අඹ ගහට මතක දුක

අම්මා ගිය දා ඉඳන්මයි මේ ඉවරයක් නෑ තව ඇඬිල්ල
හවස් වෙනකොට ගොඩක් පාළුයි බලන්නෙම තාමත් කඩුල්ල
තාත්තත් අද හෙට ද දන්නෑ පත්තු කරගෙන කඳ වෙඩිල්ල
පොඩ්ඩි ගැන මට බයයි අම්මේ ඒකිටත් දැන් හරි නැටිල්ල
ගුටි කකා උඹ වින්ඳ දහදුක තාම මැවි මැවි පෙනෙනවා
අම්ම එල්ලුණු අඹ ගහේ කොළ තාම මිදුලට වැටෙනවා
එදා වාගෙම ගෙදර ඇතුලට වහින මහ වැහි වටෙනවා
මමයි පොඩ්ඩියි අම්මෙ රෑ ගෙවෙනකන් ඉඳගෙන අඬනවා
බිලා ඇවිදින් රණ්ඩු කෙරුවට තාත්තත් දැන් වෙලා මෙල්ල
මගේ වයසත් ගෙවිල යනවා පොඩ්ඩි දැන් හරි හැඩයි කෙල්ල
මූසලම පාටයිලු දොරකඩ අඹ ගහට ගත් නිසා බිල්ල
ගමේ උන් කිසි එකෙක් එන්නෑ අම්මෙ තව තියනවද කිල්ල
ලුණු ටිකක්වත් කඩෙන් දෙන්නෑ පිටුත් ඉවරලු ණය පොතේ
මුදලාලි හැමදාම බනිනව හයිය නෑ දැන් මගෙ හිතේ
පොඩ්ඩිගේ ඇඟ පොරවලා උඹෙ සුවඳ එන මල් චීත්තේ
අම්මෙ ඇවිදින් නතර වෙන්නම හිතෙනවා මට කනත්තේ
.. ෴ ෴ .... ෴ ෴ ..
ප්රේමවන්තයාගෙ දියණියට ...
ඇඟිලි තුඩින් එසැවීගෙන
ලී වැට ළඟ මග බලාන
අප්පච්චී එනකල් නුඹ
පුංචි හීන දකිනවාද
ගිනි කන්දක් හිත දරාන
අහිමි පෙමට මග බලාන
මමත් හීන දකිනා බව
දුවේ නුඹට දැනෙනවාද
ඉස්සර මට දුන් සෙනෙහස
හිත් මුල්ලක සඟවාගෙන
දෙලොවක හිඳ දුකින් තැවෙන
අප්පච්චිට සමාවෙයං
මං හෙළනා නේක සුසුම්
මං හඬනා නේක හැඬුම්
නුඹේ මවට නොදෙනෙම් මං
දුවේ ඉතිං හිනාවෙයං

ඈ
මියුරු සිනහවක් පාමින් මුදු වදනින් සනසන්නී...
තියුණු කටුව සුමුදු ලෙසට නහර තුළින් ගෙන යන්නී...
සොයුරු පෙමින් දැහැමි සිතින් සේවය සැමහට දෙන්නී...
සයුරු තෙරේ දිය පරදා පිං එක්රැස් කර ගන්නී...
සුවඳ පිරුණු මලක් වගේ හදවත ත පිපුණේ...
කෝකිල නාදයට වඩා මිහිරි වදන් මැව්ණේ...
කෙළිලොල් විය උගසට දී අද දීගෙක යන්නේ...
කුල කුමරියේ ඔය මැදුරෙත් අම්මා අප්පා ඉන්නේ...
උර දෙන්නට අම්මා උසුලන බරට...
කර අරිනා විට අප්පා හරි යසට...
පෙරමුණ ගත් දූ සිගිත්ත හිත හොඳට...
දුර දිග බලාපන් බිල්ලෝ ඇති එමට.
෴ .. ෴ ෴ ..
අතුමත මල්
කාන්ති දසනායක
අතුමත මල් පිපිලා ගහකොළ පිනාව
පැහැබර දිනක් දුන්නා මුවගට සිනාව
පිවිතුරු පෙමක් හමුවෙි සිත බිව් අමාව
හදරැඳි දුකක් දුරහැර දැමුවේ මනාව
වැදුවම මව් රුධිරෙ කිරි වෙනවා නියදමකී
පියෙකුගෙ කැපවීම ඟ මහමෙර මැටි පිඩකී
සාමය සමාදානය ලොව යහපතකී
නිරතුරු පිදිය යුතු මව්පියො සම්පතකී
.. ෴ ෴ ..
අප්පච්චී
නයෝමි අමරසිංහ
මාවත කොහොල් මැද අව් රැල්ලට පිච්චී
සාගත නියං මැද වස්සානය වෙච්චී
සීමිත නොවන මහ පොළවක ලියවිච්චී
ජීවිත කවිය බැඳි එළිවැට අප්පච්චී