උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

නොනිමි ගීතය

දේ දුන්නෙ හැම පාට

පහන් වී වැටෙන විට.

සබකෝල නෙත් විවර

කර දෙපස බලන විට.

සුදු සේල දස අතර පැතිරිලා

ලෙලෙන විට.

පායන්නෙ  හිරු කිරණ

ඝන වලා නැතිදාට.

තිමිර පටලින් වසා නිදි ගන්ත හැම රෑට.

තුහින මල් දිලිසුණා හිමිදිරියෙ ගතු කුමට.

ඇඟේ හිරි ගඩු පිපුණ නිමේෂය සිහිව මට.

සිනා නැගුණා  මුවට රන් දහර දුටුව විට.

රාත්‍රිය උදෑසන දහවලත් ගෙවන විට

සීතලට දාහයට දිරි දුන්න ගත සිතට

කාන්සිය මහන්සිය පරදවා දැඩි සිතට

නොපෙනෙනා මානයක් හමු වුනා යටි සිතට.

වනපෙත් මැදින් තණපත් මතින් පියමැන ගොසින් දකිනට සිනිඳු   සිහිනය.

පා ඔසවමින්  ගල් පඩි  මතින් ගලපා දෙපා විඳගෙන රළුම පවනය.

ක්ෂිතිජය ඉමෙන් ඈතට ගොසින්  විවරව මුවින් දුටුවා නිබඳ මානය.

දැනුණා පවන් කලතා එමින් දෙසවන් වලින් ඇසුණා නොනිමි ගීතය.

- සුනිල් අකුරුගොඩ -.

 

 

 

 

 

 

 

 

 

 

සෙල් රුවක කඳුළක්

ගිණි දළු නැගෙන මිහිමත සෙවණැලි පමණ

ගහ කොළ පමණි දන්නේ අපගේ සිහින

දරු පැටවුන්ට හිසටත් සෙවණක් සදන

මගෙ හිත යටත් තිබුණා දහසක් සිහින.....

දෙන්නට උණුසුමක් බිරිඳට දරුවන්ට

සිතිවිළි පමණි බැරිවිය එය කරගන්ට

වෙඩිහඬ මැඳට පමණක් සීමාවෙන්ට

ජීවන ගමන විය ගල් කුළුණක් වෙන්ට....

ඉර හඳ පමණි තනියට සැමදා උන්නේ

අව් වැසි වලට දහයට සෙවණක් දුන්නේ

රැකවරණය පිණිස  හිත මැඳ සැතපෙන්නේ

අසිපත පමණි මාළඟ තනියට උන්නේ...

ඈතට විහිද යන අසිපත්වල සද්දේ

දෝතට පිදුණු  මල් කළඹක් නොව යුද්දේ...

සීතට උණුසුමට නොව අසිපත ලද්දේ

මගෙ රට රකින්නයි මේ සීතල යුද්දේ ....

දරුපැටවුනට නොලැබුණි පියෙකුගෙ පිහිට

සෙවණක් නොවුණි බිරිඳට මගෙ පරපුරට

හැඟුමන් සිතේ තෙරපෙන අව් වැසි වලට

දහදිය සුවඳ පිරුණයි නැහැපුඩු ළඟට...

අව්වැසි වලට රැකවරණය නිළ ඇඳුමයි

සීතට උණුසුමට පිහිටත් ගිණි අවියයි...

රස මසවුළු යදින මුත් කුස නොම පිරුණයි

බිරිඳගෙ මුදු පහස අඩ නින්දක දැනුණයි....

වට කොට මුතු ඇටය ගැන නිතරම සිතුවා

හෙට ගැන යමක් සිතයට සඟවනු බැරුවා

වට කොට සයුර මගෙ රට දැය ගැන සිතුවා

වගෙ හැඩිදැඩි සිරුරෙ හැඩ ගලකට පෙව්වා...

දරු පැටවුන්ගෙ දෑඟිලි  අල්ලන් පැමිණ

නෙතුපිය නොසලාම මගෙ රූපය දකින

කඳුළැලි වගුරවන උන්ගේ දෙස බලන

මගෙ සෙල් රුවෙත්

කඳළැලි උල්පත් හැලිණ. 

 

ඉන්දු මංචනායක - අලුවිහාරය  මාතලේ   
 

සුසැදු  එ'දසුන්

විසුළ උදුළවු ඈත වෙරළක

රූප ඡායා නිසල සවසක

වින්ඳ සරතැස නිවා පවසක

උතුළ ඒ රූ වෙළෙයි දැහැනක

සප්ත සරයෙන් ගයන ගී පද

රැළ්ල පවනේ රසින් පිරි නද

සවන් සනසා ඔසල වී හද

දිලිනි ප්‍රබවත් පෙරදි දිසි සඳ

 

අඳුරු වත සිනි හසින් මුදු  සොඳ

සිතිල කරමින් මහද පිරිමැද

සුසැදු එදසුන් තුරිඳුඅතු ලද

පවන් පහසින් සුවසෙ සසි මඳ

පොකුරු තුරු වන් ගලන දිය රැළි

සිතිජ කෙළවර රසින් පිරි  සුළි

වරන සුන්දර සඳවෙලක යළි

 

- සීතා මොරගොඩ -  පහළ කරගහමුණ                               

---------

මග හැරිය සක්මන් මළු

  හැමදාමත් ලියවුණේ මෙහෙමද

  මග තොටදි හමුවී

  වදනක් දොඩා වෙන්වීමද

  ඉක්මන් ගමන් කොට නිසාමද

   දස්කොන් නොවී

   මග හැරියේ

   ගැවසීම.......

   සක්මන් මළු

ෂර්මිලා බංදුනී දංවත්ත