උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

අඳුරු සිතක එළිය ඒ සිතමයි!!!

වැහි බීරුමට එතෙක් තමා හා වෙළුණු

මේඝවලා අත් හරින්නට බැරි සේ ය.

හිරු තවමත් පිපෙන්නට අර අඳිමින්.

අඳුරු වලා තවමත් හිරුට මතුවෙන්නට ඉඩක් නොදෙයි.

වැසී ඉන්නට අකැමැති හිරු වලාවන් හා

පොර බඳිද්දී තැනින් තැන මග හැරුණු වලා

අතරින් එළිය හොරෙන් හොරෙන්

රිංගා මතුවෙයි.

මට සිහිවෙන්නේ අපේ බාලෙදි අවුරුද්දට

 පෙරින් කෙසෙල් කැන් ඉදවන්නනට තාත්තා

 දුම් ගසද්දී ,තැනින් තැනින් වලෙන් මතුව

එන දුම් රොටුය.

එදවස වල මත නැඟී එම සිදුරු වැසුයේ

සීතම්මා හෝ පොඩීය. ඒ ඔවුන් බර නැති නිසාය. 

මම විවර වූ දොරින් අපේ සිත් පිනවන්නට

වෙහෙසෙන ගහ කොළ දෙස  බැලීමි.

රත්මලානේ සිට අප නොහැර යන නෑයෙකු

සේ අප කැටුව විත් තවමත් මා පුබුදුවන රෝස

මල් පඳුර මගේ දෑස සිර කරගන්නට මාන බලයි.

තෙමසකට වැඩි දිනක් නියත සාත්තුවක් නොලත්

ගහ කොළ සෙමින් සෙමින් සිනාසෙන්නට

බලන්නේ නෝක්කාඩු බැල්මෙන් නොවීම සතුටකි.

තැනින් තැන පිපී ගිය ඕකිඩ් මල් පිපී වැනෙන්නේ

රෝස ගහට ඔච්චම් කරන්නට මෙනි.

 පුරුදු ගහකොළ නෙතට උලෙළක් වෙන්නට

තතනද්දී සිහිවෙන්නේ ගමනක් ගොස් එන කලට

දුර ඈතින් ඇසෙන වාහනයේ හඬට ඇගේ බසින්

විවර මුවින් සිනා සී සෙනේහ පාන අප හැර ගිය 'ලැසී 'ය.

ඇතිවෙන බොහෝ දේවල් නැතිව යයි.

නැති වී නොගොස් ඇතිවීමක් නැති තැන ඇතිකර

ගත යුත්තේ 'පියෙහි විප්ප යෝගයට' වඩා එය

නැතිව ගිය බව දැණුනු සිත යැයි මට සිතේ.

නො එසේව අප බැඳීම ම

ඇළීමක් කරගත හැකි බැවිනි.

මගේ පියතම මල නෙළා මම 

පාසල් සමයේදී පාඩම් කරන තැන තබා

ගන්නට පුරුදුව සිටියෙමි. විටෙන් විට එහි සුවඳ

වින්දේ බාලෙදී බිත්තිවල ගෑ  තාර පටියේ

සුවඳ ඉම්බාක් මෙනි.

රෝසමල සමග සිදුවුණු යමක්

හදිසියේම මට සිහිවෙයි.

මා රෝස මල්වලට රුචි නිසා කාගේ

හෝ ගෙදරක පිපුණොත් රෝස මගේ

පංතියේ මිතුරියන්  රැගෙන එයි.

දවසක් එසේ මගේ ඩෙස්ක් මත කවුළුවට

දමා තිබූ මල් දෙකක් එතැනින් යාමට ආ

ප්‍රේමලතා මුණසිංහ අතට ගෙන එකවරම

පොඩි කොට වීසී කළාය.

ඇය එසේ කළේ ඇයිදැයි මම තවමත් නොදනී.

එයින් ඉනික්බිති පාසලින් යනතුරු මම

මල් පෙනෙන්නට ළඟ තබා නොගත්තෙමී.

අහස තවමත් හිරු සඟවා ගෙනය.

උදාසන කෑම කන්නට ආ කුරුල්ලෝ රණ්ඩු

නොවී කෑම කද්දී පසුව ආවෝ දැල් වැටඋඩ ශාන්තව බලා සිටිති.

මට නවසීලන්තයේ එකම මාවතක ඉදිරියෙන්

යන්නාට නළාව ශබ්ද නොකර තම වාහනය ඉස්සර

නොකොට ඔහු පසු පස ඇදෙන විනීත රියදුරන් සිහිවෙ.

මම පිපී වැනෙන එකම රෝස මලක් නෙළා

ගන්නට හැදුවේ පූජා කරන්නටය. එය නෙළා ගන්නට යද්දී

ඇනී ගිය රෝස කටුවක් සෙමින්

මගේ ඇඟිල්ල සිදුරු කළේය.

