ඇත්ත කියන්නයි බිම වාඩි වෙන්නයි කාටවත් ම බය වෙන්නෙපා - අකුරක් නොදත් අම්මා දුන් අවවාදය යි
හෙළදිව් හි අනාගත පැවැත්ම තීන්දු වන්නා වූ අති බරපතල අවස්ථාව දවසින් දවස පැයෙන් පැය මොහොතෙන් මොහොත ගෙවෙමින් පවතී, මෙය මේ බිමේ වසනා සියලු මිනිසුන්ට සත්ව ප්‍රජාවට ද ගහ කොළ වන වදුලු වදට ද අතිශයින් ම බලපාන්නා වූ කාරණාවකි.
මේ එළඹ ඇත්තේ හෙළදිව් හි අලුත් පිටුවක් නැත්තං පරිච්ඡේදයක් ලියැවීමට ඇති දවසේ උදාව ආසන්න වෙමින් පවතින වකවානුවයි. සමස්ත දේශය ම සංවර්ධනයේ මාවත ඔස්සේ ඉදිරි පරම්පරාවට ඉතිරි කර දෙනවා ද නැතිනම් බටහිර ගැති පාලනයක් ඔස්සේ තව තවත් ප්‍රපාතය කරා ඇදගෙන ගොස් අමු සෙහොන් පිටියක් බවට මේ උතුම් පොළොව පත් කරනවා ද යන්න ලොකු පොඩි සියලු වැසියන් ඉතා බුද්ධිමතිව සිහි කල්පනාවෙන් විමසා බලා තීන්දු තීරණ ගත යුතු කාලය යි, දවස යි, අපට උදා වී ඇත්තේ.
රටේ පවතින සැබෑ වාස්තවික තත්ත්වය මෙන් ම ලෝක කරලිය අභිමුව අපේ මව්බිට මුහුණ දීමට සිදුවී ඇත්තේ කෙබඳු අවස්ථාවකට ද යන්න ඉතා විමසිලිමත්ව හිතා බලා කටයුතු කිරීමට ජනයාට සිදු වී ඇත්තේ ය. ඒත් ඒ කෙරෙහි කිසිදු පුරවැසියකු නිකමටවත් හොයා බලා විමසිල්ලෙන් හැසිරෙන්නේද යන් ගැටලුවකි.
2024 සැප්තැම්බර් මහේ 21 වැනිදා ගැන සලකමින් ය මේ ලිපිය අකුරු කරන්නට මුල පුරන ලද්දේ.
එදවස විශේෂ සංසිද්ධියක් නොවුණහොත් ටක්කෙට ම ඉටු කරන්නට මැතිවරණ කොමිෂන් සභාව එහි පාලනාධිකාරිය සියලු විධිවිධාන ඉෂ්ට සිද්ධ කරමින් ඇත්තේ ය. ඒ ඔවුන් වෙත පැවරී ඇති ෙඑතිහාසික කාර්යභාරය යි.
ඔවුන් ගේ පැත්තෙන් ඒ කාර්යය සිදුවන විට මේ රටේ පුරවැසි යුතුකම හෙවත් ඡන්දදායකන්ගේ වගකීම හා යුතුකම විය යුත්තේ මව්බිමෙහි අනාගත ඉරණම තීන්දු කරන්නට යහමගක් ගන්නා බවට ඇති විශ්වාසයක් ඇත්තකු කෙරෙහි සිය මනාපය ප්‍රකාශ කිරීම යි.
වත්මන් ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා වූයේ සමස්ත ජනවරමකින් නොවේ. ඒත් ව්‍යවස්ථානුකූලව ඔහු ජනපති පුටුවෙහි අසුන් ගැන්වුණේ කෘතිමව ය. කෙටියෙන් කියන්නේ නම් සීසේරියන් සැත්කමකින් ලේ කැටියකුට හුස්ම ගන්න මේ වාතලයට කැඳවා ගැනීමක් වැනි ය. කොහොම වුණත් ඔහු හවුරුදු දෙක හමාරක් ජනාධිපති පුටුවේ අසුන් ගෙන සිටින්නේ සැප්තැම්බර් මහේ 21 වැනි දා තෙක් ය.
එදවසට තවත් ඇත්තේ හරියට ම දවස් විසිඅට (28) කි. ඔව්... හරියට ම දවස් විසිඅටකි. තව දවස් විසි නමයකින් රටේ අනාගත ඉරණම තීන්දු වී හමාර ය.
ඉන්පසු.... ඉන්පසු ඒ පුටුව හෙවත් රාජාසනය රනිල්ට ම හිමිවේ ද?
නැත්නම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිමිවේ ද?
එහෙමත් නැත්නම් අනුර කුමාර දිසානායක රාජාසයේ විරාජමාන වේ ද?
ඒ තුන් දෙනා ම නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ දෙටු පුත් නාමල් කුමරුවාණන් ජනපති අසුනේ අසුන් ගනීවි ද?
