උදය ගම්මන්පිල ගහපු මලක්කම
කස්තිරම 2
දියවන්නා හොයේ තොවිලය නටන්නට ලක ලෑස්තිවෙන යකැදුරන් බොහෝ ය. ඒ තොවිලෙ ඇරඹෙන්නේ නැත්තං පටන් ගත්තේ, ඉල්මහේ 21 දා පටන් ය. රට පුරහින් ම යකැදුරන් දෙසිය විසිපහක් රොක් කොට ගෙන තොවිල් පවිල් කොරලා හෝ ඉතා ම අසාධ්‍ය තත්ත්වයේ පසුවන ලක්මෑණීයන්ට හා ඇගේ දූ පුතුන්ට විෂ එන්නත් කොට රෝගී කරන ලද කෝටි දෙකයි චුට්ටකට වැඩි බාල, තරුණ, මහළු වයසේ පසුවන සියලු රෝගීන්ට, සෙත් සාන්තිකොට, දෙයියන්ගේ ආනුභාවෙන්, පිහිටාධාරෙන්, ආසිරිවාදයෙන්, සියලු රෝග දුරින්දූරිභූත කොට මහමුහුදේ මකර කටේ ලා, සුවපත් කරන්නට ය මේ සැසෙන්නේ.. බුරුතු පිටින් සූදානම නේක නේක විදියේ මන්තර කිය කියා දියවන්නාවට ඒ මන්තරවල බල මහිමයෙන් වරම් ලබා ගෙන පිහිනා ගොස් රෝගීන් සුවපත් කොරන්නට දාන දහිරියක තරම තව දවස් ගණනාවක් පුරා රට්ටුන්ට හොඳට දැක බලා ගන්න පුළුවනි යැ.
සෙල්ලමක් නං නොවේ. මේ තොවිලය. මහ විශාල යකැදුරුකන් කොරන්නන් ලෙඩ අම්මයි ඇගේ රෝගී දූ දරුවනු යි සුව කොරන්නට ඉදිරිපත් වෙච්චි හැටි දැක්කහම අම්මපල්ල මේ නං මොන තරම් වාසනාවන්ත රටක්, රාජ්‍යයක් දැ යි දැයි හිතෙන තරමි. හරියට ම කියනවා නම් කේතුමතිය වගේ....!?
නැට්ටුවොයි, බෙරකරුවොයි, ආවතේවකරුවොයි, රටේ හැම දිහාවකින් ම ගජරාමෙට වැඩ කරන හැටි.... නැට්ටුවන්, බෙරකරුවන් අත්වැල් අල්ලන්නන්, දුම්මල යි, ගිනි කබලු යි දෙන්නන්, තෙල් වත්කරන්නන්, පන්දම් ඔතන්නන්, ගෙජ්ජි බඳින්නං මේ ආදී කී නොකී යකැදුරන් හෙවත් යක්දෙස්සන් අටදාස් අටසිය විසි එක් (8821) දෙනකු සිව්හෙළයෙන් තන් තන් විසි දෙකක වීජ්ජ අටවං දැන් මේ දැන් කරන සාන්ති කරුමෙ නම්, හිතා ගන්නවත් බැරි යැ රෝගී වෙච්චි හුදු දනන්ට නං හිතා ගන්නවත් බැරි තරමි. යක්දෙස්සන් ම 9000 කට ඔන්න මෙන්න ය. ඒ තොයිල් නටන්නන් පිරිසක පේවී ඉන්නේ සුවාදීනව ය. ඔවුන්ට කිසිම කෙනෙකු සපෝට් නැති බව කීවත්.....
වැඩිම ගුරුන්නාන්සේලා රොක්කරන් ඇත්තේ, පස්ස අසූ තුනක් වටා යැ. ඉතින් උන්දැලා පේවී පේවී බලා ඉන්නේ නැතිව, ලෙඩා සුවපත් කරන්නට එක එක උප්පරවැට්ටි දානා බව ලෙඩ්ඩු වෙච්ච බහුතරයක් නොව, අති, අති ,අති ම බහුතරයක් දන්නේ නෑතැ යි කිව්වොත් ඇත්තක් මිස බොරුවක් නොවේ.