එක්වරම දැනී ගිය වේදනාව රෝස පඳුරට 

බැන්දාලය දුරස් කරනවාද යන පයිංඩය  මොළයෙන්

එවද්දී එය මගේ නොසැලකිල්ල කියා දන්වා 

රෝස පඳුර දෙස බලා සිටියෙමි. යමකට රුචි වෙද්දී

එය අඩු කරන යමක් සිදුවෙද්දී අපේ මුල් සිත

සෙමින් වෙනස් වෙන්නේ එය අපේ

 නොවේ යන සිතුවිල්ල මතු වීමෙනි.

එකල මා සන් මිතුරා වූ මට මගේ ලියමන්වලට

බොහෝ උපකාර කළ එහෙත් 'අතීත කාමය' නම්

වචනය නිසා මා හැර ගිය මා මිතු ඒ සොඳුරු

කවියාගේ මුල්ම කාව්‍ය සංග්‍රයේ බොහෝ කවිවල

සියලු සෙය්යාවන් මතක් වෙමින් ආවේ මේ මොහොතේය. 

එහි එක් කවියක ජායානුවාදය  මේ මොහොතේ

මතකයට එන්නේ රෝසමලට පෙම් බඳිද්දී

මට කටුවකින් අනිද්දී ඒ ගස එපා

නොවන්නට යළිත් සිත හදා ගනිද්දීය.

 " වේදිකාව මත පෙම් කළ ඇගේ රැඟුමින් වශීව ගොස්

නාට්‍යය අවසන ඇය සොයා

නේපත්‍යාගාරයට ගිය සඳ

ඇය සිය දරුවාට කිරි දෙනු දැක

ආපසු හැරී ආවෙමි''

(මේ ඔහුගේ කවියේ පදානුගතයයි)

කවියා අපේ සිත විවරණය කරන්නේ සියලු

රූකම් කණපිට හරවනු ලැබූ කොට්ටා උරයක් කරම්නි.

සියල්ලටම සිත මූලික වෙයි.

ඔහු විවරණය කළේ අපේ සිතයි.

ලේ බිඳු ඉපිල  එන ඇඟිල්ල දෙස මම බලා සිටිමි.

එය මලක් වූ වගද, එය සුවඳ බව ද

සුවඳක් මට දැනී ගිය වග පමණක් ම

සිහි කරමින්, වලා පෙරළා  සිනාසෙන හිරු,

වැඩ කරන ඔබ මගට එළිය

දෙන දෙස මම බලා සිටිමි.

හිරු සේම ඔබ ද මට ආලෝකයකි බැබළෙන.

ඉදින් ,

ආදරණීය සුවපත් දොහක්!!

-  චමින්ද වෙලගෙදර  -

 

 

 

 

-------------------          ---------------------

පැහැරගත්තු සෙල්ලම් කාලේ

 -  ඇන්ජලා පැල්පොළ  - 

සිලි සිලි හඬ නගා ලාදළු  ලෙලදෙනවා ...

සුපිපුණු කුසුම් මත බඹරුන් රඟ දෙනවා...

වසන්තයේ  අරුණළු මැද හිනැහෙනවා...

අළුත් ඉරක් පුතු වෙනුවෙන් පායනවා...

ඇලේ දොළේ දුව පැනලා සෙල්ලම් කළ කාලේ...

කුප්පි ලාම්පුවේ එළියට රණ්ඩු කරපු තාලේ...

ලියදි දිගේ මඩ නාගෙන ගොයමේ  නටපු ආලේ...

සිහි වෙනකොට හරිම දුකයි හොරු ගත්තද බාලේ...

දෙනෙතට බර වැඩි කඳුළැල් දෙකොපුල් තෙමුවා...

හදවත ගැහෙනා රිද්මෙට අහසත් ඇඬුවා...

ගංගා ඇළ දොළ උතුරා හසරැලි මැකුවා...

අතීතයේ මිහිරි මතක සිහිනෙන් දුටුවා...

 

 

 

-  ඇන්ජලා පැල්පොළ  -

 

 

 

නාට්ටාමි  මහත්තය

 

 

 

මට කිසිම ලැජ්ජාවක් .නෑ

නුඹ ව අමතන්න

නාටාමි මහත්තයා කියා

කිලෝ පනහක් බර

උර දරාගෙන

නැමි නැමී නුඹ

යනෙන වාරෙට

මටමහ උසට පෙනුණා

නිරුවත්  උඩුකය

කැහැපට ගසා ගත්

කඩමලු සරොම

වතුර  සේ ගලන දා දිය

බරින් හැකිලුන තුඟු සිරුර

ඇඟේ හැපේ යැයි

පදික මුව පිලිකුලෙන් වැසුණා

අඹු දරුවෝ නැති වුණත් උඹගෙම

උඹට දරුවන් රැසක් හිටියා

දෙවියන් නොබැලුවද නුඹ දෙස

දිනට පස් වරක් වැන්දා

සවස් වන විට

කැක්කුම් වේදනා ගලවා වීසි කොට

දිග කලිසමට අත් දිග කමිසයට බැස්සා

ගත සවිය  විකුණා ලද රුපියල්

කහ දොඩමකට  මාරි පැකැට්ටුවකට

කෙසෙල් ඇවරියකට මාරු වුණා

අස්සලාමු අලෙයිකුම්

වාට්ටුව දොරකොඩ

නුඹේ හිනාමල් වැස්සා

දොස්තර  මහතෙක් යැයි

නවක ලෙඩුන් මුළා වී

හිස නමා බුහුමන

යන මඟින් බැස්සා   

 