ඒ සිව් දෙනා ම පැත්තකට විසිවී දිලිත් ජයවීර නම් ව්‍යවසායකයා රජගෙදරට ප්‍රවිෂ්ට වේ ද?
ජනපති හටන ඇත්තේ මේ අපේක්ෂකයින් පස්දෙනා අතරින් දෙදෙනකු අතරේ ය.
ඒ කවුරුන් කවුරුන් ද යන්න එක එක්කෙනා තමන් පක්ෂපාතීත්වයක් දක්වන්නා වූ අපේක්ෂකයා හා තවත් කෙනකු අතර ය සටන ඍජුව ම ඇත්තේ යැ යි කියමින් හිතමින් ලෝකය ම පෙරළන්නට පිටපොට ගසනා වග නම් සක්සුදක් සේ අපට පැත්තකින් හිඳ සඳහන් කළ හැකි ය.
ලෝක ආර්ථිකය කඩා වැටී වසර ගණනාවක් පුරා බොහෝ රාජ්‍යන් අන්ත අසරණ අඩියකට පත්ව තිබිය දී ලංකාව කෙළින් හුන්නු අයුරු දැන් කතා කර වැඩක් නැත. ඒ වකවානුවේ අපි රටක් හැටියට ඉදිරි පිමි පණින්නට පිට පොට ගසා ගත්තෙමු. ඒත් නරුම පිරිසක් සියල්ල අලාපාලු කළහ.
අපි අපේ හැකියාවන් කෙරෙහි හරි හැටි තක්සේරුවක් කරන්නේ ද? නැත. ආර්ථික අර්බුදයක් හමුවේ අපට බොහෝ දේ අහිමි විය. තෙල් පෝලිමේවල, ගෑස් පෝලිම්වල මිනිසුන් මිය ගියේ ද, මිනිසුන් නැහුණේ ද පාලකයන් රට කරවපු අපූරුව හින්දා ය. හොඳ වැඩි කමට ය.
අපි බංකොළොත් රාජ්‍යයක් සේ ලෝකයා හමුවේ පාච්චල් විය. වැරදි තීන්දු වැරදි වෙලාවේ ගන්නට රට කරවූ ගෝඨාභය මෙහෙය වූවන් එසේ කළේ මන් දැ යි අදට ද රහසකි. මට හැඟෙන විදියට, දැනෙන විදියට නම්, ඔවුන් වෙස්මුහුණු පැලඳ බටහිරයන් ගේ ඕනෑකම් මත ගෝඨා ළඟට කිට්ටු වී ඔහු අන්දවා ගෙන ඊනියා උපදේශක උත්තමයන් සේ කළේ රඟපෑමකි.
මෙවන් නරුමයන් ගැන හුඟක් දේවල් කතා කරන්නට හැකියාවක් ඇතත් මේ නම් ඊට ඇවැසි මොහොත නොවේ. අපි කතා කරන්නේ එළඹෙන 21 න් පසු මේ සුන්දර බිම තව තවත් ඔපවත් කරන්නට අවංකව ම කැපවෙන මිනිසකු සිරිලකෙහි රාජ්‍යත්වයට පත්වේ ද? එහෙමත් නැත්තං සියලු සම්පත් තුට්ටු දෙක තුනට පරදේසක්කාරයින්ට විකුණා දමා එදාවේල පාකර හරින්නට ජනතාව අන්දන කෙනකු රටේ බලය ඩැහැ ගනීවි ද?
තමන් පෙළෙනා පීඩාවෙන් වියරුවට පත් වූ පිරිස් රටේ හැම නගරයක ම ගමක ගොඩක ම ආණ්ඩුවට විරුද්ධව නැගී සිටියහ. ගෝඨා කරපු සියලු යහපත් දේ යටපත් කරන්නට දෙස් විදෙස් හි කටු සූප්පු කරන්නෝ භේදයකින් තොරව එක මිටට ගාලුමුවදොර රොද බැන්දාහ. ගෝඨා ගෝ ගමක් නිර්මිත කරන්නට 'අරගලකරුවෝ' ශක්තිමත් පදනමක් බිහි කළහ.
ගාල් මුවදොර ජනාධිපති කාර්යාලයට මෑතින් කවරකුට වුව විරෝධතා දැක්වීමට ඇවැසි බිම්කඩක් ගෝඨා ගේ නියමයෙන් සැකසිණි. අන්තිමට ඒ විරෝධතා පෑමට වෙන් කෙරුණු බිම ඔස්සේ ම සිදුවූයේ රටේ හත්වැනි ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂට සිය ධූරයෙන් ඉල්ලා අස්වී රටෙන් ද පළා යන්නට යි.
