කතක ගෙ වලප
ලැබු අපවාද නින්දා බස් ඉවසා ගෙන
දැරු දුක් ගිනි ජාල දිවියම වෙලා ගෙන
හෙළු දුක් කඳුළු ලොව සැමටම සඟවා ගෙන
පිදු සෙනෙහස කියයි මිනිසත් කමේ ගුණ
දිනක් ගෙව්නා ගෙව්නු හැටි මට හිතා ගන්නට බැහැ පුතේ
කට්ට කළුවර අහස ගුගුරා මහා වැසි තාමත් හැළේ
දෙනෝදාහක් සුසුම් හෙළමින් දෙව් බඹුන් යදිනවා පෙනේ
වියෝ ගිනි දැල් වැලඳ ගත්තා හැමදෙනා එකතුව රටේ
වැටිලා පතුලටම උන් හිටි තැන් නැතුව
සිතලා නැගිටින්න වෙර වීරිය ඇතුව
කොටලා කුඹුරු යඝළි ගොඩ එන්නට හිතුව
ඔබලා නොවෙද මහ පැරකුම් අප දුටුව
එක කුස උපන් නංගී හොරු අරන් ගියා
මා තනි කරලා මව්පියෝ ඈ සොයා ගියා
වාවා ගනු බැරිව කඳුලැලි දෝරේ ගියා
අමතක උනේ ඇයි අම්මේ රං කැටියා
හිතේ තියෙන දුක කොහොමද උහුලන්නේ
ගතේ සවිය නැහැ කාටද පවසන්නේ
නෙතේ කඳුළු මහවැලි යත් පරදන්නේ
මෙතේ බුදුන් වඩිනා දින නැහැ දන්නේ
- ඇන්ජලා පැල්පොළ -
(සිතුවම් අන්තර්ජාලයෙනි)
සිහින ඇමුණුමක්

ඵක සයනයේ..- ශ්යාමලී ගමගේ -
කඳුළින් මං ලියන කවි
නොබලන බව දැනන් උන්නත්
තාමත් මම කවි ලියනවා
කඳුලින් පාට වුණ කවි සිත්තම්
මටත් නොදැනිම ඇඳෙනවා
නොලියා ඉන්නට හිතා හිටියත්
නොලියා බැරි බව දැනෙනවා
කවදා හෝ නුඹ ඇවිත් බලතැයි
යටි හිතම මගෙ කියනවා
කවි හිතම ඔබ මරා දැම්මත්
තාම ඉඳහිට පණ ගැහෙනවා
කවියා මැරුණත් ගලන පද වැල්
ආදරෙන් ඔබෙ ළඟ ඉන්නවා