තොවිල් පළේ වීජ්ජ බොහෝ ය. තැන් තැන්වල අටවා ඇති වීජ්ජ, ගණනින් බොහෝ ය. රටේ අටදිග් බාගයෙන් ම ලකලෑස්ති වෙච්චි යකැදුරන් ''ඕං රීං .... යි කියමින් වැඩේට පේවෙලා සුදු පිරුවට ඇඳන්, හිණේ පච්චවඩම් බැඳ ගෙන යාගහෝමයට එක එක පළාත්වල, එක එක දිසාවල යක්දෙස්සන් තොවිලෙට පෙරහුරු පටන් ගත්තේ සති කීපයක පටන් ය.
මහ කපුරාල කොළොංපුරේ ගෙන්දගං පොළොවෙ මහ නැව්තොටට යාබද පිහිටි මන්දිරේ හිටං ගෝල බාලයින් රොත්තත් එක්ක ජපකරන යන්තර මන්තරවලින් ඇහෙන්නේ ලොකු ගෝසාවකි.
ඕංඔය අල්ලපනල්ලේ පරංගියා හැතැප්ම හයක් දක්කන් ගිහිපු රටේ මහ ගොඩනැගිල්ලක පඩි පෙළ හුරු පුරුදු හිනා කට පුරෝගෙන ගම්මන්පිල යකැදුරු උන්නැහේ ගෝල බාලයන් කීප දෙනකුත් එක්ක ඉහළ මාලයට ආවේ සුදෝ සුදු වතකින් සැරහිලා ය.
උන්නැහේ හෙවත් උදය ගම්මන්පිළ යක්දෙස්සා අත තිබුණේ මන්තර පොතක් දෙකක් දැ යි කියන්නට රටවැසි බෝ ලෙඩ්ඩු දැනන් හිටියාට සැක නැත.
උන්නැහේ ඕං වීජ්ජ ඉස්සරහ පටන් ගත්තේ අපූරු අඩව්වක් අල්ලන්නට බව සහසුද්දෙන් ම රටේ තොටේ කොයි කවුරුත් දැන හුන්හ.
''ආවඩා ආයුබෝ වේවා! ආවඩා ආයුබෝවේවා!! ආවඩා ආආආ" යි ගම්මන්පිල යකැදුරු උත්තමයා එතැන් පටන් දීර්ඝ දීර්ඝ මන්තර කවි බොහොම තාලයට රිද්මයකින් ගායනය ඇරඹුවේ ය. උන්නැහේගේ කස්තිරම සුළුපටු නැත. වතුර වීදුරුව් ටිකින් ටික ගෙන උගුර කට පොඟවා ගනිමින් ද විටින් විට මුහුණත් නළලතලයත්, සුදෝ සුදු ලේන්සුවකින් පිහිමින් ද අඩව්ව අල්ලන්නට වන්නේ ඔහු අත රැඳි අලුත්ම නැතත් අලුත් වගේ පෙනෙන මන්තරයක් තාලයට ගයමිනි.
'' ඕං හිටපු රාජ්‍ය නායකයා.... ආආආ..... කමිටු දෙකක් පත් කළා. පාස්කු ප්‍රහාරය ගැන පර සුද්දකුගෙ 4 ටීවී නාලිකාව කරපු විකාශකයක් ගැන හොයලා බලාන්න.... අඅඅඅ.... රනිල් වික්‍රමසිංහ උන්නැහේ පැවරුවා.... ආආආආ...
