ඩොලැක්ක නන්දේ
සම්මානනීය කිවිවර කුමාර හෙට්ටිආරච්චිත් අද කවි මඩුවට අරක් ගත් වගි
අඩ සියවසකට පෙර, ගොයම් කපා පෑගු පසු වෙල් ඉපනැලි යායවල් කසාවතින් වේලෙන කාලයට, එකල අපේ ගමේ ගැමි නාටක රඟ දැක්වුණා මතක ය. මගේ ගම ගාල්ල දිස්ත්‍රික්කයේ ඉමදුවට නුදුරු කෝදාගොඩ ගම යි.
එකල අහල ගම් හතකට ම තොවිල් පවිල්වලින් අඩුවක් තිබුණේ නැත. ගොම්මනේ පටන් බෙර සද්ද ඇසෙන විට තාත්තාත්, මාත්, මල්ලීත් හුළු අතු බැඳගෙන, බෙර ගඬ ඔස්සේ තොවිල් ගෙවල් හොයාගෙන ගියෙමු, දහ අට පාලිය ද නරඹා අපි ගෙදර ජාමයට සැවුලෝ ස්වකීය හිමිදිරි ඩියුටිය පටන් ගත්තා මතකය.
කමත අද්දර කුඩා මඩුවක් ඉදිකොට, පොල් කොට සිටුවා, ලෑලි වේදිකාවක් සාදා, ඒ මත ගමේ තරුණයන් ඉදිරිපත් කළ නාට්‍ය දෙස, පැටි සංදියේ හුන් මා බලා සිටියේ හොලිවුඩ් චිත්‍රපටයක් නරඹන්නා සේ අමන්දානන්දයට පත්වෙමිනි
එකල ගමේ පොල්කොට වේදිකාවට ද, සංගීත සාජ්ජයට ද නැතිව ම බැරි ශූර තබ්ලා වාදකයෙක් සිටියේය.
ඒ ඩොලැක්ක නන්දේ ය.
ඔහු කිරි හරක් බලා ගත්, ගොයිතැනට ද කැපවූ මිටි කුඩා මිනිසෙකු විය. ඔහුගේ තබ්ලා වාදන හමුවේ ගැමියන් සේ ම ගැමි ළඳුන් ද ඉමහත් ප්රහර්ෂයකින් මන්මත් වූහ.
ඉතාමත් විනෝදකාමී රසවතෙකු වූ ඔහුගේ විසිතුරු ජීවන විලාසිතාව මගේ කවියෙහි ඉපිලෙන්නේ මෙලෙසිනි.
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - ප්‍රේම සුගන්ධේ
හීන කොදෙව්වේ - තකදොං - ගෑනු නැලෙව්වේ
මුරුක්කු කෑව්වේ - තරිකිට - විලක්කු නැව්වේ
මොකද ඉලව්වේ- දියබරියන් ද - නැටෙව්වේ
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - සතර දිගන්තේ
මල් මකරන්දේ - ටිංකිරි - මධුර වසන්තේ
සුරා තිප්පොළේ - චක බක - පෙරා ගත් බලේ
සරාගික තොලේ - බීඩිය - තබාගෙන බොලේ
උරාගෙන රසේ - මඤ්ඤං - කොලොප්පං කළේ
දරාගෙන ළයේ - දෙඤ්ඤං - නුරාවක තෙලේ
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - සතර දිගන්තේ
මල් මකරන්දේ - ටිංකිරි - මධුර වසන්තේ
ගෑනු පරාණේ - තකදොං - කෝල වලාමේ
රාග තාල දෝරෙ ගලන ආල විමානේ
ලෝල වඩන - ජිඟි ජිඟි - මනමාල හිනාවේ
හීන හතක් පල දෙනවලු - ලබන සුමානේ
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - සතර දිගන්තේ
මල් මකරන්දේ - ටිංකිරි - මධුර වසන්තේ
පදක්කමට වඩා පඩික්කමට ගරු කළා
වෙඩික්කාරයොත් ඩොලැක්කෙ ළඟ දි ඇඹරුණා
විලක්කු එළියට ඇදුරෝ ඩෙන්න ඩෙන ඩෙනා
අඩව්වකින් අඩව්වකට බොන්න පේවෙනා
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - සතර දිගන්තේ