ගෝඨා ජනපති සේ අති විශාල මනාප තොගයක් සිය ගිණුමට බැරකර ගන්නට හේතු පාදක වූයේ විමල්ලා උදයලා විසින් තංගල්ලට දවස් ගාණක් බඩ ගා ඇරඹූ 'මහින්ද සුළඟ' ට පින් සිද්ධ වෙන්න බව 2015 ජනවාරි 08 වැනිදා යින් පසු රටින් පැන ගිය බැසිල්ට පවා අමතක ය. ඔහු යළි සම්ප්‍රාප්ත වූයේ 'මහින්ද සුළඟ' දවසින් දවස ජන ආකර්ශනය වන අයුරු දැකීමෙන් පස්සේ ය.
මහින්ද සුළඟ ඔස්සේ හමා ආ පොහොට්ටු රට පුරා ඉහළට නැඟෙද්දි එයින් ඔළුව උදුම්මා ගත්තු රාජපක්ෂ පරපුර ද ඔවුන්ට ගොම්පස් අල්ලන ඇම්බැට්ටයන් ද සට්ටඹිරාලලා ද එළඹෙමින් ඇති විනාශයේ බරපතල කම වටහා නොගත්හ.
ඔටුන්න හිමි කුමරුවන් ගේ සිහින දැක දැක රටට සාමය උදාකරන ලද මහින්ද, බිරියගේ ද පුතුන් ගේ හා ඥාතීන් ගේ ද හිරකාරයකු බවට පත් වී අන්ත අසරණ තත්ත්වයකට පත්විය. ගෝඨාට මෙන් ම රාජපක්ෂවරුන්ට ද රට පුරා ඇවිළුණු ගින්නෙන් ඔවුන් හැමට දැවෙන්නට පිච්චෙන්නට සිද්ධ විය. ගෝඨා රටින් පළා ගියේ ඔහු ජනාධිපතිවරයා වූ හෙයිනි.
සියලු කුණු බේරුවල් බොක්කට ගසා ගෙන යන්නා සේ ඔහු මත අවමාන පිට අවමාන පැටවෙද්දී ඔහු ඒවාට මුහුණ දුන්නේ තම ඥාතීන් පවා පිටුපාද්දී ය. තමන් ගේ අණසක යටතේ පැවති හමුදාවේ ඉහළ නායකත්වය පවා ඔහුට පසමිතුරු වූ බව ඊයේ පෙරේදා දවසක රජසබේ දී ඇසුණ හැටි ඔබේ මතකයට නංවන්නෙමු.
හැබැයි ඉතා දක්ෂයකු සේ 2005 වසරේ අවසානයේ පටන් 2014 දක්වා ඉමහත් මෙහෙයක් මව්බිම වෙනුවෙන්, ඇගේ උන්නතිය වෙනුවෙන් ඉතා ක්‍රියාකාරීව කටයුතු කළ ඔහු, රාජ්‍ය පාලනයට සැරසෙන වග වටහා ගත්තු මේ රටේ ලැගුම් ගෙන සිටින, බටහිර ඔත්තු සේවා, උන්ගේ බත්බැලයන් හසුරුවමින් වැඩට බටුයේ ඉතා සියුම් අන්දමට ය.
කෝව්ඩ් වසංගතය පාලනයට ඔහු දියත් කළ වැඩ පිළිවෙළ එකල හැමදෙනාගේ ම පැසසුමට ලක් විය. විපක්ෂය නේකාකාර කතන්තර කිව්වත් ගෝඨා ඉතා දක්ෂ අයුරින් කළා වූ අගනා අනගි මෙහෙය හිල් වෙච්ච කූඩයකින් වතුර ඇදීමක් බවට පත් විිය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ද බලයෙන් මත්වීමෙන් දෝ ටික කලකින් ම උද්දච්ච බවක් පෑවේ ය. ඔහු වටා අමුතුම ආකාරයේ වළලක් රැස් විදහමින් කැරකුණේ ය. උහු කිසිදු විටෙක අනෙකුට ඔහු අසලට යන්නට ඉඩක් නඩක් නොදුන්නෝ ය.
රට පුරා ගෑස් පොලිම්, තෙල් පෝලිම් නිර්මාණය කරන්නට අර බත් බැලයන් යස රඟේට වැඩ ඇරඹුවේ රටේ හැම තැනක ම එකම විදියට ඔහුට හා ඔහුගේ ආණ්ඩුවට එරෙහිව නේකාකාර වැඩ කිඩ ක්‍රියාත්මක කරන්නට වාතාවරණය හිස් භාණ්ඩාගාරයක් නිර්මාණය වීමත් එක්ක ය.
හැට නම ලක්ෂයකගේ මනාප ගෙන අති ඉහළ ජනවරමක් ලැබ රටේ පාලකයා බවට පත් වූ ගෝඨා නිකම් ම නිකං පුස් මිනිසකු සේ රටක් ලෝකයක් ඉදිරියේ අවමානයට පාත්‍රවීම කෙතරම් අනුවේදනීය සිද්ධියක් ද?
මේ සටහන ලියමින් සිටින විට එකින් එක කොහොම වුණත් මහා තොගයක් කරුණු කාරණා අකුරු කරන්නට ගලා ඒ.
ඉදින් සබඳ!?