එකක් එස්. අයි. ඉමාම් විශ්‍රාමික විනිසුරුවරයා ගේ වාර්තාව ය. ඒ. එන්. ජේ. ද අල්විස් වාර්තාවයි ප්‍රසිද්ධ කරන්න කියලා අපි කියන්නේ ඒ ඒ ඒ ආආආ යි ගම්මන්පිල කට්ටඬි උන්නැහේ, වීජ්ජ ද හොළවමින්, සද්දයක් දමා ස්තෝත්ර ගායනය අරඹුවේ ය.
විශ්‍රාමික විනිසුරු එස්. අයි. ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජූනි 25 දාත්, විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 සැප්තැම්බර් 14ත් හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා.
මෙන්න මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න....අඅඅඅඅඅ..... ඕං.... ඕං
යි කස්තිරම අල්ලා පොඩි විවේකයක් ගන්නවා වෙනුවට යළි පැන් උගුරක් ගෙන උගුර කට පොඟාගෙන, යළිත් මලක්කමක් පා පටන් ගත්තේ මේ වාර්තා දෙක ජනතාව හමුවේ තබන්නට මහ කට්ටඬිරාලට සතියක් හෙවත් හත් දොහක් කල් දෙමිනි.
රටේ ම මිනිසුන් රටත් එක්ක ම එකට ලෙඩ වී, බරපතළ තත්ත්වයක සිටින මොහොතේ කොයි කොයි වෙදරාලත්, යකැදුරු උන්නැහෙලත්, බලන්නේ ඔවුන් හිත් හි උපන් මහා කරුණාවෙන්, රෝගී බවෙන් රටත් වැසියත් බේරා ගන්නට ය. ආආආආ.... ආ
ඉතින් තමන් සතු විමර්ශන වාර්තා දෙක මහ කට්ටඬිරාල හෙවත් අනුර කුමාර ජනපති විසින්, ජනතාව වෙත ඉදිරිපත් කොට පාස්කු ප්‍රහාරයෙන් පීඩිතව හිඳින කතෝලික හා එයින් අද දක්වාමත්, මතු ජීවිත කාලයත්, නේකාකාර අයුරුන් පීඩා විඳින පාස්කු වින්දිත පිරිස් වෙත පැන් පොදක් ඉස හෝ, සහනයක් දෙන්නට ඇති හැකියාව කුමක්දැයි විමසුම් බැලුම් හෙළමින් බලා හිඳින සඳ.....
යකැදුරු විජිත හේරත්රාල, ගම්මන්පිල උන්නැහෙට කොචොක් පාරක් දැම්මේ, අර පහුගිය කාලේ රටේ මහ කෙරුමකු ලෙස හිඳි, නූතන දුටුගැමුණු ගේ තාලෙට ය. ඔහු මන්තර ජප කරන්නේ ද බලයෙන් මත් වී බව යි, හෙළදිව් හි දනන්ට ඒ මන්තරේ අහන් හිටිද්දි වැටහුණේ.
ආන්දෝලනාත්මක පාස්කු ප්‍රහාරය පිළිබඳ කමිටු වාර්තා දෙක තමන්ට අතට පත් වූයේ තැපැල් මගින් බව උදය ගම්මන්පිල යකැදුරා කීවේ තාලයට, කාලය ගෙන මහ උජාරුවෙනි.
අදාළ වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට වත්මන් ජනාධිපතිවරයා කටයුතු නොකරන්නේ වාර්තාවල ඇතුළත් ඇතැම් කරුණු වලට අනුව ජාතික ජන බලවේගයට සම්බන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුට ද චෝදනා එල්ල වීම හේතුවෙන්.... ආආආ.... ඕං රීං...ඔහු කීවේ තාලයට ඇද පැද නොවේ. හීන් හසරැල්ල මුහුණේ එල්ලා ගෙන විතර ය.
උදය ගම්මන්පිල යක්දෙස්සාණන් වීජ්ජ දිහාවට වැඳ ආචාර කර ඊළඟ ට ගැහුවේ මාර ම මාර මලක්කමකි. ඒක නං බලා හිටින්නන්, බලා හුන්නේ කටවල් වලින් ඇස් බාගෙට අඩවන් කර ගෙන යි.
