උණුසුම් පුවත්කාලීනවිනෝදාස්වාදවිශේෂාංගසාහිත්‍යය හා කලාව

කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවන පැරකුම්බා රජු සහ පූරකයන් සහ පූරක ස්ත්‍රීන්.

රඹුටන්ගහ ගෙදර ළමයා දුටු සිහිනය

අසෝක ප්‍රියන්ත
අප මේ දවස්වල ගැටෙමින් සිටින්නේ මහ පොලොව සමගයි.
විශ්‍රාමයෙන් පසුව රඹුටන්ගෙදර ඉඩමේ  වගා කිරීමට කාලය වැය කරමි. සවස පහ හය වනවිට ඇගට තෙහෙට්ටුය. බාහු වේදනා ය. වැහිපිණිත් වැටෙනවාය. සීතලය. සීත සුලං ද ලාවට හමන අතර තුරක මල් පැනිණිත් රැගෙන පැටිමහත්තයා,ගැමුණු හෝ දිමුතු විටින් විට නොඑන්නේ ද නොවේ.
රාත්‍රී හත අට වෙනවිට බුකියේ මිතුරු මිතුරියන් ගේ ඕපා දූප  බලා ප්‍රවෘත්ති වෙබ් කීපයක් බලා නින්දට යාම පුරුද්දක් ව තිබේ.
එදා ජංගමයාගේ කෝෂාරෝපනයට ඇමිනිණුවා පමණක් මට මතක ය. මහන්සිය නිසා සුටුස් ගා නින්ද යන්නට ඇත.
අප ගමන් කළ මෝටර් සයිකලය ධාවනය වන මග විල්ලු වලින් නිමකර ඇතිවාක් මෙන් සුමට ය.
මග දෙපස සල්පිල් එමට ය.
කුසගින්නක් හෝ පිපාසය නොදැනේ. මගේ අවපැහැයට හැරුණු ඩෙනිමෙන් musk deer  Perfume සුවද කොහොම එන්නේ දැයි වැටහීමක් නැත්තේ ය.
දිව්‍ය රථ වල නැගි තරුණ තරුණියන් බිග් මැච් දිනයක මෙන් ප්‍රීතියෙන් උද්දාමයට පත්ව එහෙ මෙහෙ ගමන් කරත්.
දිව්‍ය ඩ්‍රෝන් වල නැගි තරුණයෝ ගුරුත්වාකර්ෂණයෙන් මිදුණාක් මෙන් ආකාශය ඔබමොබ සැරිසරති. මගේ මෝටර් සයිකලය ටිකක් පැරණි නිසාදෝ  ඇතැමුන් ඒ දෙස හැරි හැරී බලන බව පෙනේ.
ටිකක් දුර ගමන් කරන කල්හි අප කිසියම් දිව්‍ය රථයක් පසුපස යන අතර ඒ දිව්‍ය රථය අපගේ පෙර ගමන් රථයක් බව වැටහිණ. රථයන් හි ගමනේ වේගය අඩුව රන් පැහයෙන් දිලීසෙන්නා වූ නිල් රතු මාණික්‍යාලෝකයෙන් ඒකාලෝක වූ දිව්‍ය මන්දිරද්වාරයක් ඉදිරියට අපගේ පැදි  රථය වැදහොත් ය.
 "කලිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත දෙවන පැරකුම්බා දිව්‍ය විමානය" නම් නාම පුවරුවකි. එහි දිව්‍ය අක්ෂර සිංහල අකුරු වලට ඇති හුරුකම නිසා අමාරුවෙන් කියවා ගත්තෙමු.