මේ රටේ පාලකයන් පුරා හැත්තෑ හය වසරක් රටේ උන්නතිය වෙනුවෙන් කරපු බම්බුවක් නැතැ යි ජනතා විමුක්ති පෙරමුණ (ජාතික ජන බලවේගය) මෙන් ම සමගි ජන බලවේගයේ ද ඔවුන්ට ගැතිකම් කරනා පුස්සන් ද උගතුන් යැ යි ලේබල් අලවා ගත්තු උත්තමයින් ද කියන කරන කතා කෙරෙහි ද අවධානය යොමු කරන්නේ නම් මැනවි.
රට භාර ගත්තෝ කළු සුද්දන් ය සුද්දන් ගෙන්. ඒ 1948 පටන් ය. ඩී. ඇස්. සේනානායක මහත්තයා ක්‍රියාත්මක කළා වූ ගොවිජනපද ව්‍යාපාරයේ දිවි ගෙවමින් අද වන විට ගොවි පවුල් කී දාහක් නම් අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය වැනි දිස්ත්‍රික්කවල දිවි ගෙවන්නෙහි ද? ඒවා ක්‍රියාත්මක කරන විට පැන නැඟි නිලධාරිවාදය හා වෙනත් බරපතල ගැටලු ගැන ලියන්නට මෙහි ඉඩහසරක් නැත.
කොහොම වුණත් 56 සිදු වූ පෙරළිය නොවන්නට ගැමි ජනයාගේ දක්ෂකම්වලින් පිරුණු දූ පුතුනට සරසවි දොරවල් විවෘත වේ ද? ඒවා ඇරඹීමෙන් පසු හටගත් අතුරු ප්‍රශ්න වෙනම කතාවක් වූවත් අද වන විට විශ්ව විද්‍යාල මහ තොගයක් නිර්මාණය වූයේ අපේ ගම්බද දරු දැරියනට උසස් අධ්‍යාපනයක් ලබාගන්නට ඉඩ හසර පාදමින් කලින් පැවති බමුණු කුලයේ ඔද තෙද බල බිඳින්නට 56 සිදු කෙරුණු පාලනයේ වෙනසින් බව මේ රටේ පාලකයන් කරපු බම්මුවක් නැතැ යි කියනා උත්තමයින් නොදන්නවා වූවත් ඒ ගැන හොයා බලනවා නම් පණස් ගණන්වල හැට ගණන්වල සරසවි වරම් ලැබ උපාධි කරපින්නා ගෙන සමාජයට රටට වැඩදායක යමක් කළා වූ උගතුන්ගෙන් නොව බුද්ධිමතුන්ගෙන් අසා දැන ගන්නවා නම් යෙහෙකි.
ජනසතු ව්‍යාපාර අරඹමින් සුද්දන් සතුව පැවති තෙල් අධිකාරිය ද වරායේ බලය ද සිඳ දැමීමට හැකිවීමෙන් ද අනෙකුත් ජනසතු ව්‍යාපාර ඇරඹීමට පසුබිම සැකසුණු හේතුකාරණා ද 76 වසරක් තිස්සේ රට කරවූවෝ කරපු කෙංගෙඩියක් නැතැයි කියන මහත්තුරුන් සිය වැඩිහිටියන්ගෙන් විමසා බැලුවොත් කොච්චර වටින්නේ ද?
සුද්දා මෙරටින් ගියේ උන්ගේ අතේ නූල් සූත්තර තබා ගෙන යි. ඉදින් මෙරටේ වාසය කරනා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඈ ජන සමාජය භේදබින්න කරන්නට ඔවුන් නිසි විෂබීජ වරින් වර ලක් පොළොවේ ඉසින ලද බව සිහිබුද්ධියෙන් විමසා බලන්නේ නම් වැටහෙනු ඇති.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා විසින් සැකසූ පන්ති පහේ දේශපාලන පාඨමාලාවේ එක පරිච්ඡේදයක් වෙන් කෙරී තිබුණේ ඉන්දියානු ව්‍යාප්තවාදයට යි.
විජේවීර සහෝදරයා අදින් හවුරුදු හතළිස් නමයකට පෙර 'ඉන්දියානු ව්‍යාප්තවාදය' ගැන කී කතාව අද දවස වන විට උඩු යටිකුරු වන ස්වභාවයක ද පවතින්නේ ය යන්න සලකා බැලීම කොතරම් ප්‍රඥාගෝචර වන්නේ ද? ඉන්දීය බලපෑම කෙතරම් නම් අපේ මේ පුංචි ම පුංචි රටට තිබෙන්නෙහි ද? ඉන්දීය විදෙස් ඇමතිවරයා ප්‍රසිද්ධියේ මෙන් ම අප්‍රසිද්ධියේ ද මෙහි එන්නේ යන්නේ ඇයි?
1987, පටන් 1990 දක්වා දැඩි ඉන්දීය විරෝධයක් උළුප්ප උළුප්පා සන්නද්ධ අරගලයක යෙදුණු ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වය මේ ගැන කියන්නේ කුමක්ද යන්න නම් නොතේරේ.