මල් මකරන්දේ - ටිංකිරි - මධුර වසන්තේ
රාණි පුසුඹ දෝරෙ ගලන නාන තොටුපලේ
පීන පීන මාළු නටන සීත ඇළදොළේ
තාම ඇහෙන - මීරි නාද - නාඩගම් පොළේ
කෝම කියමි - තාල හරඹ - පපුවට ම ඇලේ
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - සතර දිගන්තේ
මල් මකරන්දේ - ටිංකිරි - මධුර වසන්තේ
චාලට් නැන්දේ - පීකුදු - පිස්සු ඉලව්වෙ
වයලට් බැන්දේ - ජිඟි ජිඟි - පිරිමි නැලෙව්වේ
මොකද ඉලව්වේ - කවදත් - අපට කෙළෙව්වේ
ඩොලැක්ක නන්දේ - තලගොයි - පවා නැටෙව්වේ
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - සතර දිගන්තේ
මල් මකරන්දේ - ටිංකිරි - මධුර වසන්තේ
එඤ්ඤං ලීලෝ - කැරකෙන - පුන්සඳපානේ
දෙඤ්ඤං රාගේ වියෝලෙ මල්බර හීනේ
ඉඤ්ඤං නෝනේ - කැරකිල - කොමල පරාණේ
මඤ්ඤං නෑනේ - නොදකින් - මගේ මරාලේ
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - සතර දිගන්තේ
මල් මකරන්දේ - ටිංකිරි - මධුර වසන්තේ
හිටගෙන නැව්වේ රාහුට පුනක්කු පෙව්වේ
නාද කොදෙව්වේ සිකුරුට බටකොළ කැව්වේ
ගෙම්බන් බක බක ගෑවට - සඳගිරි පව්වේ
ඩොලැක්ක නන්දේ - බකමූණන් ද නැලෙව්වේ
ඩොලැක්ක නන්දේ - ජිඟි ජිඟි - සතර දිගන්තේ
මල් මකරන්දේ - ටිංකිරි - මධුර වසන්තේ
- කුමාර හෙට්ටිආරච්චි
♣💛💛💛 ♣ 💛💛💛 ♣
ඉර පායන තුරු
අම්මොයි කියා හඬදෙන පොඩි දරුවන්නේ
බම්මොයි කියා.බියහිතිලද මොර දුන්නේ
කම්මොයි කියා බත් උලකුත් නැත.උන්නේ
මම කොයියන්නද මගෙ පැටවුන්නේ
රෑට බතට.ලුණුකැඳ නැත.දරුවන්නේ - මගෙහිතසේම උඹලත් එය විඳගන්නේ
ගෙයි දොරපැලැල්ලට උන් ඉව අල්ලන්නේ - වෙන කවුරුද මේ දුක්ගිනි උහුලන්නේ
ඉර හැරෙන.පැයට බඩපපුවයි දන්නේ - වෙරදරනා සිතට බඩසා නොදැනෙන්නේ
පිරිමදිනා හිසට අඩුවක් නැත උන්නේ - සැරවරිනා යනුමිස.බත නැත දුන්නේ
ඉනවට සළු ළිහී යන රෑ මද්දහනේ - සිතුවට පතිනි කඩමයි උන් ඉරන්නේ
කරවට තෙක් මතින් පිරි රෑ බිඟුන්නේ
සැරවැර.මොටද දෙන සොච්චම දියන්නේ
කුස්ගෙඩි වලට.බඩසාගිනි දැනෙන්නේ
ඇසිස්මස් ලේ දෙන්නට සිතෙන්නේ
හිස් අහසට බමමිනි නිදි වරන්නේ
මස්ලේ නැති ඇටමයි.උන් ලොවින්නේ
වෙරවීරිය නැතිව කුලි මලි නොදෙන්නේ - පෙර කරුමයටමයි වන්දිය ගෙවන්නේ
දාගිය.හේන කොයි මීමද බුදින්නේ - ඉර එන්නට එපා පැටවුන් බෆගින්නේ,,,
- චින්තා විවියන් සිල්වා -
රිදී එළි අතුරා අඳුරු අහස මත
අඳුරු අහස මත අතුරා රිදී එළී
සොදුරු සිසිල් දිය බිඳු විත් නගයි සුළී
නිසරු පොළොව මත ඉකිලන සිනිඳු වැලී
මිතුරු වැහි දියෙන් හිනැහෙයි නගා රැලී..
