශ්‍ය ආහාර බෝග තිබෙනවා. අද ඉන්ධන මිල දෙස බැලු විට වඩා පහසු ක්‍රමවේදයක් තිබෙනවා. ඉන්දියාවේ ක්‍රියාත්මක වන ක්‍රමවේදය වැන්නක් අද ඇති කර තිබෙනවා. මේ අයුරින් අප රට ඉදිරියට ගෙනවිත් තිබෙන බව කිවයුතුයි. නමුත් සියලු ජනතාවගේ ප්‍රශ්න තවම විසඳී නැති බව මා පිළිගන්නවා. ඇතැම් කණ්ඩායම් තවමත් අසීරුතාවන්ට මුහුණ දී සිටිනවා.
ග්‍රාමීය ජනතාව තමන්ගේ කණකර බඩු උකස් තබා තියෙනවා. පසුගිය අවුරුදු සමයේ බැංකු වල කණකර බඩු උකස් තැබීම රුපියල් බිලියන 250 සිට 500ක් දක්වා වැඩිවුනා. මෙම තත්ත්වය පිළිබද අපට අවබෝධ්‍යක් තිබෙනවා. අප ක්‍රමානුකූලව මෙම ප්‍රශ්න විසඳමින් සිටිනවා. අප කිසිවිටෙක් මෙම ජනතාව අමතක කර නැහැ. රටේ ආර්ථිකයක් ශක්තිමත් වීමත් සමඟ ඔවුන් වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහනයක්ම ලබා දෙනවා.
අස්වැසුම වැඩසටහන මඟින් සමෘද්ධිය මෙන් තුන් ගුණයක් මුදල් ලබා දීමට කටයුතු කර තිබෙනවා. එමෙන්ම එහි ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 18 සිට 24 දක්වා වැඩි කර තිබෙනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබා දෙනවා. උරුමය වැඩසටහන හරහා ලක්ෂ 20ක ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට කටයුතු කර තිබෙනවා. එපමණක් නොව කඳුකර ද්‍රවිඩ ජනතාව ජීවත්වන ලයින් කාමර පිහිටි ප්‍රදේශ ගම්මාන බවට පත් කර ඔවුන්ට ද ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරනවා. රටේ සාමාන්‍ය ජනතාවට අයිතිය ලබාදීම මගේ අරමුණයි. එය කිසිවිටෙක් අත නොහරින අතර රටේ සියලු ජනතාව ඇති හැකි ජනතාවක් බවට පත් කරන තුරු එම වැඩසටහන ඉදිරියට ගෙන යනවා.

 

ඒ වගේම ග්‍රාමීය ප්‍රදේශ දියුණු කිරීම වෙනුවෙන් අප කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩසයටහන ක්‍රියාත්මක වීමත් සමඟ වසර පහක් හයක් යන විට ගමේ ජනතාවගේ දුප්පත්කම අඩු වෙනවා. රටේ ආර්ථිකය ස්ථාවරවීමත් සමඟ විදේශ සංචාරකයන් නැවත රටට පැමිණිමට පටන් ගත්තා විවිධ රටවල් සංචාරකයන් අද කණ්ඩායම් වශයෙන් මෙරටට පැමිණෙනවා. අප සංචාරක ව්‍යාපරය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ආදායම් ඉහළ නංවාගත යුතුයි.
මෙම සියලු කටයුතු සමඟ අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවන් අනුව ද කටයුතු කළයුතුයි. ඒ වගේම අපට ණය ලබාදුන් රටවල් සමග මෙන්ම, අපේ බැඳුම්කර හිමියන් ඉදිරිපත් කළ කොන්දේසි තිබෙනවා. අපට ඒවා කඩ කර කටයුතු කරන්න බැහැ. IMF රාමුවෙන් පිට වැඩ කරන්න පුළුවන් කියා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. ඔවුන් උත්සාහ කරන්නේ රට ලබා තිබෙන ප්‍රගතිය විනාශ කර දැමීමටයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව අප කටයුතු කළ යුතුයි. මෙයින් ඉවත් වුවහොත් මොකක්ද කරන්නේ කියා මා විපක්ෂයෙන් අහන්න කැමතියි. අපට නැවත පෝළිම් යුගයකට මුහුණ දීමට සිදු වෙනවා.