ඔවුන් තව දුරටත් කියන්නේ තමන් කිසිදු විදියකින් මේ පොළොවේ පාලනයට කිසිදු අයුරක දායකත්වයක් නොදුන් බව ද? මිත්‍ය වැපිරීමට හැම දේශපාලකයා ම එකසේ දස්සයෝ ය.
ධනේශ්වර පාලන තන්ත්‍රයක ඇමති තනතුරු නොදැරූවන් සේ ඔවුන් සිය පාක්ෂිකයිනට, ආධාරකරුවනට, හිතවතුනට කියන කතාව ඇත්තක් ද? චන්ද්‍රකා ගේ ආණ්ඩුවේ ඇමතිකම් තුනක් දැරුු බව මොවුනට අමතක ද? නැත්තං උවමනාවෙන් අමතක කරනවා වද්ද?
2015 ජනවාරි 08 වැනි දා සිරිසේන උන්නැහේ ජනාධිපති පුටුවේ වාඩි කරවා ගැනීමට ඔවුන් නොනිල දායකත්වයක් දුන් බව නොදන්නෝ කවරහු ද?
හොරු අල්ලන ව්‍යාපාරයේ ප්‍රබල භූමිකාවක කරදරා හුන්නෝ ඔවුන් බව බාල පරපුරට නොකියා පිටුව වහන්නේ මන්ද යන්න අපට නම් නොතේරුණත් ඔවුන්ට තේරෙනවා ඇත. ඒ හොරු ඇල්ලීමට ඔවුන් නිතිපතා අරලියගහ මැඳුරේ දී හැසිරුණු හැටි කියන්නේ 2015 ගැටයේ පුධාන කොටස්කරු රනිල් ම මිස අප නං නොවේ.
සැප්තැම්බර් 21 වැනි දා රටේ රාජ්‍ය නායකයා වන්නේ අනුර ද? නැත්නම් සජිත් ද? එහෙමත් නැත්නම් රනිල් ද යන්න නොදනිමු. ඒත් මේ ටික මොවුනට නොකියා බැරිය. ඒ කවුරු කවුරුත් අඩු වැඩි වශයෙන් රට පාලනය කරපු පූජා වට්ටියට අත ගැසුවා විතරක් නොව මල් කඩමින්, පැන් ඉසිමින්, මල් වට්ටිය කදිමට ලස්සන කරන්නට ද, දායකත්වය දී ඇති බව ලාංකේය ඡන්දදායකයින් ට මතක් කරදීම කළ යුත්තක් ම ය.
සමගි ජන බලවේගයේ ප්‍රධාන කථිකයන් අතර 'පුට්නෝට් කල්ලිය' කරනා කතාබතා අහන් ඉන්නට පවා පිළිකුල් ය.
මේ පුට්නෝට් කල්ලියේ එක උත්තමයකු පොතක් ද ලියා පළ කළ අයුරු ඔහුට මෙන් ම ඔහු ගේ නායකයාට ද අමතක වී ඇති බව පෙනේ. එහි සෙසු නළුවන් ද එහෙම රඟපෑමක නිරත වන්නේ ලංකාවේ විශේෂයෙන් සිංහල මිනිසුන්ට අතිතය මතක තියෙන්නේ දෙසතියක් ය කියන කතාව හොඳින් දන්නා නිසා වෙන්නට ඇත.
මේ මඩ වගුරුවල මඩ හිස් වෙන සමය යි. එකිනෙකා මඩ තලි තලි අරන් අනෙකාට පහර දෙන කාලය යි. ඉදින් සබඳ මොවුන් කියන කරන කිසි දෙයකින් රටටවත් ජනතාවටවත් ඇති ඵලය කිම.
මේ ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයින් හත් දෙනෙක් ම වියදම් කරන මුදල තුට්ටුවක් දෙකක් නොවේ. ලක්ෂ ගාණකි. නැත. වැරදුණේ ය. කෝටි ගණනකි.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා ජනාධිපති ධූරාපේකෂකයන් අතර පැවති සාකච්ඡාවක දී තීන්දු කරගත් පරිදි එක් ඡන්දදායකයකු වෙනුවෙන් ඡන්දාපේක්ෂකයකුට වැය කළහැකි මුදල රුපියල් 109 බවට කළ තීන්දුවක් ප්‍රකාරව ඒ සම්බන්ධයෙන් ඉකුත් 19 වැනිදා විශේෂ ගැසට් පත්‍රයක් ද පළ කෙරුණි. එකී ගැසට්ටුව අනුව එක් ජනාධිපති ධූරපේක්ෂකයකුට ඡන්දදායකයින් 1714354 දෙනකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල රුපියල් මිලියන 1862 කි. නැතහොත් අපේ මිනිසුන්ට දන්න භාෂාවෙන් කියන්නේ නම් රුපියල් කෝටි 186 කි.