සිසිල් වැහි දියෙන් තෙමෙනා තුරු සිරස
නිසල් ලොවට පවසයි වැස්සෙහි රහස
කලල් මඩ වගුරු අතුරා බිම් පියස
පුළුල් දොලක් මෙන් ගැලුවා හැකි විගස…
සීතල සමඟ මිණි මුතු මෙන් වහින වැහී
ඊතල වගේ පැටලෙයි හද පතුල ලිහී
රෑ,කල මතකයෙන් රිදවන පෙමෙහි පිහී
මා, කළ සෙනේ පැටලුම් එයි නැවත ලෙහී
ඉදිකටු තුඩක සුසිනිඳු රිදුමක් එතුව
සිදි බිදි පෙමක නටඹුන් ඇත මා සතුව
නිදි නැති රැයේ කඳුළැල් මැද ඔබ පැතුව
මදි වැහි දියට මා ලියු කවි ඔබ නැතුව…
සංජීවනී පද්මසේන
♣ ♥ ♣ ♥ ♣ ♥
සින්ඩරෙල්ලා
සුරංගනාවන්ටත්
දැන් බැහැ අත් වැඩ
මවන්නට වට්ටක්කා ගෙඩියකින්
අස්ස කරත්ත
අල්ලලා මුතු මැණික් හැඩකර
හැදුවේ නැහැ සපත්තුව
සින්ඩරෙල්ලාට
රජුන් මැතිඳුන්
පුරය හැර ගියාට
පහල විය කුමාරවරු
වෙළඳ කුලවල
තියා ස්වයංවර හැම රෑම
සෙව්වා සපත්තුවක් දාල ගිය
සුරඟන කතා
හංගාපු හීන තුළ
සැබෑ වූයේ
නින්දේදි රෑ යහන්වල
දොළහ වදින්නට පෙර
ඝංඨාර දුර
දිව යයි සින්ඩරෙල්ලා
නිරුවත් පයින් ගෙට
- ෂර්මිලා බංදුනී දංවත්ත -
♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥
දහමත් යටකළ මුදලේ තෙදබල
ආවේ එදා පෝයට පිරුවට ඇඳලා
කෑවේ බෙදා දුන්දේ පැදුරේ ඉඳලා
කීවේ මිහිරි ගාථා තාලෙට ඇදලා
සීවේ සදා පිළිවෙත් කණපිට හැරිලා
දානේ පවා ඇත්තේ මේසෙට ඇරලා
ඕනේ මුදල් නැතිනම් බණපද වැහිලා
වානේ පවා යනවලු කලකදි දිරලා
ආනේ හපොයි දහමත් මුදලෙම ඇලිලා
බලයට එන්න මග ආගම ඇල්ලීම
දහමට විනය කැටුණා ඒකෙන් බෝම
රැකුමට නොහැකි නම් පන්සිල්පද පහම
ඇත්තට බොදුනු බැතියෙකු විය හැකි කෝම
- සරත් ආනන්ද ගමගේ -
♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥
බැන්ද මාලය
බැන්ද මාලය ඔබේ ගෙලවට ආදරේ යයි පවසලා...
මන්ද කඳුලැලි රූරා වැටුණේ සෙනෙහසේ ගඟ උතුරලා...
කන්ද පාමුල හදපු ගෙපැලේ හිටිය හැටි අපි වැතිරිලා...
වින්ද දුක් ගිනි මතක් වෙනකොට කොහොම ඉන්නද හිනැහිලා...
♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥ ♣ ♥
ලියූ කවි කැට පාට කර බලන්නම්
නුඹ සුවෙන් ඇතැයි සිතමි...
වචනයක් වත් නොදොඩාම ඉන්නට පරිස්සම් වෙමි...
ඉඳහිටක නුඹ ලියු කවි කැට පාට කර බලමි..
රහස් පමණක් ලියා තිබු තැන් වරින් වර පිරිමදිමි..
ඉපිල් ගස් මැද පුරන් වු පසු
ඉතිරි සුන් බුන් රකිමි...
දවාලක් නැති රැයක තරුවක් පිපුණු වග මම දනිමි..
අසන්නට ඒ කොවුල් ගී එක දිනක් වෙන් කර හරිමි...
- නිකේෂලා රණවීර -