ඒ නිසා පැරණි දේශපාලනයේ නිරත වෙමින් අසත්‍ය ප්‍රකාශ කර නැවත රට ආර්ථික වශයෙන් බිඳ දැමීමට කිසිවෙකු කටයුතු නොකළ යුතුයි. ඒ නිසා අප රට වෙනුවෙන් මෙම එකඟතාවන් ඉදිරියට ක්‍රියාත්මක කළ යුතුයි. මේ ගමන ඉදිරියට ගෙන යන්නේ නැත්නම් අපට වෙනත් විසඳුමක් නැහැ. රටේ සාමාන්‍ය ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. අපට රට දියුණු කිරීමට පුළුවන්. අද ඉන්න ජනතාව ගැන සිතනවා වගේම තරුණ පිරිස පිළිබඳ මම හිතවා. ඔවුන්ට හොඳ අනාගතයක් ගොඩනඟා දිය යුතුයි. පසුගිය කාලයේ තරුණ තරුණියන් ලක්ෂ ගණනක් රටින් පිට වෙලා ගියා. නැවත එය සිදුවීමට ඉඩ දෙන්න බැහැ. අපි තරුණ පරපුරට යහපත් රටක් ගොඩනඟා දිය යුතුයි.
2048 සඳහා අනාගත සැලැස්ම සකස් කරන විට විපක්ෂය හිනා වුණා. ඒ ඔවුන්ට ඒ පිළිබඳ අවබෝධයක් නැති නිසයි. නමුත් 2048 වන විට මේ රටේ තරුණ තරුණියන් බොහෝ පිරිසක් අවුරුදු 50ට අඩු අයයි. ඔවුන්ට සහ ඔවුන්ගේ දරුවන්ට හොඳ රටක් ගොඩනඟා දීම වෙනුවෙන් අප මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි.
අද අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 85යි. එය අප ඩොලර් බිලියන 350 දක්වා ඉහළ නංවා ගත යුතුයි. එය ඊටත් වඩා ඉහළ නංවා ගැනීමට අපට හැකියාව තිබෙනවා. චීනය, වියට්නාමය, සිංගප්පුරුව වැනි රටවල් එය සිදු කළා. ඒ නිසා දේශපාලන සටන් පාඨ කියමින් නොසිට මේ රටේ තරුණ පරපුරට හොඳ රටක් ගොඩනඟා දීම වෙනුවෙන් අප සියලුදෙනා එක්විය යුතුයි.
ඒ වෙනුවෙන් අප අලුත් ගමනක් යා යුතුයි. ඒ ගමන යාමට මම සුදානම් බව ප්‍රකාශ කරනවා. එම ගමන යාමට අද මම ඔබ හමුවට පැමිණ සිටින්නේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි. අපි පැරණි දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. මම ආණ්ඩුව භාරගත් අවස්ථාවේ ඉතා දක්ෂ ඇමතිවරු පිරිසක් මා සමඟ එක් වුණා. මම ඒ සියලුදෙනා සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා. එහි ප්‍රතිඵල අද රටට ලැබී තිබෙනවා. ඉදිරියටත් අප සියලුදෙනා එක්ව කටයුතු කළයුතුයි. අපි සියලුදෙනා එක්ව අලුතින් සිතා අලුත් ගමනක් යා යුතුයි.
ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාසලා, අනුර දිසානායකලා කොතනද සිටින්නේ කියා මම අහනවා. අලුතින් සිතා අපි සියලුදෙනා එක්ව ඉදිරියට යා යුතුයි. අපි වසර ගණනක් දේශපාලන වශයෙන් බෙදී වැඩ කළා. දැන් අප රට වෙනුවෙන් එක්ව ඉදිරියට යා යුතුයි. අපි සියලුදෙනා එක්ව මේ රටේ දරුවන්ට හොද අනාගතයක් ගොඩනඟා දෙමු. මේ රට දියුණු කිරීමට අපට වසර 10ක් ප්‍රමාණවත්. අපි මේ රට හදමු. සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා
අද ප්‍රථම වතාවට නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ඉදිරිපත් වී සිටිනවා. මේ වේදිකාව දෙස බැලූ විට එම අපේක්ෂකයාගේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නැහැ. 75 වසරක සාපය ගැන කියන අයට මම කියනවා ඒ වසර 75 තුළ මේ රටේ සිදු වී ඇති සංවර්ධනය දෙස බලන්න කියලා. සෑම පාලකයෙක්ම අධිවේගී මාර්ග හදා ,රෝහල් ඉදිකර ,රටට විදුලිය ලබා දී සිදු කළ සංවර්ධනය අපට පෙනෙන්න තිබෙනවා. නමුත් කොරෝනා වසංගතය නිසා මේ රටේ ආර්ථිකය විශාල ලෙස පහත වැටුණා. 16,000ක කොරෝනා මරණ වාර්තා වුනත් ලෝකය දෙස බැලූ විට අඩුම මරණ අනුපාතයක් වාර්තා වුණේ ශ්‍රී ලංකාවේයි.
මහින්ද රාජපක්ෂ මහතා සිවිල් යුද්ධය ජයග්‍රහණය කළා, ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වසංගතයෙන් ජීවිත බේරගත්තා. නමුත් මේ රට ආර්ථික අර්බුදයෙන් බේරා ගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා ජනතාව පීඩාවෙන් මුදවාගෙන රට සංවර්ධනය කළා. කරාපිටිය මහ රෝහල ජාතික රෝහලක් බවට පත් කළා පත් කළා, ගාල්ලට සම වෛද්‍ය පීඨයක් ලබා දී තිබෙනවා. ගාල්ලට අඛණ්ඩව ජල සැපයීමක් සිදු කරන ව්‍යාපෘතිය අවසන් කර තිබෙනවා. ඒ වගේම අධිකරණ සංකීර්ණයද පසුගියදා විවෘත කළා. මේ වගේ දැනෙන වැඩ කොටසක් ගාල්ලට වගේම මුලු රටේම සිදු කිරීමට පසුගිය දෙවසර තුළ හැකි වුණා.
පසුගිය වසර දෙකේදී ආර්ථික අර්බුදයෙන් රට මුදවාගනු ලබන අතර සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකි වුණා. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම සංවර්ධන කටයුතු සඳහා විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීමටද එතුමා කටයුතු කළා. මේ ප්‍රතිපාදන ලැබුණේ මුදල් මුද්‍රණය කර නොවෙයි. නැතිනම් විදේශ රටකින් ණයට අරගෙනද නොවෙයි. නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති කළමනාකරණය කිරීම තුළින් මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත ප්‍රතිපාදන ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළා. අද බැංකු පොලී අනුපාතය අඩු වී තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6 දක්වා වැඩි වී තිබෙනවා. ආර්ථික ස්ථාවරත්වය සමඟ වන මේ ගමන ඉදිරියට ගෙන යා හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පමණයි . එම නිසා රට රැකගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ ඉදිරියට යමු. ගාල්ල දිස්ත්‍රික්කයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා වැඩි චන්ද ලක්ෂ තුනකින් දිනවමු කියා මා ගාලු දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා
අප අද පැමිණ සිටින්නේ අපේ ඉතිහාසයේ වැදගත් සහ තීරණාත්මක ස්ථානයකටයි. මෙවර ජනාධිපතිවරණය තුළින් අප මීට වසර දෙකකට පෙර සිටි ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ විත් ඉදිරියට යනවාද නැද්ද කියන කාරණය තීරණය වෙනවා. ඒ නිසා අප ජාතිය ආගම් කුල බේද පසෙක තබා පක්ෂ පාට බේද පසෙක තබා මේ වේදිකාවට ගොඩ වුණේ. මේ ඇති කර ගත් ස්ථාවරයත්වය ඉදිරියට ගෙන යාමට අප සියලු දෙනා එකතු වී සිටිනවා. නැවත පර්යේෂණ කරන නායකයෙක් මේ රටට අවශ්‍ය වන්නේ නැහැ.