බයිසිකලයෙන් බැස්සා පමණි.
දිව්‍යාගනාවන් අපව වට කර ගත්හ. දිල්ලියේ ගණිකා නිවාස ගනිකාවන් මෙන් දිව්‍යාංගනාවෝහු අපගේ පංචස්කන්ධයොහි ගැටෙන්නෝය, ගට්ටන්නෝය, පිරිමදින්නෝය. පිය වදන් ම තෙපලන්නෝය.
ඒ හඩ නිරෝෂා විරාජිනි රුක්මණී දේවී ගේ හඬටත්  වඩා මිහිරි ය.
පෙරකල්හි මා ලංකාවේ, ඉන්දියාවේ, චීනයේ සහ පිලිපීනයේ රජ මැදුරු වලට, රාජ රාජ මහෝත්තමයන් ගේ මන්දිර වලට අපේ රටේ ජනාධිපතිවරුන් අගමැතිවරුන් සමග වාර්තාකරණය ට ගොස් තිබේ.
ඒත් මේ දිව්‍ය මන්දිරය ඒ හැමකටම වඩා සුලක්ෂිත ය. සුරම්‍යය ය. බැබලෙන්නේ ය. සුවඳවත් ය. සුහද ය.
පිට දොරටුව පිළිගැමෙන්  පසු දිව්‍යාගනාවන් අපට රන් පැහැ ඩ්‍රැගන් ෆෘට් බීමට දුන්නේ ය.
සූකිරි කැට වැනි යමක් අපේ මුවෙහි ලෑවෝ ය. මුද්දරස් පලං වගේ මෑලි වූ ද ජෙලි ආකාර වූද  නලියන්නා වූද තව දිව්‍ය පැණි රස ද කැව්වෝ ය.
ඇතැම් දිව්‍යාගනාවන් මගේ  පිලිස්සුම් කැළැල් දැක විමතියට පත් වූව ද නොහගවා සිටින බව හැගිණ.
මගේ කළු කොණ්ඩයට වඩා සුදු රැවුලට වියපත් යැයි කිව හැකි දිව්‍යාගනාවන් කැමැත්තක් දැක්වීමෙන් මා තුළ ධෛර්ය දනවන හැගීමක් ඇතිවිය.
ප්‍රවෘත්ති අංශයේ දී මෙන් VIP ප්‍රවෘත්ති ආවරණයකට අප කැදවාගෙන යනවාදෝ යි මට ඉවෙන් මෙන් දැනෙන්නට විය.
පිටත දොරටුව සංග්‍රහ වලින් මුසපත් අප වායු පායානාවක් වැන්නකට නැග්ගවිණි.
අප දෙපසාන්නයේ දිව්‍යාංගනාවන් ය. මාතලී දිව්‍ය පුත්‍රයා ගේ මුනුපුරාණන් සුනම්‍ය සුඛී ජගුවරය පදවයි.
මේ නම් කුමණ ආශ්චර්යයක් ද?.
හරියට හරිය.
කලිකාල සර්වඥ දෙවන පැරකුම්බා දිව්‍ය විමානයේ ප්‍රවෘත්ති ආවරණය කට අප කැඳවාගෙන යන බව පැහැදිලි ය.
මනුෂ්‍යලෝකයේAp,Afp,reuters ජනමාධ්‍ය ජායාරූප ශිල්පීන් වූ දිනුක, ලක්රුවන්, එරන්ග හා ළහිරු ඇතුළු පිරිසක් රුවන් කොස්තාගේ කහ ෆොක්ස්වැගන් එකෙන් ඇවිත් බැස්සෝය.
නිවිස් පිංතූරයක් ගන්න  නිතර ම ඕනෑ නොවන හෙන ටෙලි ලෙන්ස් පොයියට මෙන් එල්ලා ගෙන සිටි ඔවුන් දෙස දිව්‍යාංගනාවන් නෙතගින් බැලීම මගේ ඉරිසියාවට හේතු විය.