 කාත් කව්රුත්  නැති

 

කකුලයි අතයි ඇති

රංබණ්ඩාර මාමා

වැසිකිළි යන්නට නුඹ එනතුරු

බලා හිටියා..                                                           

ගිනියම් දහවලේ පෙරාගෙන දහඩිය

යනෙන විට ඔසවාගෙන මහබර

මොහොමඩ් මට නුඹව

 වැලඳ ගන්නම හිතුණා.. 

 -  නිලන්ති ෆ්‍රනාන්දු  - 

 

 

 

 

⋆⋆⋆⋆⋆⋆                ⋆⋆⋆⋆⋆⋆      

   

              ඉඩෝරය

දිය දම වැහැරිලා සුන්දර බව                           දුන් න

හිරි සඳු අතර නෑ සෙ‌නෙහස                   සැනසෙන්න

සසල වු සුසුම් පොද උඩු සුළඟට                      යන්න

බැරි වී සිරවෙලා සිදුවෙයි   මිය                        යන්න

පපු තුර වියරු වුණ පැටවුනි                         අහපල්ලා

වෑහෙන ආදරයෙ පහසක්                        නොතබල්ලා

අපහ විණ කරන මිනිසුන්     ගෙන                    අල්ලා  

ගම්දොර වෙතට   ඇද විසිකර                      දමපල්ලා

අඳුරට ඇදෙන මහ වන අතුපත්                       අස්සේ

කුස සනසන්න තිබුණා පෙර දින                     රිස්සේ

මොනරුන් සොයා යන මිනිසුන් පසු                පස්සේ

අප වැනසුමට නැත නුඹ කඳුළක්                    පිස්සේ

පවසට තිබූ දිය කඳුරත්                        වේලෙන   වා

කරවුණ සිරුරෙ හම පුපුරා   ලේ                     යනවා

සෙවණට තැනක් කෝ ඉපලක් වත්                නැතුවා

වියරු වු යකඩ  දත් කැලයෙම                    දඟලනවා

මහ වනපතින් මර හඬ දී හඬන                       කොට

උන් හට තැලී සිය දහසක්  මියෙන                  කොට

එන විට කඳන් ලොරියේ ගොර ගොර               හඬට

සිතුවද අනේ මොනවා වේ විද                         අපට

 පැල ඉණි වැටට ඉහළින් ගම් ගොඩට              පැන

බඩගින්නට යි ආවේ වරදද                        කොතන

මොනරුන් සොයන මිනිසුනි වන තුරු            නසන

වනයේ වසන්නට ඉඩකඩ     නැහැ                එතන

හවසට මොනරු අල්ලා  මත තොල                ගාන

ඉන්පසු අනඟ රඟ සයුරේ කිමිද                       යන

අප රජදහන වනසා සතුටක්                         ලබන

මිනිසුනි විඳිව් ජීවිතයෙම                           අවමාන

පුතුණේ එදා ධාතුන් පිට     වඩින                    විට

ඇසුණා සාදු හඬ දෙව්ලොව දිසාව                     ට

එහෙමට කරන පින්කමටත් නිගා                කොට

කැලයම නසයි ළෙහි පපු කම් නෑ               උන්ට

  -  රත්නා කහඳගමගේ   -   

------------------- 

 

 

 

++++++       +++++

හෙට  ඉස්කෝලේ නෑ තාත්තේ

                                                                    -  වරුණ අබේසේකර  -   

ගුරු සටනක්ලු ලොකුවට

සිංහල මිස් කිව්වා

සටනට යනවා කියලා කොටුවට

පොඩි පුතා ගෙදර ඇවිදින්

බියෙන් සැකෙන් වගෙ

කිව්වා මට

ගියා මගෙ හිත

 ඉස්කෝලෙ මතකෙට

එක්තරා දිනක්

ඉස්කෝලේ යන්න බැහැ කියලා

බොරු ලෙඩක් අරගෙන

දවස් දෙකක්

ගෙදරට වෙලා

ඉන්න දෙගුරුන්

කැමති කර ගත්ත මං

                                 

පළමු දවසෙම

ලොකු සෑර්ගෙන්

පණිවිඩයක් ආව ගෙදරට

ළමයා ඉස්කෝලේ එවන්න කියලා

දින දෙකේ නිවාඩුව

අහෝසි කර

මට යන්න වුණා

පහුවදාම

ඉස්කෝලෙට

ගුරු සටන දිනු අතර

හිමි වුණා පැරදුම මට