උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

බොරැල්ලේ පාළුවක........ (කුමාරගේ කවිහිතක මහත)

බොරැල්ල මං එක්ක.....

කලකට පසුව බොරැල්ලේ හැන්දෑවක තනි වන මට හද්දා පාළුවක් දැනේ. පේරාදෙණිය සරසවියේ කෘෂි විද්‍යා පීඨයේ නාඹර පැඟිරෙක් ව හිටු කියා පත්තරවලට මා කවි සහ කෙටිකතා ලියූ එකල කොළඹ ආවොත් බොරැල්ල සුපර් මාකට් එකේ උඩු මහලක තිබුණු "ලක්දිව " පත්තරයේ කාර්‍යාලයට තලගොයෙකු සේ බඩ ගෑවෙමි.

ලක්දිව කතු මඬුල්ලේ ආදරණීය සුනිල් මාධව අයියා සේ ම විනී හෙට්ටිගොඩ, විමලසිරි ගම්ලත් නොහොත් විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, සුදත් මහදිවුල්වැව, රෝහිත භාෂණ අබේවර්ධන සහ තවත් ලෙන්ගතු පත්තර සගයන් රැසක ගේ කුළුපග ඇසුර අදත් මට දුම් දමනා මතකයකි.

නිතර ම එහි ආ ගිය ආදරණීය ගුණදාස කපුගේ අයියා සහ කරුණාරත්න දිවුල්ගනේ සොයුරා සමඟ බොරැල්ලේ කඩපිල් ගානේ ඇවිද ගිය හැටිත්, ඉනික්බිති හීන් අඩියකින් සප්පායම් වෙමින් ක්ෂීර පථය පුරා පාවී යමින් අත්විඳි මනරම් චමත්කාරයත් අද පවා මම නොහිම් ලාලසාවකින් මෙනෙහි කරමි. අතරින් පතර දවසක කපිල කුමාර කාලිංග, ගාමිණී විජේතුංග, දයා ලංකාපුර, ගාමිණී වේරගම බඳු හෘදයාංගම සහෘදයන් සමඟ විඳි 🍸 මීවිත මිහිර අදත් මා අමන්දානන්දයට පත් කරයි.

එසේ ම මේ කිට්ටුව පාත දී සර්පයා නොහොත් කේ. කේ. සමන්කුමාර සමඟ දීප්ති කුමාර ගුණරත්න සහෝදරයන් ද හමුවූ වග ද, එකල දීප්තිලා පළ කළ " යාත්‍රා" සඟරාවට මා චිත්‍ර නිර්මාණය කළ බවත් මට සිහිපත් වෙද්දී, මා සිත සියුම් සතුටකින් පිරී යයි.

දසක කිහිපයකට පසු බොරැල්ල හංදියේ තනි වූ මොහොතක මා විඳි ආත්මීය පාළුව මේ කවිය තුළ නිදහන් කරන්නේ ඒ සැම ස්නේහයෙන් සමරමිනි.

 🌽🌽🌽🌽🌽🌽🌽🌽

 බොරැල්ලේ පාළුවක........