මේ සාමාන්‍ය පුරවැසියාට හෙවත් ඡන්දදායකයාට හිතා ගන්නවත් බැරි තරමේ මහා ධනස්කන්ධයෙකි. විශ්වාස කළ හැකි ද හිතවත් පාඨකය.... හිතවත් ඡන්දදායකය.... මේ සා අති දැවැන්ත මුදලක් ගැන..... නොහැකි ය. කිසිසේත ම නො හැකි ය.
ඒත් වැඩේ කියන්නේ එය නොවේ. මේ සා විශාල මුදලක් ඔබට මට හුදෙක් සිහිනයක් වුව ද මේ ජනාධිපති ධූරාපේක්ෂකයට මේ මුදල කොට්ටම්බා කොළ ගොඩක් වගේ බව සඳහන් කරන්නට අපට සිදුවී ඇත්තේ එක අතකින් මහා සාඩම්බර හැඟීමක් හිතට කඩා පාත් වෙද්දී ය.
හිතවත! මේ මැතිවරණ කොමිසම විසින් අපේක්ෂකයින් හා සාකච්ඡා කොට එළඹ ඇති තීරණය පරිදි මොවුන් විසින් උපරිම වශයෙන් වියදම් කරන්නා වූ නීත්‍යානුකූල මුදල යි.
එහෙත් එදා පැවති ඒ සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් ගේ මෙන් ම විපක්ෂ නායක සජිත් ගේ පාර්ශ්වයේ නියෝජිතයින් එක ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් දෙසිය පණහ (250) ක් බැගින් ද, ජාතික ජන බලවේගයේ අනුර ගේ නියෝජිතයා රුපියල් දෙසීයක් (200) ද වියදම් කරන්නට අවසරය ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූරාපේක්ෂක නාමල් ගේ නියෝජිතයා පවසා ඇත්තේ රුපියල් තුන්සීයක් (300) වැය කරන්නට ඉඩ ප්‍රස්ථාව සලසා දෙන ලෙසට යි.
ජනාධිපති හටනේ නිරත වන ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස හා, අපේක්ෂක ජනක රත්නායක ගේ නියෝජිතයන් පවසා ඇත්තේ ඒ මුදල රුපියල් විස්සක් (20) ක් නම් යෙහෙකි ය කියා යි.
ඔබ හිතන්න..... !? මේ මොවුන් විසින් මේ ඡන්දෙට වියදම් කරන්නට සූදානම් මුදල ම නොවේ ය යන්න අපගේ අදහස යි. මෙවන් තව කොච්චර සල්ලි සම්බාරයක් මොවුන් සතුව ඇද්දැ යි කල්පනාවට ගන්න. මේ සා අති දැවැන්ත මුදලක් ඡන්දෙට විය පැහැදම් කරන්නට තරම් මොවුන් සතුව පවතී ද? පවතින්නේ නම් ඒ සා සල්ලි කන්දරාවක් මොවුුුන් උපයා සපයා ගත්තේ කෙසේ ද? යන්න අප හිතා බැලිය යුතු ය.
විජයදාස රාජපක්ෂ හැර අන් කිසිවකු වෘත්තීමය වශයෙන් රැකියාවක ක්‍රියාශීලීව නිරතව සිටින්නෝ නෙවෙති. ජනක ද කිසියම් ව්‍යාපාරයක නියැළෙන්නෙකි.
ඒත්.... ඉතින්... රනිල්ට සිය මා පිය ව්‍යාපාර ඇත්තේ ය යන්න සලකා බැලුවොත් මෙහි සඳහන් අන් කිසිවකු අප දන්නා තරමින් නම් දේශපාලනය හැර අන් කිසිදු වෘත්තීමය කාර්යෙයක නියැළෙන්නං නොවේ. සැබවින් ම ඔවුන් නිකමුන් ය.
අනුරට කිව හැක්කේ තම පක්ෂයට සම්බන්ධ ෂහෝදරවරුන් ගෙන් මේ සඳහා සල්ලිය බාගෙ ලැබෙනා වග යි.
ඉතින් හත් දෙයියනේ.
ඒ කොහොම වුණත් මේ මිනිසුන් මේ සා අති මහත් ධනස්කන්ධයක් ජනාධිපති කම ලබා ගන්නට විය පැහැදම් කරන්න සැදී පැහැදී සිටින්නේ නම් මීට අමතරව කොච්චරක් සල්ලි මොවුන් සතුව ඇද්ද?
මොවුන් ඡන්දය ඉල්ලන්නේ පොදු මහත් ජනතාව වැටී සිටින්නා වූ අගාධයෙන් ගලවා ගෙන රටත් ජනතාවත් සුඛිත මුදිත කිරීමේ පරම පවිත්‍ර උතුම් චේතනාවෙන් යැ යි හැමෝම කියති. මොවුන් ඒ තරමට ම අප කෙරෙහි දයාවෙන් මෛත්‍රියෙන්, කරුණාවෙන් පිරුණු ඉතා ගුණ යහපත් උත්තම ගණයේ මිනිසුන් නොවන්නේ ද?