අපට ඉන්ධන , ආහාර , ගෑස් ලබා ගන්න අපහසු කාලයක් තිබුණා. ඔබට මතකයිද? මම මුදල් අමාත්‍යංශය භාර ගන්නකොට විදෙස් සංචිතයේ තිබුණෙ ඩොලර් මිලියන විස්සයි . අප හැම රටකින්ම මුදල් ඉල්ලා හිටියා. ඒ අවස්ථාවේ පීඩාවට පත් ජනතාව බේරා ගැනීමට විපක්ෂයට ආරාධනා කළා. නමුත් ඔවුන් ඉදිරිපත් වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි විරහිතව ජනතාව පීඩාවෙන් මුදවා ගැනීමට ඉදිරිපත් වුණා. ආර්ථික ඔස්තාර්ලා විපක්ෂයේ හිටියට රට අගාධයට වැටුණු වෙලාවේ භාරගන්න ඒ කවුරුත් ඉදිරිපත් වුනේ නෑ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කලකින් රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළා. එය ජාත්‍යන්තරය පවා පුදුමයට පත්කළා. මේ රට නැවතත් කඩා නොවැටී ඉදිරියට ගෙන යාමට එතුමාට ඉදිරි වසර පහද බාරදිය යුතුයි. අපි බේරගත්තේ ලෙබනනය වගේ කඩා වැටෙන්න තිබුණු රටක් බව මතක තබාගත යුතුයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ගොඩ ගත්තා පමණක් නොවෙයි අස්වැසුම තුන් ගුණයකින් වැඩි කර ජනතාවට සහන ලබා දීමට කටයුතු කළා . උරුමය වැඩසටහන යටතේ ජනතාවගේ ඉඩම් අයිතිය සුරැකීමට කටයුතු කළා. සිසු දරුවන්ට ජනාධිපති ශිෂ්‍යත්ව ලබා දී අධ්‍යාපන අයිතිය තහවුරු කර දී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ තමන්ගේ පක්ෂයට පෙර රට ගැන හිතන නායකයෙක්. රටේ න්‍යාය පත්‍රයට වැඩ කරන රනිල් වික්‍රම සිංහ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරන්න කටයුතු කරමු කියා මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා

සැප්තැම්බර් 21 වෙනිදායෙන් පසුවත් මේ රටේ ජනාධිපතිධුරය දරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා යි. මේ ජන ගඟ දිහා බලන විට එය ස්ථිරයි. කොළ පාට, නිල් පාට, කුරහන් පාට සියලු පාට ඇතුළත්, පක්ෂ අද එක තැනකට එකතු වී තිබෙනවා. එය මේ වේදිකා දෙස බැලූ විට පෙනෙන්නට තිබෙනවා.
මීට වසර දෙකකට පෙර දිගම ඉන්ධන පෝලිම තිබුණේ ගාල්ලේයි . ඇති හැකි ජනතාව මේ රටෙන් පිටව ගියා. රටේ මිනිස්සුන්ගේ දුක හඳුනා ගන්න පුළුවන් වුණ නායකයෙක් වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රට භාරගෙන පීඩාවට පත් ජනතාව ඉන් මුදවාගැනීමට කටයුතු කළා. පොඩි මිනිසුන් වෙනුවෙන් ඒ වගකීම් භාරගත් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතායි. අභියෝග බාරගන්න පුළුවන් කොන්දක් තියෙන නායකයා එතුමා කියලා එදා රනිල් වික්‍රමසිංහ මහතා ඔප්පු කර පෙන්නුවා.
