උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කවිකාර මඩුව

කිරි සයුරේ සුදු රැළි

උදේ පාන්දර සුදු පිළි ඇඳගෙන අපේ අත්තම්මා පිටත් වෙලා...

බඳේ ඔතාගෙන දානය අරගෙන හනි හනිකට එයි නිවස බලා...

සිඳේ හිතේ දුක දුටුවම කිරි කැට පත්තිනි දානෙට වශි වෙලා...

මිදේ කදුළු කැට සිහියට එනකොට එතුමිය නෑ අද දෙව්ලොව වැඩලා ...

පියා නැති වුණ දොහේ ඉදලා ගෙදර මුළු බර කරට අරගෙන...

දයා ගුණයෙන් ඔබව රැක්කේ මගේ ඇස් දෙක වාගේ රැකගෙන...

ගයා පෙම් ගී ඔබව රවටා තනිය මැකුමට පුතෙක් දීගෙන...

ගියා කියලා මක් කරන්නද නංගියේ දැන් කදුළු බීගෙන...

 බිරිය දරුවන් දෙදෙන සමගින් තරහ වී කොහෙදෝ ගිහිල්ලා...

ඇරිය දොර වහගන්න හිත නැහැ මහන්සියි මග බලන් ඉඳලා...

පිරිය නැහැ නේ කන්න මොකවත් බඩේ ගින්දර දෝරේ ගලලා...

ගිරිය පුප්පං කෑ ගහන් නැහැ හනික එන්නකෝ ගෙදර දුවලා...

හිරි ගඩු පිපෙණා සීතල වැස්සේ දෑගිලි පටලා ගිය තාලේ...

දිරි දී සැමදා මිහිරෙන් කලතා සෙනෙහස පිදු සුන්දර ලීලේ...

බැරි මරගාතේ මා ළග ඉඳගෙන  නෙතගින් හෙළු කදුළක ආලේ...

කිරි සයුරේ සුදු රැළි යට සඟවා  හිනැහෙමු සතුටින් මතු කාලේ...

 - ඇන්ජලා පැල්පොළ - 
 

වියොවග....

බැඳුණෙ  එකට මියැදෙන්නයි

දෙදෙනා ම

එනමුත් ගියා  ඔහු මා තනිකර සදහට ම

වැළ පමි තවම අමතක කළ නොහැකි නිසා

කිමද මා කළ පව

මෙලෙස  තනවන්නට මෙලොව තුළ

දරුවන්  දහසකට මුසු කළ නොහැකක  ඔහුගෙ ගුණකඳ

ඉන් එකෙකු මියැදිලා රැකුනේනම්

ඔහුගෙ පණ

අදටත් මා සතුටින් ඇත මුව කමලට

සිහින ගෙන

 දැන් මගෙ දිවියම අපායකි මෙලොව තුළ

අසරකම කිව නොහැක

එය දකිනා දෙවියො නැත

අසරණ ගැහැනියකට ආලය දෙන

කවුද ඇත

එනමුත්  රීරි මස උරාබොන යකු ව්ය            

         - රේණුකා ප්‍රියංකා -

දුම්රියක් හැඬූ දින

 

වනය නොගියාට ගමට

ගමයි ආවේ වනයට

මංකඩ හරස්කර

එලුවා යකඩ සිල්පර

විදුලි වැට මායිම් කර

කුඩා කල බිම් පෙතකි

සද්දත්තයින් වසනා බිම

මුදුන් වෙද්දී පෝය සඳ

පුරුදු ගමනකිය ඇත් රැල

හැල්මේ තැපැල් ගෙන

මඩකළපු යන දුම්රිය

සද්දන්තයා මුත් වනයට

මෙල්ලයි යකඩ ඇතු ළඟ

නොකර අරගලය එරෙහිව

වැතිරුණා මහ පොළොව සිඹ

සතපවා මල් වඩම් නැති දෙන

ඉගිලුනා උල ලේනි වන හිස

පීලි මත නිසලව

හැඬුවා දුම්රියද ඉකිබිඳ

 - ෂර්මිලා බංදුනී දංවත්ත -

කෝල කාලේ

සිත තුළ ඇවිදින තාලේ

කොරවක් ගමනට ලෝලේ

මමත් හොරෙන් දුටු සීලේ

සිනාසුනත් හරි කෝලේ

ඇස් වහගෙන ළඟින් ඉන්න

හොරෙන්ම ආදරේ දෙන්න

සුවඳින් හිත මත් කරන්න

අද රෑටත් ඇවිදිත් යන්න

ලොකු ඇස් කරකවා ගන්න

නපුරුම බැල්මෙන් බලන්න

සිනාව ගිලගෙනම ඉන්න

මටම ඔබේ හිතත් දෙන්න

නුදුන් හින්ද ඒ කාලේ

ඇවිදිමි තවමත් ලීලේ

මායිම් නැති සිත් දෑලේ

සින්නක්කර ගමි ආලේ
-  නලිනි ද සිල්වා -  කළුතර