අවංකව ම මොවුන් අප වෙනුවෙන් මෙතරම් කරුණාපෙරදැරි සිත් ඇත්තන් බව පසක් වන්නේ ඉහත සඳහන් කෝටි ගාණක මුදල් කන්දරාවක් වියපැහැදම් කොට හොරුන්, තක්කඩින්, දූෂිතයන්, අල්ලස් කාක්කන් මෙබිමෙන් පන්නා දමා හෝ ඔවුන් සතු සියලු ආකාරයේ වත්කම් හොඳින් හෝ නරකින් හෝ ලබා ගෙන දහසකුත් එකක් ප්‍රශ්නවලට මැදිව කුසට හරි හමන් අහරක් නැතිව, ලෙඩකට දුකකට බේත් හේත් ටිකක් ගන්න ක්‍රමයක් නැතිව අත්ල නිකටේ තබා ගෙන කළ යුත්තක් නොදැන ඇඬූ කඳුළෙන් පසුවන අප කෙරෙහි පතල මහා අනුකම්පාවෙන් ම ද?
නොදනිම් ඒ ගැන නම් කිසිවක්.
ඉදින් සබඳ?
නොදනිම් කවර අපේක්ෂකයා ජනාධිපති කම ලබා ජනාධිපති මන්දිරයේ විරාජමානව වැඩ වෙසෙමින් ජනාධිපති කාර්යාලයේ හෙවත් පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට යෙමින් එමින් දහසක් ප්‍රශ්න, ලක්ෂයක් ප්‍රශ්න, කෝටියක් ප්‍රශ්නවලට විද්‍යාත්මක වූත්, සර්ව සාධාරණ වූත් විසඳුම් හොයන්නට තරම් මොවුන් ගේ හි් හතන් උණු වී, දිය වී, ගාලු මුවදොර පිටිය පාමුලින් මහ මුහුදේ කරදිය කඳට එක් නොවුණොත් ය පුදුමය. එය එක පුදුමයක් නොවේ... පුදුම හතෙන් හත ම ය. නැත. අටවන පුදුමයත් ඒකම නොවේ ද?
රට කරවූ ඇත්තන් එදා මෙදා මේ රටට කරපු දෙයක් නැද්ද යන්නත් ජනතාව බුද්ධිමත්ව සිතා නොබලා බලයට කෑදර කමින් අනෙකා මත සියලු කුණු කන්දල් පටවමින් තමන් කපුරුහාමිලා බව කියමින් මව්බිමට ආදරයක් නැති පිරිස් පතුරුවන කතා වල තවම නං අඩුවක් නැත.
රාජපක්ෂලා ද කනට වඩා අඟ ලොකු කර ගත්තෝ ය. එහි විපාක අහිංසක අතුකෝරාළ වැනි මන්ත්‍රීවරයකු මරා දමන්නට තරම් ඊනියා අරගලකරුන්ට මඟ හසර පාදා දෙන ලද්දේ ජොනියා හා එවන් මොළේ කළඳක් නැති පිම්පියන් ය. ඊනියා අරගලකරුවෝ ම්ලේච්ඡ වූහ. පොහොට්ටු කාරයන් ගේ ගේදොර බඩු මුට්ටු ගිනතබා විනාශ කළහ. මේ කතා බතාවලින් තවත් ඵලක් ඇද්ද?
එළඹෙන ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර ඇති පොරයෙන් කවුරුන් දිනුවත් ජනතාවට සිදුවන සෙතක් නැති බව නම් පෙර අත්දැකීම් අනුව අපට පෙනේ.
ඔටුන්න හිමියැයි විශ්වාස කරනා රජ දරුවන් දෙන්නා ගෙන් නාමල් පොහොට්ටුවට අත්කර දෙන්නේ කවරාකාර ඉරණමක් දැ යි කියන්නට නොහැකි ය. ගෝඨා තරග කළේ පොහොට්ටුවෙනි. එය මේ බිමේ ඇරඹුණු ළාබාල ම පක්ෂය වී රාජ්‍ය බලය ගත්තේ ඔවුන් ගේ දක්ෂතා නිසා නොවේ.
ගෝඨා කෙරෙහි ජනයා තුළ පැවති ප්‍රසන්න හැඟීම ය. විශ්වාසය ය.
අප රනිල්ට වේවා, සජිත්ට වේවා, අනුරට වේවා, නාමල්ට වේවා, දිලිත්ට වේවා පක්ෂාපතී විය යුත්තේ ඔවුන් මේ රටේ පවතින වාස්තවික තත්ත්වයට යුක්ති යුක්ත විසඳුම් සහිත මල්ලක් අත් හි රුවා ගෙන ඇත්නම් බව යි කිය යුත්තේ.