විනිතා එම් ගමගේ, සුනිල් මාධව, විමලසිරි ගම්ලත්, දෙනගම සිරිවර්ධන, සුගතපාල මෙන්ඩිස්, සුන්දර නිහතමානි ද මැල්, දුෂ්‍යන්ත සමරසේන, නන්දසිරි වැලිගමගේ ද ඈතින් අපැහැදිලි ඉන්න බව පෙනේ.

මේ අතර ඔවුන් අප සිටි තැනට  ළංවන්නට පෙර අපේ සුනම්‍ය සුඛී ජගුවර දිව්‍ය රථය පිටත් විය.

 විශාල උද්‍යානයේ දෙපස මහා වෘක්ෂයෝ ය. කුඩා වෘක්ෂයෝ ය. ළඳු කැලෑ ය. ඒවායේ හිබොටු, බිබිල දොඩම්, ගැට තිබිරි ප්‍රමාණ නීල රන් දඹ, කොබෝ පැහැති තුරුපල ය. ඒ තුරු මත රඟන නන්පැහැ ගත් ලොකු කුඩා පක්ෂීන් අලංකාර ය.
ගී හඩ මිහිරි ය.
උද්‍යානයේ තැනින් තැන පිහිටි කිරිපැහැ නොගැඹුරු විල්හි වයස් ඉක්මවූ අලි ඇත් පන්ති දිය කෙළිති. ඔවුන්ගේ කුංචනාද මට ඇසෙන්නේ මරහඩක් මෙනි.
භාවිතා කිරීමකින් තොරවම ගෙවී ගිය දුණු, ඊතල, දෑකැති හා මිටි රක්ත වර්ණ ධජ, පසෙකින් එල්ලා ඇත්තේ ප්‍රගීත් රත්නායක ගේ Radical Abstract Theme Art එකක් කොපි කරමින් දැයි සිතුණි.
ඈතින් කලිකාල සර්වඥ දෙවන පැරකුම්බා දිව්‍යරාජ විමානය යාන්තමින් පෙනේ. රථය ගමන් ගන්නේ මද මෘදු වේගයකිනි.
අනෝතප්ත විලේ ජලයෙන් හා විල්වට නාගවල්ලි දල්ලෙන් සැරසූ විල් සමූහයකි. ඒ වායේ මනුෂ්‍යලෝකයේ ජම්බුද්වීපයේ මැද මුලන, වීරකැටිය ආදී ප්‍රත්‍යන්ත වැව්වලින් ගෙන ආ නිල් සුදු රත් නෙළුම් සිටුවා මනා ලෙස අලංකාර කර ඇත.
හන්තානේ මෘදු සුළඟ බඳු එකී නීල ස්වේත ආදී නන් පැහැ නෙළුම් පුෂ්පයෝ සිහිල් වූද මෘදු වූද සුලගේ නිදහසේ වැනෙති. එකිනෙක ගැටෙති.. ඉන් පැනෙන නිල් කහ මිශ්‍රිත විදුලි  පුළිගු වලින් විල් ජලතලයේ නෙක් ආලෝක  රටා විසුරුවති.
මතු කී පුළිගු දිව්‍යාංගනාවන් ගේ කොපුල් මත වැටී ආලෝක චමත්කාර රටා මවති. මද පවනින් ජලතල යේ සිහින් රැලි මවමින් නේක කැටයම් රූ මවයි.
විලේ චමත්කාරයෙන් මුසපත් අප කලිකාල සර්වඥ දෙවන පැරකුම්බා දිව්‍ය විමාන දොරටුව ඉදිරිපස ට ළගාවී ඇති බව නොදැනිණ.
 අහා මොනතරම් ප්‍රීතියක් හතවතට දැනේ ද?
කලිකාල සර්වඥ දෙවන පැරකුම්බා දිව්‍ය රාජයා අප ඉදියේ ප්‍රාතූර්භූත වූවෝය.
ඉතා විශාල මාලිගා සංකීර්ණයේ අතුල් දොරටුව ට පැමිණ අප පිළිගැනීමට තරම් දෙවන පැරකුම්බා දිව්‍ය රාජෝත්තමයෝ දිව්‍ය නිහතමානී වූහ.
මනුෂ්‍යලෝකයේ ජම්බුද්වීපයේ ජනමාධ්‍යකාරයෝ ලෙසට කෙටි හදුන්වා දීමෙන් අනතුරුව දිව්‍ය රාජයාණෝ අපගේ තතු විමසූහ.
කාලෝ ෆොන්සේකා මෙන් සියුම් විහිළු වලින් රසවත් කළෝ ය.
 දිව්‍ය මාලිගාවම මහෝත්සවයක වෙස් ගෙන ඇත. ඉතා විශාල වශයෙන් දිව්‍ය විමානවන්, දිව්‍ය රථ වලින්, දිව්‍ය පිරිස් දිව්‍ය මහෝගය පැවැත්වෙන, මහෝසව ශාලාව දෙසට මියුරු දෙබස් ද මිමිනුම් ද කොක්සන් ද ලමින් රොක්වනු පෙනේ.
මනුෂ්‍යලෝකයේ ජම්බුද්වීපයේ  ජනමාධ්‍යකරුවා කෙරේ. එදෙව් ලොව දෙවන පැරකුම්බා දිව්‍ය රාජයා ඇති විශේෂ සැලකිල්ලක් අප වෙත දැක්වීම බොහෝ අනෙක් දෙවිවරුන් ගේ අවධානය ට ලක් විය.
