උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

කට්ටිය බෙදිලා – පුංචි ඡන්දෙ වාසිය කාට ද?

ජගත් ගේ සතියේ සටහන  -  57

වෙසක් මහේ දෙවැනි සුමානේ පුංචි ඡන්දෙ?

වසර දෙකක් තිස්සේ කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණ මැයි මස දෙවැනි සතියේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැ යි ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසනවා.

මුලින් ආණ්ඩුව බලාපොරොත්තු වුණේ පළාත් පාලන මැතිවරණ අප්‍රේල් මාසයේ පැවැත්වීමට යි.

ඒ සඳහා ඉදිරිපත් කළ පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඡන්ද 187 ක් ලැබී ඒකමතිකව සම්මත වුණා.

කතානායකවරයා අත්සන් කිරීමෙන් පසු නීතියක් බවට පත්වූ පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත ක්‍රියාත්මක කිරීමේ බලය දැන් මැතිවරණ කොමිෂන් සභාවට පැවරී තිබෙනවා.

2023 මාර්තු 09 වනදා පැවැත්වීමට නියමිත තිබී කල්දමනු ලැබූ පළාත් පාලන මැතිවරණවලට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයින් 80000 ක් පමණ නාමයෝජනා භාර දී තිබුණා. ඒ සඳහා ඔවුන් විසින් තැන්පත් කොට තිබූ ඇප මුදල් ආපසු ගෙවීමට මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල කටයුතු කරගෙන යමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා 2025 ජුනි 02 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව දන්වමින් පළාත් පාලන හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් ද නිකුත් කොට තිබෙනවා.

මාර්තු 21න් පස්සෙ පපාඡ තියන්න - විපක්ෂයෙන්  කොමිසමට කියයි

ඒ අනුව පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා නාමයෝජනා කැඳවීමට ද මේ දිනවල කොමිෂන් සභාව කටයුතු කර ගෙන යන නමුත් පළාත් පාලන මැතිවරණ කල් දමන ලෙසට සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රාශියක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ගොස් ඉල්ලීම් කිරීම එහි නිලධාරීන්ට බලවත් ප්‍රහ්නයක් වෙලා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක මන්ත්‍රීන් කණ්ඩායමක් පහුගිය 18 වැනිදා මැතිවරණ කොමිෂන් සභාවට ගොස් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගි වන බැවින් පළාත් පාලන මැතිවරණ මාර්තු 21 දායින් පසු දිනයක පවත්වන ලෙස කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබෙනවා.

රාවුෆ් හකීම්, වී. රාධක්‍රිෂ්ණන්, රෝහිත අබේගුණවර්ධන, හා ජේ. සී. අලවතුවල යන මන්ත්‍රීවරුන් සමඟ ප්‍රේමදාස මහතා අයවැය කාලසීමාවේ දී, කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු හා පාර්ලිමේන්තු විවාදවලට සහභගිවීමට තියෙන බැවින් මන්ත්‍රීවරුන්ට ඒ කාලය තුළ පළාත් පාලන මැතිවරණ ඡන්ද ව්‍යාපාරවලට සහභාගි විය නොහැකි බවයි පවසා ඇත්තේ.

එබැවින් පළාත් පාලන මැතිවරණ කල් දාන්නැ යි ඔවුන් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා ඇතුළු විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ද මැතිවරණ කොමිෂන් සභාවට ගොස් මෙම ඉල්ලීම කර ඇති අතර ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිස ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණ පවත්වන ලෙසයි.

සාකච්ඡා බිඳ වැටිලා ඡන්දෙට එන්නෙ වෙන වෙනම 

 එහෙත් පසුගිය දා කල්දැමූ පළාත් පාලන මැතිවරණවලට නාමයෝජනා භාරදී තිබෙන 80000 ක් පමණ වන සියලු ම අපේක්ෂකයින්ට ඔවුන් තැන්පත් කළ ඇප මුදල් ආපසු ගෙවිය යුතුව තිබෙන බවත්, ඒ සඳහා සෑහෙන කාලයක් ගතවනු ඇති බවත්, පැවසූ මැතිවරණ කොමිසමේ උසස් නිලධාරියෙක් එතෙක් පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා භාර ගන්නා දින ප්‍රකාශ කළ නොහැකි බව කියා සිටියා.

ඉදිරි පළාත් පාලන මැතිවරණවලට මුලදී සන්ධානගතව තරග කිරීමට සාකච්ඡා කරමින් සිටි ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් ම තනි පක්ෂ වශයෙන් තරග කිරිමට දැන් තීරණය කොට තිබෙනවා. ඒ එම සාකච්ඡා අසාර්ථක වීම නිසයි.

සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා ද අසාර්ථක වී තිබෙන්නේ නායකත්වය හා තරග කරන ලකුණ තීරණය කරන්න නොහැකි වීම නිසා බවයි දැනගන්නට තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරග කළ යුතු බව පසුගිය අඟහරුවාදා පැවති එහි කළමනාකරණ මණ්ඩල රැස්වීමේ දී තීරණය කොට තිබෙනවා.

පොදුජන පෙරමුණ පසුගිය සතියේ රැස් වූ අතර එහිදී තීරණය වී ඇත්තේ පක්ෂය පොහොට්ටුව ලකුණින් තරග කිරීමට යි. එම පක්ෂය ගමින් ගමට යමින් ප්‍රචාරක කටයුතු ආරම්භ කරලා.

සමගි ජන බලවේගය ද ටැලිපෝනය ලකුණින් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පළාත් පාලන මැතිවරණවලට තරග කරන බව එහි නායකයෙක් ප්‍රකාශ කළා. ඔවුන් පාර්ලිමේන්තු ආසන මට්ටමින් පළාත් පාලන මැතිවරණ සඳහා නාමයෝජනා මණ්ඩල පත්කොට තිබෙනවා.

ශ්‍රීලනිපෙ පුටුවෙන්

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 'පුටුව' ලකුණ යටතේ තවත් ප්‍රගතිශීලී පක්ෂ එක්කර ගෙන තරග කිරීමට තීරණය කොට තිබෙනවා. මේ පිළිබඳ සාකච්ඡාවක් සර්වජන බලය හා තවත් පක්ෂ අතර පසුගිය බදාදා පැවැත්වුණා. එහෙත් එය සාර්ථක වී නැහැ. එයට හේතුව වී ඇත්තේ සර්වජන බලය නායක දිලිත් ජයවීර මහතා තම පක්ෂයේ පදක්කම ලකුණින් තරග කිරීමට කළ යෝජනාවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එයට එකඟ වී නැහැ.

මේ අතර ජාතික ජන බලවේගය සෑම පළාත් පාලන ආයතනයක් සඳහා ම තරග කිරීම සඳහා මේ වන විටත් ඔවුන් ගේ අපේක්ෂක ලැයිස්තු සකස් කොට අවසන්.

ජාතික ජන බලවේගය විසින් දිවයිනේ සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට එකක් බැගින් කොට්ඨාස සභා පිහිටුවා තිබෙනවා. එම ග්‍රාම නිලධාරී වසමේ සිටින විශ්‍රාමික උසස් රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන්, ලිපිකරුවන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෛද්‍යවරුන්, නීතිඥයින් ඇතුළු විවිධ වෘත්තීකයින්ගෙන් යුත් මෙම කොට්ඨාස සභා සඳහා සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු නිලධාරි මණ්ඩලයක් හා කාරක සභාවක් ද පත්කොට තිබෙනවා. මෙම කොට්ඨාස සභාවල ප්‍රධානියා වන්නේ එම ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා යි.

අදාළ ප්‍රදේශයේ සංවර්ධනයට අවශ්‍ය අදාළ යෝජනා මෙම කොට්ඨාස සභා මඟින් ආණ්ඩුවේ අදාළ අංශ වෙත යොමු කරනවා.

එමෙන් ම එම ප්‍රදේශයේ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන ක්‍රියාත්මක කරමින් පරිසරය රැකගැනීමට ක්‍රියා තිරීමට මෙම කොට්ඨාසසභාවලට පැවරී ඇති තවත් කාර්යයක්. ‍

මෙම කොට්ඨාස සභා මඟින් එම ප්‍රදේශවල දක්ෂ, උගත්, කාර්යක්ෂම, ගැහැනු පිරිමි දෙපක්ෂයෙන් ම අපේක්ෂකයින් නම් කොට යවා ඇති අතර ඒවාට පක්ෂ මූලස්ථානයේ අනුමැතිය ලැබී ඇතැ යි එක් කොට්ඨාස සභාවක ප්‍රධානියෙක් අප සමඟ පැවසුවා. ‍

විමල් කළ හෙළිදරව්ව!!!

