එළි නොවන රැයක් වෙත්නම්
රැහැයි ස්වර රටාවට
ගෙඹි රෑන් ගී ගයන
සඳවතිය තරු දරුවො
සමඟ ලොව එළි කරන
රුවැති සේපාලිකා
සුවඳ හමමින් පිපෙන
වැටෙන බොල් පිනි වුවත්
තුරු ලතා සනසවන
විල් කතගෙ දියෙහි මත
සඳෙහි සිතුවම් ඇඳෙන
නිශාචර සුළං රැ
නිදහසේ ගත වෙළෙන
අඳුරු සළු පොරව ගෙන
තිස් පැයම නිදි වරන
අතීතයෙ රස මතක
සිහිකරන් සිනාසෙන රැයක් වන්නට සිතෙයි
කිසි දිනෙක එළි නොවන

මුතු වැස්ස
වහින මිණි මුතු වැස්ස..
වළා ඇතිරුණ අහසෙ කළු පාට තිර එළා
වෙලා මහ තනිකමක් හීනියට ඉඟි කළා
දුලා වැහිපොද සැළී සීතලට සැරසිලා
හෙලා මිණි පබළු පොද වැටෙයි පහළට ගලා
වහින මන්දාරමට කියා රස රහසක්
වැටෙන මිණි පොද පෙනේ විලස මුතු පලසක්
සිහින ඉකිලන හිතට තවරගෙන තනියක්
මවන විසිතුරු හීන වැහිපොදට කවියක්..
සුළන් ගී කියනමුත් නොඇසුනා ලෙසින් වුව
මලින් සැරසුන ළපළු හිස වනයි උජාරුව
පළන්දා සවන් මත දිලෙන පිණි කරාබුව
බලන් තුත්තිරි මලක් හිනාවෙන අපූරුව
කළු වළා ඉරාගෙන හෙමින් පහලට බැස්ස
සැරසිලා කඳු මතත් සීතලට පිණි ඉස්ස
වැරදිලා හිතාගන සුරවිමනෙ පාපිස්ස
සුරඟනන් එළන්නේ දේදුන්නෙ මල් වැස්ස…

සිත තුළ ඇවිදින කාලේ

සිත තුළ ඇවිදින තාලේ
කොරවක් ගමනට ලෝලේ
මමත් හොරෙන් දුටු සීලේ
සිනාසුනත් හරි කෝලේ
ඇස් වහගෙන ළඟින් ඉන්න
හොරෙන්ම ආදරේ දෙන්න
සුවඳින් හිත මත් කරන්න
අද රෑටත් ඇවිදින් යන්න
ලොකු ඇස් කරකවා ගන්න
නපුරුම බැල්මෙන් බලන්න
සිනාව ගිලගෙනම ඉන්න
මටම ඔබේ හිතත් දෙන්න
නුදුන් හින්ද ඒ කාලේ
ඇවිදිමි තවමත් ලීලේ
මායිම් නැති සිත් දෑලේ
සින්නක්කර ගමි ආලේ