දෙවන පැරකුම්බා දිව්‍ය රාජයා ඔහුගේ මාලිගයේ අනෙකුන් ට විවෘත නොවූ ඉතා අභ්‍යන්තර චිත්තාකර්ෂණීය මගෙකින් අපව මාලිගා අභ්‍යන්තරය ට කැදවාගෙන යයි.
VIP න් සමග හැසිරෙන අවස්ථාවක අනවශ්‍ය කතා අනවශ්‍ය බව සුදත් සිල්වා පෙර කලෙක දැනුවත්කර සිටි හෙයින් නිහඬව ගමන් කළෙමි.
මැණික් එබ්බවු මග පාගා යාමට තරම් දහිරියක් නොවූයෙන්  ද ගොබ්බ බයියකු ලෙස අවට සිරි නැරැඹීමෙන් ද අප සෙසු පිරිසෙන් ටිකෙන් ටික ඈත් විය.
ඈත්වූ අප ළංවන තුරු රැදී සිටින්නේ දෙවන පැරකුම්බා දිව්‍ය රාජයාය යන්න අදහා ගැනීමට වත් බැරි ය.
සත්තකින්ම එතුමාණෝ අප එන තුරු රැදී සිටති. එතැන මහා දොරටුවකි. ඈතින් මෙන් ඇසෙන රවි ශංකර් ගේ සිතාර් වාදනයකි.
සංගීතයට ඇති ඇල්ම නිසා නිහඬ බව බිඳ ප්‍රශ්නයක් ඇසීමට සිත කියයි.
යුද්ධය අතර තුර දිනක සරත් ෆොන්සේකා ගෙන් ද ප්‍රශ්න අසා ඇති මට දෙවන පැරකුම්බා දිව්‍ය රාජයාගෙන් ප්‍රශ්නයක් ඇසීම කජ්ජක් දැයි සිතුවෙමි.
දිව්‍ය රාජයාණෙනි, මේ දොරටුව කුමක්දැයි, ඒ ඇසෙන සංගීතය කුමක්දැයි විචාලෙමි.
මන්දස්මිත වූ පැරකුම්බා දිව්‍ය රාජයාණෝ පවසන්නේ පින්වත් දරුව ඒ මගේ අන්ත:පුරය යැයි තෙපුල කල්හී එතුමාණන් පර්චිත්තවිජානන ව අපගේ සිත් දුටුව ද දොරටුව හැර පෙන්වීමට මැලිවිය.
එකල්හි පැරකුම්බා දිව්‍ය රාජයාණන්ගේ පැමිණිම ඉවවැටුණු අන්ත:පුර වැසි දිව්‍යාගනාවන් දොර ඇර බලමින් ඉගි බිගි පෑවෝය.
මේ දෑස මක්කටෙයි කියා මට එසැණ සිතිණ.
දිව්‍යාංගනාවන් ගේ ජවි වර්ණය කොග්ගල වෙරළෙහි වැදෙන රලයක පෙන කැදලි වලට වඩා එක් දහස් එක් ගුණයක ට වඩා පැහැදිලි ය. වර්ණවත් ය. උනුන් ගේ කේෂ කලාප මෝසම් කලට දුන්හිඳ ඇල්ලට නොදෙවෙනි ය.
ඇඳ සිටින දුහුළු සළු බට්ටිච්චන්ගේ පපුවේ පිහාටු මෙන් තුනී ය. සියුම් ය.
ශාලාමැද රැඳවූ චන්ද්‍රකාන්ත පාෂාණයන්ගෙන් නික්මු සෞම්‍ය ආලෝකය  දිව්‍යාංගනාවන් ගේ දිව්‍ය ශරීර ද දුහුළු ඇදුම් ද විනිවිද යයි. ඉන් විනිවිද පෙනෙන රූප  සෝභාවන් නොබලා අන්තැනෙක් ම බලන කිනස්කෝප් කාරයා (කැමරා ශිල්පියා) නම් කුමණ අමණයෙක් ද?
ඔවුන් ගේ බස් හුරතල් ය. පැහැදිලි ය. උසට සරිලන මහතක් ය.
තෙලදසුන්හි ලොතරැයි සූදු කෙලවන පූරක කාන්තාවන් මෙන් මිලියන වාරයක් මෙ දිව්‍ය ලියන් පියකරු ය.
අන්ත:පුර ශාලා මධ්‍යයේ පැනවූ දණ හිසක් තරම් ගිලීයන්නා වූ උස් අසුන්, මිටි අසුන්, බිම ඇතිරූ මොණර පිල්ලෙන් කළ කළාල යන්හී නා නා දිව්‍ය ලාලිත්‍යයන් උද්දීපනය වන්නාවූ ලෙසට වැතිරී සිටිති.
එහා මෙහා වූ උනුන් ගේ සළුපිළි සැකසීමට කිසිවකු උනන්දුවක් නොදැක්වූහ. පැනවූ අසුන් හි විවේකව ඇතැම්හු කෙස් පීරති. විලවුන් සහිත ‍තෙල් ගල්වති. නිල් වන් දිගැටි ඇස් වට කොකුම් ගා අලංකාර කරති. රිදී තැටි වලින් සිය දිව්‍ය වත බලමින් සතුටු සිනා පාන්නෝය.
අන්ත:පුර ද්වාරය අහේතුකව වැසිණ. මා නොදැනම මගේ ශීර්තකාප්‍රශ්ඨ ව තිබූ උපැස්  යුවළ නේත්‍රාස්ථාපනය කළේ සහායක දිව්‍ය කන්‍යාවක ය.