ඉදිරි පළාත් පාලන මැතිවරණවල දී හඬ නැඟීමට විපක්ෂට සටන් පාඨ නොමැතිවීම, විපක්ෂයේ පක්ෂ බෙදී වෙන්වී තරග කිරීම, එමෙන් ම පළාත් පාලන මැතිවරණ සඳහා විපක්ෂයට වැඩපිළිවෙලක් නොමැතිවීම ආදි හේතුන් නිසා ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගයට විශිෂ්ට ජයක් හිමිවීම වැළැක්විය නොහැකි යැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

ඇමරිකාව විසින් එක්සත් ජනපද සංවර්ධන ආයතනය හෙවත් USAID මඟින් පසුගිය වසර ගණනාවක සිට විවිධ රටවල ආණ්ඩු පෙරළීමට ඩොලර් මිලියන ගණන් වැයකොට ඇති අන්දම එරට මෑතක බලයට පත්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදේශක එලොන් මස්ක් විසින් පසුගිය දා අනාවරණය කොට තිබුණා.

බංගලාදේශය, පකිස්ථානය, ශ්‍රී ලංකාව, මාලදිවයින ආදී දකුණු ආසියානු රටවල ආණ්ඩු පෙරළිවලට ද එම මුදල් යොදවා තිබූ බවත් ඔහු පැවසූ අතර ෂෙයික් හසීනා, ඉම්රාන් ඛාන්, ගෝඨාභය රාජපක්ෂ ඊබ්‍රාහිම් ආදී එම රටවල නායකයින්ටරටෙන් යෑමට සිදුවුණෙත් බන්ධනාගාරගත කරනු ලැබුවෙත්, මෙමඟින් කළ කුමන්ත්‍රණ නිසා බව මෙයින් තවත් පැහැදිලි වෙනවා.

ශ්‍රී ලංකාවේ 2022 මැයි මාසයේ ඇරඹි අරගලයට ද මෙසේ ඇමරිකානු ආධාර ලැබී තිබූ බවට එකල ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා චෝදනා කළා.

එහෙත් බොහෝ දෙනා ඒ ගැන සැලකිල්ලක් දැක්වූයේ නැහැ.

අරගලය පැවති දිනවල 2022 මැයි මස 09 වනදා උදේ වරුවේ විරෝධතාකරුවන් පිරිසක් පිරිමින්ගේ හා කාන්තාවන්ගේ යට කලිසම්, ජංගි, පාර්ලිමේන්තුව ඉදිරිපිට වැටේ එල්ලා විරෝධතාවක් පැවැත්වූවා. එක් අයෙක් අමුඩයකින් ද සැරසී සිටියා. ඔවුන්ගේ විරෝධතාවේ තේමාව වී තිබුණේ "ජනතාවට යට ඇඳුම් අන්දන ආණ්ඩුවකට යට ඇඳුමකින් විරෝධය පාමු" යන්නයි.

මෙම ජංගි විරෝධතාවයට USAID මඟින් අාධාර ලබන  රාජ්‍ය නොවන සංවිධානයක් ඇමරිකන් ඩොලර් 25000 ක් (රුපියල් ලක්ෂ 75 ක්) වැය කොට ඇති බව දැන් හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයකට ලැබී ඇති මේ මුදල එහි වැඩසටහන් නිලධාරිනිය විසින් 'උණ්ඩියල්' ක්‍රමයට මුදල්වලින් ම ලබා දී ඇති බවද අනාවරණය වී තිබෙනවා.

මේ අයුරින් ම 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දීත් 2019 ජනාධිපතිවරණයේ දී ත් පරිගණක තාක්ෂණය පුහුණු කිරීමට USAID ආයතනය ආධාර ලබාදී ඇති අතර ඒ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් වෙනුවෙන් පරිගණක පුහුණු මධ්‍යස්ථාන ගණනාවක් පවත්වා ගෙන ගියා.

USAID ගත්තේ කවුද? කළේ මොනවද? නාමල් කතානායකට යොමු කළ ලිපියෙන් ඉල්ලයි

ඒවායේ පුහුණුව ලත් අය ලවා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා එවකට පැවති ආණ්ඩුවලට විරුද්ධව පෝස්ට් පළ කිරීම හා බොරු පුවත් පළ කිරීම සිදු කළ බව ද පසුව අනාවරණය වුණා.

මැතිවරණවලින් පසු එම තරුණ පිරිස විපක්ෂයේ සමාජ මාධ්‍ය ජාලකණ්ඩායම් ලෙස හඳුන්වා ගනිමින් ඡායාරූප ද පළ කොට තිබූ නමුත් මේ වන විට ඔවුන් ගැන වාර්තා වන්නේ නෑ.

මේ අතර ශ්‍රී ලංකාවේ USAID ආධාර ලබාගත් සංවිධාන හා ඒවා මඟින් කරන ලද ක්‍රියාකාරකම් පිළිබඳව සෙවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා සිටීමේ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය සතියේ කතානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබෙනවා.

 - ජගත්  -