''අනුර කුමාර මහ ගුරුන්නාන්සේ වෙනුවෙන් දැන් බොහෝ දේ කරන්නෙ විජිත හේරත් ගුරුන්නාන්සේ ය. ඊට හරියන්න ලාල් කාන්ත ඇදුරු ය. වසන්තසිංහ ය.
මේ රටේ තොටේ දනන් හට දිගු කලක පටන් සැදී වැලඳී තිබෙන නොව, වලඳවා ඇති නේකාකාර රෝගවලට හොඳ ම වෙදැදුරන් ද, යක්දෙස්සන් ද, දැන් තමන් සතු නිසාදෝ විජිත හේරත් උන්නැහේ ද, කොචොක් හිනා පාමින්, ගම්මන්පිල මලක්කමක් ගහල පෙන්නපු සිල්ප, උසුළුවට ලක් කළේ, මන්දැයි අමුතුවෙන් කියන්නට කවර වටිනාකමක්වත් ඇද්ද?
මොකක් දෝ විෂමාචාර ක්‍රියාවක නිරත වූ බව වාර්තාව සැකසූ ප්‍රධාන විද්වතකුට අපහාස කරන්නට තරම්, හේ බාල වූයේ මන්දැ යි මලක්කමක් ගහපු ගම්මන්පිල නොවිමසුවත්, ඒක වීජ්ජ ඉස්සර විතරක් නොව, ටෙලිවිෂන් පෙට්ටි ඉස්සරහත් හුන් අප වැනි හුදි ජනයාට දැනී හටගත්තේ මහත් ම පිළිකුලක් බව නං නොකියා ම බැරි ය.
අපේ ගංගොඩවල්වල වැඩිහිටියන් අතර මහ කැත පුරුද්දක් තිබුණි. තාමත් ඇති බව පෙනේ. ඒ තමන්ගේ එකා මොන වැරැද්ද කළත් ඌ සුද්ද පවිත්තර කර අනෙකා හෑල්ලුවට උපහාසයට අපහාසයට පත් කොට තමන් ගේ එකා නිදොස් බව අඟවන්නට ඉදිරිපත් වීම ය. නැත්තං පෙනී සිටීම ය.
කොහොම වුණත් ඒ උගත් විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් කමිටු තීන්දු පිළිගන්නට නොහැකි නම් කළ යුත්තේ කුමක්ද යන්න ඔවුන් ම රටට කිව්වා නං හොඳ ය.
අර අල්විස් වාර්තාවේ සභාපති විෂමාචාර කටයුතුවල නිරත වූ බව කීව විජිත හේරත් ගුරුන්නාන්සේලා හරිම සුදු ය. සුදුම සුදු ය. කිරිකොක් සුද ය. කොටින් ම කියනවා නම් කිරිසුදු ය. කිසිම වැරැද්දක් නොකරපු ඇත්තන් ය.
වැරදි සිදුවන්නේ මිනිසුන්ට ය. මිනිසුන් අතින් ය. අංගුලිමාල මිනිස් ජීවිත නමසිය අනූ නමයක් බිලි ගත්තේ ය. ඝාතනය කළේ ය. එහෙත් බුදුන් සරණ ගිය හේ අංගුලිමාල මහ රහතන් වහන්සේ බවට පත්වූහ. අපේ ගැබිනි මව්වරුන්ට විලිරුදාව හටගත් විට ඔවුන් අපහසුවකින් තොරව බිළිඳා ප්‍රසූත කරන්නට අංගුලිමාල පරිත්ත දෙසුම සජ්ජායනා කරන්නට හෙළ දෙස බෞද්ධයෝ සැදී පැහැද සිටිති.