කලිකාල සර්වඥ දෙවන පැරකුම්බා දිව්‍ය රාජයා පසු පසම අප ගමන් කරමින් සිටින මට  SLBC කොරිඩෝව සිහිවිය. ඊට වඩා තිස්දහස් වාරයකින් අලංකාර මේ දිව්‍ය මන්දිර කොරිඩෝව දෙපස ද මනුෂ්‍යලෝකයේ ජම්බුද්වීපයේ කලා කරුවන් ගේ ජායාරූප වැනි චිත්‍ර ආලේඛය එල්ලා තිබේ. ඒ වට රාමුවේ නිල් රතු ගෙව්ඩාදී මැණික් ඔබ්බවා තිබේ.

මහාකවි රබීන්ද්‍රනාත් තාගෝර්,

බුද්ධඝෝෂ හිමි,

තොටගමුවේ ශ්‍රී රාහුල

එච් ඊ දයානන්ද ආදීන් ගේ නම් පමණක් මට මතක ය.

ඒවා ප්‍රගීත් ගේ හෝ චමිල ගේ PJ වැඩ වගේ හොඳ ය.
ශාලාව ට ඇතුළු වුණෙමි.
අහෝ මේ නම් කුමණ ආශ්චර්යය ක් ද? නෙළුම් පොකුණ මෙන් සිය ගුණ විශාල දිව්‍ය රඟමඩලෙකි. ප්‍රධාන පීඨිකාව වටරවුම් ය. පීඨිකාව සැරසිලි සියල්ල රන් පත් සමන් පිච්ච ආදී දන්නා නොදන්නා මල් වලින් යුක්ත ය.
පසෙකින්  වීදුරු කුටියක ගුත්තිල ගේ වීනාව, දිසාපාමොක් ඇදුරුතුමන් ගේ සළුවක් ගජමන් නෝනා ගේ පෑනක් ප්‍රදර්ශනය ට තබා තිබිණ.
අපෙන් සමුගත් කලිකාල සර්වඥ දෙවන පැරකුම්බා දිව්‍ය රාජයා අනෙකුත් දිව්‍ය රාජයන් සමග අසුන් ගති.
මාධ්‍යකරුවන් වූ හෙයින්  ඉදිරිපසම දිව්‍යාංගනාවන් අප හට අසුන් පැනවීය.
 හාත්පස නැරඹුවෙමි.
මුල් අසුන් වලම දෙවන පරාක්‍රමබාහු දිව්‍ය රාජයා දෙපස පන්ඩිත අමරදේව, එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීහු අසුන් ගෙන සීටී. දයානන්ද ගුනවර්ධන, ජයලත් මනෝරත්න, හෙන්රි ජයසේන ආදීන් ය. තිස්ස අබේසේකර, කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, ප්‍රේමසිරි කේමදාස ආදින් ද අපහසුවෙන් හදුනා ගතිමි.
එපමණක් ද චන්න දේශප්‍රිය ගේ වැනි උපැස් යුවලක් පැලැදි තරුණ ඩී බී නිහාල්සිංයෝ මා හදුනා ගත් හ. එච් ආර් ජෝතිපාල, සුනිල් ශාන්ත, සිරි ගුණසිංහ, ඔස්ටින් මුණසිංහ එක පෙළට අසුන් ගතව සිටියහ.
 එකවර දිව්‍ය රඟමඬල එකාලෝක විය.
නන්දසේන රාජපක්ෂ ගේ වගේ ආලෝක කදම්බයක් දිව්‍ය රඟමඬලට වට හ.
" .... පුරකත නුබඳ බඳ - මහවුරු උකුළු වටහී
රතමිණි තොරණ රැස්‌ රැසින් රතෙපුර සුපුන් සඳ....."
එහිදී පිපීගිය මල් වලින් ගැවසුණු දිය අගල නාට්‍යංගනාවන්ගේ ඉණ වට බැඳි මිණි මෙවුලකට ද, සව් බරණින් සැදි කාමිනියන්, කාමුකයන්ට මල් හී යෑවීම, විදුලිය පරයා නටන ගැහැනුන් මයුරයන් රැවටීම, සඳ වැනි මුහුණ ඇති ලාලනියන්, දුටු දුටු ජනයන් මුලා කිරීම, ප්‍රියාවියන් තම ප්‍රියයන් වැළඳ ක්‍රීඩා කිරීම, මඳ වැගිරෙන ඇතුන්ගේ ගඳට බමරු දුව ඒමත්, බඹරුන්, නටන ගැහැනුන්ගේ මුව පියුමකැයි සිතා වසා ගැනීම.....
ආදී ලෙස පූරක දිව්‍යාගනාවන් සංදර්ශනය ආරම්භක පාඨය  සභා ගත කළහ.
කිසිවක් නොවේ මේ කලිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත දෙවන පැරකුම්බා දිව්‍ය රාජයා ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මිත කව්සිළුමිණ මහා කාව්‍යය දිව්‍ය වේදිකා නළුවක් ලෙස නිර්මාණය කොට කෙරෙන  වේදිකා ප්‍රතිස්ඨාපන  මංගල්‍යය ය බව අපට සෙනිකෙං වැටහිණ.