රනිල් බලය ඉල්ලන්නේ අයිඑම්එප් ගිවිසුම අනුව කටයුතු කර තව තවත් ණය ගෙන රට ගොඩ නංවන්නට හැකියාව ඇත්තේ තමාට පමණක් බව තෙපලමිනි.
සජිත් ද ඒ වගේ ම අනුර ද කියන්නේ රටේ පවතින දූෂණය, අල්ලස, හොරා කාපු සල්ලි ගැන ය. ජනතාව පහුගිය කාලයේ කිව්වේ පාර්ලිමේන්තුවේ සිටින 225 හොරු බව ය. එින් ගම්‍ය වන්නේ පාර්ලිමේන්තුවේ නියෝජිතයන් සියල්ලෝම අඩු වැඩි වශයෙන් හොරුන් බව යි. මොවුන් ඔක්කෝම කුඩු කෑ පිරිසක් යැ යි පොදු මහජනයා කියද්දී දැන් සජිත් ද, අනුර ද, අලුතෙන් ඇඳුම් මහන් සැප්තැම්බර් 22 වැනි දා වන තුරු සිහින දකිමින් සිටිති.
ඇඳන් ඉන්න ටයි කෝට් පිටින් ම රනිල් වාඩි වුණු පුටුවේ ම හිඳ සිහින දැක දැක සිටින්නේ ය.
ඔවුන් රට සංවර්ධනයට ඉදිරි සැලසුම් ජනතාවට ඉදිරිපත් කරන්නේ කවදා ද? සැලසුම් නම් හදනවා සිකුරු ය. ඒත් ඒවා ක්‍රියාත්මක කරන්නට කාසි පණම්.....
මොවුන් සියලු දෙනා සැලසුම් හදන්නේ ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් ගේ ඕනෑකම් ඉෂ්ට සිද්ධ කරන්නට මිස දෙකෝටි විසි දෙලක්ෂයක් වන ලාංකේය හෙවත් හෙළදිව් හි වැස්සන් ගේ මනදොළ සපුරන්නට නොවනා වගට මේන්න කැට.
රටක් ජාතියක් හැටිය පවතින ආර්ථික අර්බුදයෙන්, ලෝක දේශපාලන පොරපිටියෙන් එල්ලවන නේක විධ බලපෑම්වලින් අත් මිදෙන්නට ජනතාව පෙළනා වද වේදනා දුක් සුසුම් බැහැර කරවන්නට ඇත්තේ කවරාකාර සූදානමක් ද? ප්‍රතිපත්ති ද?
ඒ හැම එකක් ම යාථාවාදීව බලා මානුෂිකවාදය ඉස්මතු කෙරෙනා අයුරින් විසඳන්නට මොවුන් සමත්කම් පාන්නේ ද?
නොදනිම්! මෙවන් වෙලාවක ඔබ ගන්නා බුද්ධිමත් තීරණය.... එය 1977 ලාංකේය ඡන්දදායකයා ගත්තු මොළේ උණ රෝගයට ගොදුරුව ගත් අන්දමට වුවහොත් රනිල් වේවා, සජිත් වේවා, ගමන් ගන්නා ඒ මාවත අපැහැදිලි ය. වළ ගොඩැලි නොව අගාධවලින් පිරිච්චි මහා ප්‍රපාතයකි.
අනුර?
ඔවුන් ගේ ගමන ද වෙනස් බවක් පෙනෙතත් ඉන්දියාව එක්ක එක්කහු වී ධාවනයේ යෙදෙන මැරතන් ක්‍රීඩාවක් බව යි අපේ හැඟීම.
හීන හැම දෙනාට ම ඇත. අපේ හීන හෙට දවස පාකරන් රටට නැත්තං උපන් පොළොවට වෙච්ච ණය ගෙවන්නේ කොහොම ද යන්න යි.
නාමල් ලාගේ හීනය හිටපු ජනාධිපති තාත්තා මෙන් ම හිටපු ජනාධිපති බාප්පා වගේ සැප්තැම්බර් 22 වන විට ජනාධිපති වෙන්නේ කොහොම ද යන්න යි. අනෙත් අපේක්ෂකයන් හතර දෙනාට ද ඇත්තේ ඒ එකම හීනය ය ම ය. හතර දෙනා යනු රනිල්, සජිත්, අනුර හා දිලිත් ය. තවත් පිරිසක් ඡන්ද හටනට නාමයෝජනා දී ඇතත් ඔවුන් බහුතරය ගැන දන්නෝ කවුරුන් දැ යි කියන්නට නො දනී.
මට පේන හැටියට නං හොඳ බැංකු ගිණුමක් ඇත්තේ දිලිත් ජයවීරට ය. ඒ අනෙක් අපේක්ෂකයින් හතර දෙනා සේ සෙනඟ දාස් ගණනින් බස්වල නග්ගන් ඇවිත් රටට ලෝකයාට මම දිනනවා, මම දිනනවා, මම දිනනනවා යි කියන්නට තරම් සෙනඟක් පේන්නට දිලිත් ට නැත.