විජිත හේරත් යක්දෙස්සාණන් අල්විස් ගේ වාසගම කීවේ අඩම්බරකාර යනුවෙන් කොචොක් එකට හීන් හිනාවක් ද මුවඟ එල්ලා ගෙන ය. කෙනකුගේ වාසගමටත් හිනා වෙන්න තරම් අපේ ජනමාධ්‍ය යක්දෙසිරාල සිල්ලර කිරන්නට වුණේ තමන් ගේ රැහට එක්වූ රවි සෙනෙවිරත්න හා ශානි අබේසේකර රකින්නට බව මොවුන් ගේ වීජ්ජ ඉස්සරහ මුව අයා බලා හිඳින හුදිජනයාට කදිමට පෙනේ.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව සඳහන් කරමින් වාර්තාවල ඇති ඇමුණුම් පවා තමන්ට තැපැල් මගින් ලැබුණු ද ඒවා හැර අනෙක් සියලු වාර්තා එළඹෙන සඳුදා මාධ්‍යයට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගන්නා බවද කලින් දොහේ කස්තිරම අල්ලන්නට කලින් ඕංරීං ගා කීවේ ය.
අදට දවස් එකොළහකට කලින් (14) දියවන්නා හොය පේනමානයේ කෝට්ටේ තමන් විසින් ම සකසා ගත්තු තොවිල්පොළේ දී, කස්තිරමක් ගසමින් පිවිතුරු හෙළ උරුමයක් රටට ලබාදෙන්නට කැස කවනා ගම්මන්පිල, මලක්කම් ගහමින් උඳුවප් මහේ ආකාහේ බැබළෙන සඳ ද අපට බලන්න යි කියන කොට, විජිත හේරත් යස්දෙස්සාණන්ට මලපැන ගිහින් ස්තෝත්රයක් ගයමින්, ජපකරමින් අපට කියන්නේ ඔහු පෙන්නන හඳ දිහා නොබලා උදය ගම්මන්පිල ගේ ඇඟිල්ල ගැන යි, ඔහු වතුර බීපු එක ගැනයි ය.
මේ මේ රටේ ප්‍රධානතම කාර්යයන් භාර ගුරුන්නාන්සේ කෙනෙකි.
රනිල් උත්තමයගේ දේශපාලන උවමනාවට කමිටු දෙක ම කටයුතු කළා කියමු කෝ. හැබැයි ඉතින් උන්නැහෙට මේ වාර්තා දෙක ම දියවන්නා හොය පැත්තට දික්කරන්න තිබුණා නෙවැ.. ඒත් ඉතින් උන්නැහේ එහෙම නොකළේ?
හැබැයි ඉතින් අර ඔත්තු සේවාවකින් එවුවාය කියන වි්සනීය රහස් තොරතුු තමන්ගෙ මේසය මත තබා ගෙන නිද්‍රාශීලීව හිටිය, රවි සෙනෙවිරත්න ජ්් නියෝජ්‍ය පොලිස්පති තෙමේ එදා කරන ලද්දේ බලවත්, අති බලවත්, වැරැද්දක් බව, විජිත හේරත් උන්නැහෙට නොතේරෙන එක පුදුමයකි. ඒ විතරක් නම් නොවේ. මහ යක්දෙස්සාණන් ඇතුළු ඔවුන් ගේ මහා බුද්ධි මණ්ඩලයට, රවි සෙනෙවිරත්න කරැති කුප්ප වැඩේ, සුළුවෙන් තැකීමට තරම් අඳබාල නම් දෙයියන්ට ම ඔප්පු වෙච්චා වේ මේ සතුට පොහොසත් රටක - ලස්සන ජීවිතයක් ගත කරන්නට හැකිවේ ද යන සැකයක් හිත් හතන් තුළ වැඩේ. .
ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි අංශයට විදේශ බුද්ධි සේවාවක් දැනුම් දුන්නේ පාස්කු ප්රහාරයක සැලසුමක් ඇති වගයි. එයින් කියැවී ඇති පරිද්දෙන් නම් ඒ මහා අපරාධකාරයින් ගේ සියලු විස්තර ද එකී තොරතුරු ඔස්සේ දන්නා තිබිණි. එහෙම ලද ඉතා වැදගත්, අතිශය තොරතුරක් ලද පසු එයින් කියැවී තිබුණු පාපතර ත්රස්තවාදීන්, අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ එවකට රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා වූ, වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්නගේ, දුර්වලකම නිසා යැ යි සනාථ වෙනවා නම් ඉතින් හේරත් කට්ටඩි මහත්තයෝ හුදු ජනයා මොන බම්බුවක් කොරන්න ද? මුන්නැහේලටත් ඒ වගක් තේරුං ගන්න බැරිනං....
.ගම්මන්පිල තොවිලෙට ආවේ කස්තිරමක් දෙකක් අල්ලා අල්ලා හිටං දියවන්නා හොය තරග කරන්නට ම ද? කොටි ත්රස්තවාදීන් සේරු නුවර මාවිල් ආරු සොරොව්ව අත්පත් කරගෙන එය වසා දැමූ වේලේ රතන හාමුදුරුවන් ප්රමුඛ කොට ගෙන ඊට මැදිහත් වී සේරු නුවරට ගිහින් ගම්මන්පිලලා සිල්ප දැක්කුවේ නැත්තං මහින්ද රාජපක්ෂ උන්නැහෙත් තව ටිකක් ක්මරනාව සිකුරු ය. ඉදින් ගම්මන්පිලලා එහෙම කොරපු මිනිසුන් බව කටකහනවාට කියනවා නොවේ.
හෙළදිව ගම්මන්පිල හෝ විජිත හේරත් හෝ නොහඳුනන්නේ ය.
ඒත් ඉතින් දෙයක වැරැද්දක් අඩුපාඩුවක් දුබලතාවයක් දැක්ක තැන බක්ගාලා කට ඇරී ඒ ගැන කියවීමට හුරැවක් ලැබීම නිසා බොහෝ අවාසි මෙන් ම හානි ද සිදුවූ බව ද කියමින් කස්තිරමේ මුල් කොටහ මෙහෙම අවසන් කොරන්නයි කල්පනාවට නැඟෙන්නේ.
ඒ උදය ගම්මන්පිල ගේ මේ ගැන කරන ලද විස්තරයේ කොටසකිනි.
ගරු ඇමතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදි කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොලකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදි කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමතිතුමා කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට බාර දුන්නා. ඒ කොටස් වලින් මහ මොලකරු සොයා ගන්න නම් බැරි වෙලා තිබෙනවා. ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමතිතුමා කතා කරන්නේ ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්. නැතිනම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.
එතකොට කවුද මේ මහා අපරාධය කළ ත්‍රස්තවාදී කල්ලියේ ''මහ මොළකරු??"
කවරකු ඔහු ගැන දන්නේ ද? දැන දැන හංගන්නේ ද?? මිල කළ නො හැකි වටිනා අගනා ජීවිත තුන්සියයක් පමණ සදහටම මව්බිමට අහිමි කරමින් තවත් විශාල පිරිසක් ආබාධිත කරවමින් බෝම්බ පුපුරුවා හළ උන්ට නියෝග දුන්, උන් මෙහෙය වූ මේ කියන මහ මොළකරුවා කොයි ලෝකෙකින් කඩා පාත් වූවකු ද?? නැත්තං මේ බිමේ ම අදටත් යහතින් සිටින්නෙක් ද??? සුරලොව කන්‍යාවියන් ගේ පහස ලබමින් සුරසැප විඳින්නට හැකි බව පෙන්වා ඔළුගෙඩි සෝදා හැරිය ඒ පාපතරයා ඊනියා මහ මොළකරුවා මිනිස් බව ලද මිනිස් ප්‍රාණියකු ද?? එහෙමත් නැත්තං....????