"....කතක බොන මීවිත - හී හෙත කියඹු සිඳුවර.... දුරලන්නසිත් පිඹිගේ මුවමී ගතෙ නරවරා"
(කාන්තාවක විසින් පානය කරන ලද මීවිතෙහි ඇයගේ තියඹු වැලෙහි වූ නිකමල් වැටුණු විට රජතුමා එය ඉවත් කරන අදහසින් පිඹින්නාක්‌ මෙන් ඒ කතගේ මුව නමැති මී පානය කළ බව කියවෙන සිප ගැනීම ආදී ලෙස එකිනෙක ජවනිකා ශාලා මැද උස්වූ පීඨිකාව වෙහි මැවේ.
උපාලි ආරියසිරි ගේ වේදිකා කළමනාකරණය මෙන් වැඩේ තිතට ගිය ද පූරක දිව්‍ය කාන්තාවන් මගේ සිත් ගත්තේ නැත. ඔවුන්ගේ කතන අර්ථ විදග්ධ ය. භාෂා උසුරුවීම සුමටය.  විලාසය සුහද ය. ඒත් ඒ දිව්‍යාගනාවන් එතරම්ම රූපශ්‍රීය ක් නැත.  පැරකුම්බා දිව්‍ය රාජයා ගේ අන්තඃපුරයේ මෙකී පූරක දිව්‍යාගනාවන් ට වඩා ඉතා දිව්‍ය රූපයෙන් අනූන වූද උසට සරිලන කදෙන් යුත් ඇත්දල පැහැති තරුණ සුකුමාලි දිව්‍යාගනාවන් රැසක් අප දුටුවෙමි. ඔවුනතරින් කිසිවකු මේ පූරක දිව්‍යාගනාවන් ගේ පෙල දිගහැරුමේ පාඨ අරුත් තෙපලන්නට නොගත්තේ මන්දැයි මගේ හිත තුල මහා කුකුසක් ජනිත විය.
මගේ කුකුස ලියලනාතර රංගනය ගලා යෙයි.
සවසනෙලෙ යතමෙන් ලවනත රතු වුවන් ගත්.... වලඳුතු ළපිරුණු නුරා නුවනග වහන් ගත් මෙන්
“රජු මෙහෙසිය වැලඳ ගනුත් ම ඇගේ පයෝධරයන්ගෙන් රජුගේ ළෙහි තැවරුණු කොකුම් ආලේපය අනංගයාට රජුගේ හදවත නමැති ගෙට ඇතුළු වීම සඳහා තැබූ මණ්ඩලයක් බඳු වීය. (සුචරිත ගම්ලත් )
කෙසේ හෝ සෙමෙන් ගලා යන මහා නළුව විඳින දිව්‍ය සභාව මීයට පිම්බාක් මෙන් විය.
සෙමින් මතුවූ මිණිගෙඩි හඬකි. මට කිසිවක් වටහා ගත නොහැක. පසුව වැටහුනේ ඒ මහා කාව්‍ය රංගනයේ විවේක කාලය බවයි. එකම අරම ශාලාවේ පසුපසින් කලබලයක් ඇතිවිය. මාධ්‍ය කාරයන් නිසා ඒ ගැන සොයා බැලුවෙමු.
දෙවිවරුන් තිදෙනකු සිහි විසඥව අසුන් මත ම වැටී සිටී.
මේ මට මහා ගැටලුවක් වූ නිසා ඒ ආසන්නයේ සිටි දිව්‍ය කුමරකු ගෙන් ඒ ගැන විමසුවෙමි.
මහා කාව්‍ය රංගනයේ රසයෙන් මුසපත්ව, මුසපත්ව සිටීමෙන් දිව්‍ය ඕජාව ගැනීමට අමතකව, ඒ දෙවිවරුන් සිහි විසඥවී සිටින බව දැනගත්තෙමි.(දෙවිවරුන්ගේ ආහාරය දිව්‍ය ඕජාවය.)
දිව්‍ය විවේක කාලයේදී මාධ්‍ය කරුවන් සඳහා විශේෂ දිව්‍ය භෝජන සංග්‍රහයක් වෙත දිව්‍යාංගනාවොහු අප කැදවූහ.
සැකසූ දිව්‍ය භෝජන අප වෙත පිළිගැන්වූයේ කලිකාල සාහිත්‍ය සර්වඥ පන්ඩිත දෙවන පැරකුම්බා දිව්‍ය රාජයා විසිනි.
දිව්‍ය භෝජන පිලිගන්නාතර මගේ කුකුස ගැන දිව්‍ය රාජයා ගෙන් විමසුවෙමි.  පසුව ඒ ගැන තෙපලමියි දිව්‍ය රාජයානෝ අනෙකුන් ට සංග්‍රහ කළෝ ය.
අනතුරු අප වෙත පැමිණ කලිකාල සර්වඥ දෙවන පැරකුම්බා දිව්‍ය රාජයා පූරක දිව්‍යාගනාවන් ගේ මගේ කුකුස ගැන කරුණු පැහැදිලි කළෝ ය.
''මනුලොව සිට මෙහි පැමිණි ගොබ්බ බයි අසෝකය!"

