උණුසුම් පුවත්කව් මිණි වැල්විශේෂාංගසාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

භීෂණ සමයේ මවකයේ ගීතය

නරි රැළ හඩා වැටුණා ගම             ඉස්මත්තෙන්

රෑ තිස් පැයේ බස්සන් මොරදුන්            සද්දෙන්

ගෙයි බිත්තියේ කළු කූඹින්              වැසු වායින්

මගෙ සිත සැළෙනව ගොඩ ලූ මසු          විලසින්

 

දරුවනි නුඹල තනි මංසල යන්න                එපා

රෑ බෝවුණ විටදි තුංමංසලෙ ඉන්න             එපා

හන්දියෙ කඩපිලේ ඉඳගෙන සිටුනු             එපා

ගැටයින් සමඟ ඇසුරට  දැන් යන්න            එපා

 

ංගා දිගේ මළකුණු පා වෙන                 වානේ

මහ මඟ තැනින් තැන මළ මිනි      දැවෙනවනේ

අත් පා කකුල් පිච්චී හැම තැනම              අනේ

කාගේ වරද දෝ මේවා මෙහෙම              වුණේ

 

ගින්නෙන් දැවෙන මිනියක් හොම     දැක්කෝතින්

පිපුරුම් හඩක් ඈතින් හෝ               ඇසුනෝතින්

දරුවනි නුඹල මා ළඟ                නොසිටියෝතින්

මගෙ මුළු ගත ම දැවෙනව ගිනි             වැදීමෙන්

 

දරු කැක්කුම ඇත්තෙ දරු වැදු               අම්මාටයි

දරු සුරතල් දන්නෙ සුරතල් බැලූ                 අයයි

දරුවන් අගය දන්නේ දරු සිටින                  අයයි

දරුවකු මළ විට දි අම්ම ද මැරුණ             වගෙයි

 

රෑ බෝ වෙන්න කලියෙන් ඇවිදින්              පැලට

තියෙන දෙයක් කාලා කුස                      ගින්දරට

පානක් නොදල්වා අඳුරෙම                    සිටින්නට

දරුවෙනි සිතට ගන්ලා සැඟවී                     ඉන්ට

 

වරදක් නොකළ  මුත් නුඹලට                 වරදින්ට

වරදක් නැ නැත දඩුවම්                       විඳින්නට

නීතිය අනීතිය වී ලොව                       පෙරලන්ට

දඟලන කාලෙ අපලයි දුප්පත්                       අපට

 

නුඹලා ගැන ඇත්තෙ මට දැන් එක ම           බයයි

නුඹලගෙ කල වයස තරුණයි ඇහැට       පෙනෙයි

තෙත පපුවක් නැති මිනිසුන් වසන                රටයි

නුඹලා ඒ අයට කොටියගෙ ගොදුර             වගෙයි

 

බස්නාහිරෙන් ඉර පායා එන                       කලට

දහවල් පැයේ සඳපායන                      කලියුගෙට

සදහම නොමැති අදහම රජ වෙන                කලට

හිරු සඳු එකට පායති කප                     විනාසෙට

 

දරුවනි නුඹල ඉපදුණෙ ඇයි මේ                කාලේ

මොන කරුමයක් කෙරුවද පූරුවෙ            කාලේ

සිත් සන්තොසින් ඉන්නට බැරි අද              කාලේ

පණ බේරන් ඉන්න සිතපන් තුන්               වේලේ

 

දරුවන් ඉන්න අම්මල හට මං                    වාගේ

කිසියම් දුකක්  ඇති නොවේව               ඉදිරිමගේ

මේ ලොව සිටින හැම දරුවම මගෙ             වාගේ

තිසරණ සරන ලැබියන් හැම දින ම              වගේ

 

පෙර රජ දවස මහ සමුදුර                     ගැලුවාසේ

සත් සමුදුර ගලා යටවේ දෝ මේ                දේසේ

පුදුමයි මෙවැනි විපතට නැති                 ඇතිවාසේ  

ඉවසන් ඉන්නෙ කෙලෙස ද අපි මේ           දේසේ

 

ලොව සරසනා මල් වැනි දරුවන්               මෙරට

කොයි කා අතින් නැසුණත් විපතකිය              මට

මිනිසා අතින් මිනිසා වැනසෙන                  කලට

මිනිසගෙ අනාගතෙ කෙළවර නොවෙද        හෙට

 - නිහාල් පී. ජයතුංග

උලමගෙ හඩින් ගත වූ දින හත             මත්තෙන්

අම්මගෙ පුතුන් දෙදෙනකු නැති විය        අවියෙන්

එම ගිනි කඳම මගෙ සියොළඟ              වැදීමෙන්

ලක්මව හඩා වැලපෙයි එම                  අපරාදෙන්