එපමණක් නොවෙයි, අස්වැසුම ලබා දුන්නා. උරුමය වැඩසටහන හරහා ජනතාවට ඉඩම් අයිතිය ලබා දුන්නා. දැන් ඩොලරයේ අගය පහතට ගෙන එමින් තිබෙනවා. එම නිසා බඩු මිලත් ටිකෙන් ටික අඩු වෙමින් පවතිනවා. රටේ ආර්ථිකය හොඳ තත්ත්වයට ගෙනා නායකයා කවුද යන්න ජනතාවට, ව්‍යාපාරිකයන්ට , උගතුන්ට, බුද්ධිමතුන්ට තේරුම් යමින් තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිකමට පත් කරනකොට ජනතාව හිතුවා වර්ජන නැති රටක් , බය නැතුව ඉන්න පුළුවන් රටක් බිහිකරයි කියලා. නමුත් එහෙම වුණේ නෑ. ඒ මිනිසුන්ගේ අභිලාෂ ඉටු කර හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව අද වන විට ඔප්පු කර තිබෙනවා . මෙය තමයි යළි නොලැබෙන අවසන් අවස්ථාව. එම නිසා නිවැරදි තීන්දුවක් අරගෙන නොවැටෙන ආර්ථිකයක් ඇති කිරීමට හැකි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉදිරි වසර පහ සඳහා ද රට භාර දෙන්නට කටයුතු කරමු කියා මා මෙහිදී පවසනවා.රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා
රටක් ඉදිරියට ගෙනයන්න පුළපුරුද්ද අවශ්‍යයි. එදා ජනාධිපතිකම බන්දේසියක තියා දීලත් බාරගන්න කෙනෙක් නොමැතිව සිටින අවස්ථාවේදී අපි රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිධූරය භාරගන්නා ලෙස ඉල්ලා සිටියා. කිසිම කොන්දේසියකින් තොරව අභියෝග රැසක් මැද ජනාධිපතිතුමා රට භාරගත්තා. රට භාරගෙන අවුරුදු දෙකක් යන තැන එතුමාගේ පළපුරුද්දෙන් රට ගොඩ ගෙන පෙන්වා තිබෙනවා.
1996 දී ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමේදී අරවින්ද ද සිල්වා මහත්මයා තරඟයේදී ලකුණින් ලකුණ න් රැස් කරමින් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටය දක්වා රැගෙන ආවා. අවසාන තරගය ජයග්‍රහණය කළෙත් එහෙමයි. ඒ තමයි පළපුරුද්ද. ඒ ආකාරයටයි එදා මේ රට අර්බුදයෙන් ගොඩගන්නත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළේ. එතුමාගේ පළපුරුද්ද තුළින් මේ රට වැටුණු තැනින් ගොඩ ගත්තා. ඉදිරි අවුරුදු 5 තුළ දී එතුමා මේ රට ගොඩනගන බව ස්ථිරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණට ඉදිරිපත්වන බව ප්‍රකාශයට පත්කර පවත්වනු ලබන පළමු ජන රැළිය මෙයයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් වැඩිම පක්ෂ ගණනාවක් එකට අසුන් ගන්නා පුළුල්තම වේදිකාව මෙය බව මම සඳහන් කරන්න කැමතියි.
ඒ නිසා මේ වේදිකාව ඓතිහාසික වේදිකාවක්. මේ වෙනකොට මේ වේදිකාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් 40කට අධික ප්‍රමාණයක් එක්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, වාමාංශික දේශපාලන පක්ෂ ගණනාවක් එක්ව සිටිනවා. ඒ නිසා මේ ජනාධිපතිවරණයේ පුළුල්ම වේදිකාව මෙයයි. ඒ වගේම මේ ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා සිටින වේදිකාවද මේ වේදිකාවයි. මේ රට බේරගන්න පුළුවන්, දිනන නායකයා ඉන්නේ මේ වේදිකාවේයි.
අප තවදාවත් රනිල් වික්‍රමසිංහගේ වේදිකාවට නැගලා නැහැ. නමුත් රට වෙනුවෙන් සියලු භේද පසෙකලා අප අද එක්ව සිටිනවා. හෙට අනිද්දා වනවිට සජිත්ගේ පළුවක් මේ වේදිකාවට ගොඩවෙනවා. උතුරු, නැගෙනහිර නියෝජනයත් මේ පුළුල් වේදිකාවට ගොඩවෙනවා. මේ වේදිකාවේ දේශපාලන න්‍යායපත්‍ර නැහැ. ඉදිරි වසර 5ත් මේ රට බේරගන්න, රට ගොඩ නගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට භාර දෙන්න කියන ඉල්ලීම මා මෙහි සිට සිදු කරනවා.
ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා
ඊයේ (26) වනතුරු අපට ප්‍රශ්න දෙකක් තිබුණා. එකක් තමයි ජනාධිපතිවරණය පවත්වනවාද නැද්ද කියන ප්‍රශ්නය. ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය දැනුම් දෙමින් ඊයේ නිකුත් කළ ගැසට් නිවේදනය සමඟ ඒ ප්‍රශ්නය විසඳුනා. ඊළඟ ප්‍රශ්නය වුණේ පසුගිය වසර දෙකක් පුරා මේ රට ගොඩ ගැනීම සඳහා කොන්දේසි විරහිතව කටයුතු කළ, අද වන විට රට මේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවාද කියන කාරණය. ඊයේ දිනයේදී ඒ ප්‍රශ්නයත් විසඳුනා. එසේ නම් ඊට ප්‍රතිචාර දක්වන්න තමයි අද ගාල්ල ජනතාව මේ විදියට රැස්ව සිටින්නේ.
ගාල්ලෙන් ආරම්භය ලබා ගතහොත් කවදාවත් වරදින්නේ නැහැ. ගාල්ල කියන්නේ ඒ තරම් ශක්තිමත් දිස්ත්‍රික්කයක්. අද පක්ෂ පාට බේදයකින් තොරව මේ රටේ හෙට දවස වෙනුවෙන් මේ වේදිකාවට එක්ව සිටිනවා. ජයග්‍රහණයේ පළමු රැළිය අද මේ අයුරින් ගාල්ල ජනතාව සමඟ පවත්වන්න ලැබීමද ඉතිහාස ගත වනු ඇති බව සඳහන් කළ යුතුයි.

සමගි ජන බලවේගය පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා
මේ වේදිකාව දිහා බලන විටම රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව කියන්න පුළුවන්. මීට වසර දෙකකට පෙර ‍රටේ තිබුණු ඉන්ධන ,ගෑස් පෝලිම් නිසා ජනතාව දැඩි පීඩාවට පත් වුණා. ඉන්ධන ලීටරයක් ගන්න දවස් ගණනක් මහමඟ පීඩාවට පත් වෙන්න ජනතාවට සිදුවුණා . මේ වගේ තිබුණු රටක් අද වන විට ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කටයුතු කළා. පැය දාහතරක් විදුලිය කප්පාදු කළ යුගයක් පසුකරගෙන අද වන විට මෙතනට රට ගෙන ඒමට ජනාධිපතිතුමා කළ මෙහෙයට අප යුතුකම ඉටු කළ යුතුයි.
මම හිටියේ සජිත් ප්‍රේමදාස මහතා සමඟයි. එතුමාට අගමැතිකම භාරගන්න කියන විට එතුමා බැහැ කියලා පලා ගියා. එතුමා එදා රට භාර ගත්තා නම් මේ රට ඇෆ්ඝනිස්ථානයක් වෙලා තමයි නවතින්නේ. එය තේරුම් ගත් නිසා මම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ළඟට ආවා. එතුමාගේ ආර්ථික වැඩපිළිවෙළ නිසා ජනතාව පීඩාවෙන් මුදවා ගන්න හැකි වුණා. එම නිසා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික ප්‍රතිපත්තිය දිනවමු තියා මා ඉල්ලා සිටිනවා.
නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, ටිරාන් අලස්, රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ මොහාන් ද සිල්වා, ගීතා කුමාරසිංහ, පියල් නිශාන්ත, ඩී. බී. හේරත්, දිලුම් අමුණුගම, කනක හේරත්, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ශෙහාන් සේමසිංහ, අනුප පස්කුවල්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, වජිර අබේවර්ධන, සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන, මේජර් ප්‍රදීප් උඳුගොඩ , මුදිතා සොයිසා, ලලිත් වර්ණකුමාර, රාජිකා වික්‍රමසිංහ, ජගත් සමරවික්‍රම, කුමාරසිරි රත්නායක, අකිල එල්ලාවල, මධුර විතානගේ, මේජර් සුදර්ශන දෙනිපිටිය, ප්‍රේම්නාත් සී.දොලවත්ත, ජයන්ත වීරසිංහ,, ඒ. එල්. එම්. අතාඋල්ලා, වෛද්‍ය ගයාෂාන් නවනන්ද, කුලසිංහම් තිලීපන්, එස්. සී මුතුකුමාරණ, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, පී හැරිසන්, විජයකලා මහේෂ්වරන්, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි, හිටපු පුරපතිනි රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ජන හමුවට එක්ව සිටියහ.