"අප දිව්‍ය විමානයේ මෙවැනි රංගන නිරන්තර පැවත්වේ. ඒ හැම විට අප පූරක දිව්‍යාගනාවන් ලෙස තෝරා ගන්නේ ශාස්ත්‍ර ශිල්ප උගත්, පුළුල් වූ වාග් කෝෂි ඥාන ඇත්තාවු විචක්ෂණ බුද්ධියත් ඇත්තාවූ පූරක දිව්‍යාංගනාවන් මිසක මා සමග යහන් ගත රතියෙහි සමත් වන්නාවූ ජවි වර්ණයෙන් කේෂ කලාපයෙන් පයෝදරයෙන් උකුල් තලයෙන් අග තැම්පත් අන්තඃපුර දිව්‍යාංගනාවොහු නොවෙති.

අන්තඃපුර දිව්‍යාංගනාවොහු සුදුසු වන්නේ රති කෙලියට මිස අන් කවරකට.රතියේහි ශූර අන්තඃපුර දිව්‍යාංගනාවන් පූරක වෘත්තියෙහි යෙහි දුප්පත් ය.
මී ගොන්‍ ය.
එකවර රනුකයා මට කතා කළේ ය. ඒ රනුකයා ට සරුංගලයට කිතුල් පිත්තක් කප්පවා ගැනීමට ය.
හිස ඔසවා බැලීමි අපේ මද්දුමි ලූණු ලියනවා පෙනේ. මෙතරම් දහවල් වනතුරු නිදාගත්තේ කාලෙකිනි.