උණුසුම් පුවත්දේශපාලන

කරු පාර්ලිමේන්තුවට!

තලතා යයි. කරු එයි

ඉතා ආන්දෝලනාත්මක කතාවක් කරමින් පෙරේදා සිය මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස්වන බව කී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රීනී තලතා අතුකෝරාල මහත්මිය අද (23) ඒ බව දක්වමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපිය භාර දී ඇත. 

අතුකෝරාල මහත්මියගෙන් හිස් වූ මන්ත්‍රී අසුනට කරුණාරත්න පරණවිතාන මහතා පත් කිරීමට නියමිත ය. 

සමගි ජන බලවේගයේ දෙටු ක්‍රියාකාරී සාමාජිකාවක වූ තලතා අතුකෝරාළ මහත්මිය එම පක්ෂයෙන් ඉකුත් මහ මැතිවරණයේ දී රත්නපුර දිස්ත්‍රික්කයට තරග කළ ජය ලබා මහජන නියෝජිතවරියක සේ කටයුතු කළ අතර ඈ ඉල්ලා අස්වීමෙන් හිස්වූ පුරප්පාඩුවට සමගි ජන බලවේගයෙන් ඇයත් හා එක්ව තරග කළ කරුණාරත්න පරණවිතාන මහතා ලැයිස්තුවේ ඊළඟට වැඩිම මනාප ගත් ඡන්දාපේක්ෂකයා යි. හේ මනාප 36787 ක් ඉකුත් මැතිවරණයේ දී සිය ඡන්ද ගොඩට එක්කර ගෙන සිටියි.

අතුකෝරාළ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණී රෝහණාධීර මහත්මිය මැතිවරණ කොමිසමට දැනුම් දී ඇත.

ඒ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත 64 (1) වගන්තිය ප්‍රකාරව යි.

කරුණාරත්න පරණවිතාන මහතා ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ දී විපක්ෂයේ අසුන් ගනු ඇත. ඒ කතානායකවරයා හමුවේ දිවුරුම් දීමෙන් අනතුරුව යි.