ආ කල බොරැල්ලට බෝ කලකට පසුව

පාළුව දැනෙයි සෝබර සිතුවිලි මුසුව

පෑරෙන විට දි මතකය සුළියක හසුව

බීමට හිතෙන්නෙ ම ගල් කාලක ඔසුව

දාඩිය දාන පාරක පෙරමඟ ලකුණූ

පෑගෙන කලට දෑසට නොපෙනී මැකුණූ

සීරුණ මතක යටගිය සිතුවිලි පොකුණු

කැලතෙන කලට පුපුරයි හදවත අකුණූ

සුදු ගෝදම්බ රොටියකි සුවිසල් අහස

බොම්බයි මොටයි පාවෙයි මේකුළු විලස

අළු යට අඟුරු වළඳයි නොසිඳෙන පවස

කිරි හොදි උඩ ම ඉපිලෙයි යටගිය දවස

ගෑවී නොගෑවී වෑහෙන ධූලි වලා

පෙනහලු දෙකට තුරුලුව මට විහිළු කළා

කාලය ගලන විට පාළුව දෙගොඩ තලා

ආදර මතක විකසිත වෙයි ම'හද පෙළා

දාහය නිසා ඇඹරෙන විට වැහි පීලි

රාගය බුරන තැන වෙව්ලන දොර ලෑලී

නාඹර කොමඩු රතියට කාමර පේලී

පාලන කොපු ය වඩදිය බාදිය වේලී

චූ බර දනන් කැසිකිලියට දුවන විට

සෝ බර නුවන් අග පිනි මුතු පෙනෙයි මට

බාගෙන එවන් මුතු ඇට මගෙ කවියකට

වීදියෙ ලියන් සරසමි ඉර බහිනකොට

නිදි නැති නදිය උඩ හෙළුවැල්ලෙන් පීනූ

හදිය ම උරුම පරමල් සුවඳැති ගෑනූ

වරලස උලති උණු දිය සැලියක නානූ

කඩදහි මලක අමුණති දාඩිය රේණූ

පා පැදි පදින කර කර මළකඩ සද්දේ

හිරිකිත හීනි චුරු චුරු වැහි පොද මැද්දේ

කැරපොතු හීන පසුපස දර දිය ඇද්දේ

ඔරලෝසුවක බට්ටා හෙළුවෙන් පැද්දේ

ඉඳිකටු තුඩින් මිරිවැඩි පතුලට අනින

සපතේරුවන් සිටියා මතකයි මෙතන

බීඩිය දුමින් මැරිගෝරවුමක බමන

ඒ සිටි ඔවුන් අද කෝ මිහිපිට කොතැන

කොත්තුව ගහන ටක ටක ටක ටක නාද

තොත්තුව විඳින පිල පිල කළුවර සාද

ඇත්කඳ ලිහිණි කළඹන විට කිරි මූද

බත් කඩ පුරා උණු වී වැගිරෙයි මේද

රත් වුණ බොරැල්ලේ පස් වන මහල පිට

මත් වුණි සුනිල් මාධව සිත් එකළු කොට

පත්තර පියස තුළ ලෙන්ගතු ඇසුරකට

උත්තම නැණ ගුණෙන් යුතු උතුමෙකි අපට

කාලය ගෙවී යයි ආදර ඉවුරු තලා

ලෝකය දුවයි සිතියම කරදියට හෙලා

මා හද පෙළන පාළුව කළුගලක උලා

දාගෙන දෙකක් මම යමි මරදාන බලා

💛 කුමාර හෙට්ටිආරච්චි

 🌽🌽🌽🌽🌽🌽🌽🌽

ඒත්!

මං නං නෑ කියන්නේ

ඒත්!

ඔහුත් කියනවා

ඈත් කියනවා

නුඹත් කියනවා

දිවේ නොගෑවෙන සේ

කටේ ගෑ නොවන සේ

ඇරියෙත් 

ඔහු 

නැත්තං උම

එහෙමත් නැති නං ඈ 

ඇරියොත් කට 

කියනවා කියනවා

අහවරයක් නැතිව

මං ඒ ඔක්කොම අහන් ඉන්නේ

ඇරගෙන යි උඹලා තෙපලන

රහ කර කර 

ඇදබාන ඒ 

සියල්ල

බොහොම අමාරුවෙන්

ඒ ගැන කියන්නයි 

මේ වචන කීපෙ ඇමිණුවේ

නොහික්මුණු ලෙසට

 - සුමැ -

ඉඩෝරයේ පිපෙනා මල්....

ඇළ දොළ සිදී හිරුගේ රැස් වළලු දිගේ...

ගහ කොළ වියලිලා මැසිවිලි දසත නැගේ..

ඉඩෝරයේ පිපෙනා මල් සුවඳ වගේ...

අමාරුවේ ළඟ සිටිනා සැවොම අගේ...

ලියන්නට කවි දහසක් නිදි  වරාගෙන

ළං වී ඉන්න හදසෙනහස  පුරෝගෙන

කවිකම් වලට ඇත ඉඩකඩ ලබාගෙන

නුඹෙ සුවදින්  එයි සිතුවිලි ගලාගෙන

   - ඇංජලා පැල්පොළ - 




අදත් මහ වැසි

අදත් මහ වැසි නොනවතින ලෙස

සිතත් බිය පත් නිසා ඉකිලයි

වසත් සමයක් සිහින සේදෙන

පවක් නොදනිමි මෙසේ වන්නට

ඇවිත් ගිය මුත් තවත් වසරක්

හිතක් සැනැසූ පැතුම් මියගිය

සියක් සිහිනද බිඳී වැටිලා

හෙමින් වැළපෙයි හදත්  රහසෙම

සපුන් හිනැහුණු බවක් නොදනිමි

"ඔවුන් යහපත් "සිතින් සිතුවෙමි

නොදත් දහසක් තුටින් පිනවන

මහත් සැණකෙළි උළෙල දුටුවෙමි

නැකැත් පසු විය ළිප් නොදැල්විණි

සිතත් තව තව බෝ දුබල විය

සුවක් විමසන කෙනෙකු නැතියෙන්

ලෙඩත් දුක හෙමි හෙමින් ළං විය

සඳත් වැළපෙයි හිතත් එක්කම

රැයෙත් තරු නැති අඳුරු අහසක්

දුකක් නොදැනෙන ලොවක් වෙත යන

මඟක් ඇත්නම් මටත් කිව මැන

                                                                                                                                                                                             -  කමලා ලියනගේ -


🌽🌽🌽🌽🌽🌽🌽🌽

අමතකව ගිය ඉසිඹුව

ඉසිඹුවෙත් වැඩට යමි....

රෑ මැදියමේ පියවුණු දෙඇස්

පාන්දර හතරටම අවදිව

එලාමය නැවතිලාදැයි අසන

අහම්බයක්මත් නොවූ

පුරුද්දක් සේම නැවත නැවතත්....

වියපත් කුසට හරියන

හොද්දක් පළාමැල්ලුමක් වෙනුවට

තෙල්දමා සින්දා

බත්මුල බදින්නට

කෙසෙල් කොළ තවතවා

අතරමග අතහරින සමහර දවස්

රෑ කිස හමාරව කඩිමුඩියෙ

උදෑසනට රෙදිපිළි මදින දසුනට

ළගට විත් සිනාසෙන කුටුම්බය

මතක්කර අමතකව ගිය ඉසිඹුව

මේ මහා මාළිගාවක විදිනු බැරි

දහවල  තෝන්තුව

කරකැවී කණපිට හැරී

සියලු දේ පෙනෙන විට

ගලවා උපැස් යුගල

පිසදා නැවත පළදිමි

සිතින් යමි සිතින් එමි

සතුට බෝ ලබමි

වැටුප් නොලබමි.    .....

 - කුමුදුනී  මෙන්ඩිස් -
කුරුණෑගල...