ජගත් ගේ සතියේ සටහන - 43
සාමයෙන් යුත් පූර්ව මැතිවරණ සමයක්! ආණ්ඩු බලය ඉල්ලා නොසිටින විපක්ෂයක පළමු මැතිවරණය
ශ්‍රී ලංකාවේ 1947 සිට 2020 දක්වා දක්වා පැවති සෑම පාර්ලිමේන්තු මහ මැතිවරණයක් ම පහරදීම්, ගිනි තැබීම්, මිනීමැරම් ඇතුළු ප්රචණ්ඩ ක්‍රියාවලින් උණුසුම් වූවත් තව දින හතරකින් (4) එනම් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන මහ මැතිවරණයේ දක්නට තිබෙන්නේ ඇල්මැරුණු නිහඩ පරිසරයක්.
එමෙන්ම විපක්ෂය විසින් ආණ්ඩු බලය ඉල්ලා නොසිටින පළමු මැතිවරණය වශයෙන් ද, දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. විපක්ෂය ඉල්ලා සිටින්නේ ශක්තිමත් විපක්ෂයක් ඇති කිරීමට තම තමන්ට ඡන්දය දෙන ලෙසයි.
කලින් පැවති මැතිවරණවල දී මෙන් අපේක්ෂකයින් විසින් ඡන්දදායකයිනට සෙවිලි තහඩු, සිමෙන්ති බෑග්, පුටු, මහන මැෂින්, ගෑස් ලිප්, ආදී උපකරණ බෙදා දීමක් ද මෙවර මහ මැතිවරණය සමයේ දකින්නට නැහැ.
සමහර අපේක්ෂකයින් ඡන්දදායකයින් හෝටල් හා උත්සව ශාලා ආදියට කැඳවා භෝජන සංග්‍රහ සමඟ රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබුණත් මැතිවරණ කොමිසමේ නිලධාරීන් එම ස්ථානවලට නීත්‍යානුකූලව කඩාවැද (ගොස්) සංග්‍රහ කිරීම් සඳහා සූදානම් කොට තිබුණු ආහාර පානාදිය අත්අඩංගුවට ගත් බව ප්‍රදේශ ගණනාවකින් වාර්තා වුණා.
පසුගිය ජනාධිපතිවරණයේ දී එවකට විපක්ෂයේ සිටි ජාතික ජන බලවේගය ඇතුළු පක්ෂ පාර්ලිමේන්තුවේ 225 ම දූෂිත බවත් හොරුන් ඉවත් කොට පිරිසිදු පාලනයක් ඇති කළ යුතු බවත් පවසමින් ගෙනගිය ව්‍යාපාරය නිසා දූෂණ චෝදනා නැති අනුර කුමාර දිසානායක මහතාට, ජනාධිපති වීමට ජනතාව කැමැත්ත ප්‍රකාශ කළා.
හිටපු ඇමතිවරුන් 67 පොරට නාවේ කුජීත වෙන බව දන්න නිසා
පසුගිය පාර්ලිමේන්තුවේ සිටි ප්‍රබල ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් රාශියක් නියේජනය කළ ඡන්ද කොට්ඨාසවලින් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට අනුර කුමාර දිසානායක මහතා සමත් වුණා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙවර මහ මැතිවරණයට පසුගිය ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරුන් 67 කු ඉදිරිපත් වී නැහැ. දූෂිතයින් ඉවත් කොට පාර්ලිමේන්තුවක් ඇති කරමු යන ජාතික ජන බලවේගයේ තේමාව ජනතාව පිළිගෙන ඇති බැවින් මෙවර මැතිවරණයට තරග කරන හිටපු මැති ඇමතිවරුන් විශාල පිරිසකට ද ජයගත හැකි නොවනු ඇති බව දේශපාලන විචාරකයින් පවසනවා.
මේ තත්ත්වය යටතේ තමාට අවාසිදායක තත්ත්වයක් පවතින බව දන්නා බොහෝ හිටපු මැති ඇමතිවරුන් ඔවුන් ගේ ඡන්ද ව්‍යාපාර නමට පමණක් පවත්වා ගෙන යන බවයි පෙනී යන්නේ.
ජනයාගෙන් පිරි - ජාජබ රැළි
ජාතික ජන බලවේගය පමණක් දිස්ත්‍රික්ක මට්ටමෙන් සෑම සතියක ම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් කිහිපය බැගින් පවත්වන අතර ඒවාට අති විශාල ජනකායක් සහභාගි වෙනවා.
එහෙත් සමගි ජන බලවේගය, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සර්වජන බලය ආදී පක්ෂ ප්‍රසිද්ධ එළිමහන් රැස්වීම් වෙනුවට කුඩා රැස්වීම් පවත්වනවා.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් තරග කරන කොළඹ දිස්ත්‍රික්කයේ සෑම ආසනයකට ම ගොස් කුඩා රැස්වීම් පවත්වන නමුත් එකදු ප්‍රසිද්ධ රැස්වීමක් වත් ඊයේ වනතුරුත් පවත්වා තිබුණේ නැහැ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට ඔහු පසුගිය බ්‍රහස්පතින්දා ගම්පහ පැවති සමගි ජන බලවේගයේ අපේක්ෂකයකුගේ රැස්වීමකට නම් ගොස් තිබුණා.
එහෙත් ඔහු මහනුවර, ගාල්ල, කුරුණෑගල, අනුරාධපුරය ආදී පිට පළාත්වලට නොයෑම මේ දිස්ත්‍රික්කවලට තරග කරන සමගි ජන බලවේගයේ අපේක්ෂකයින් ගේ දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇති බව ද පැවසෙනවා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නම්, මේ දිනවල ගම්පහ, කළුතර, ගාල්ල, මාතර ආදී පිට පළාත්වල පැවැත්වෙන එම පක්ෂයේ රැස්වීම්වලට සහභාගි වෙනවා.
සර්වජන බලයෙ නායක දිලිත් ජයවීර මහතා, ඔහු තරග කරන ගම්පහ දිස්ත්‍රික්කයේ මෙන් ම පුත්තලම, කුරුණෑගල, රත්නපුර, කන්තලේ, මහනුර, හම්බන්තොට, මාතර ආදී සෑම දිස්ත්‍රික්කයක ම පැවැත්වෙන එම පක්ෂයේ අපේක්ෂකයින්ගේ රැස්වීම්වලට යනවා.
එසේ වුව ද විපක්ෂයේ ඡන්ද ව්‍යාපාරවල කිසිදු උණුසුමක් දකින්නට නැහැ. වෙනදා මැතිවරණ උණුසුම් වන්නේ ප්‍රධාන කඳවුරු දෙකක් හෝ ප්‍රධාන පක්ෂ දෙකක් අතර, එම මැතිවරණ පැවැත්වෙන නිසයි. එහෙත් මෙවර එවැනි මුහුණට මුහුණ ලා පැවැත්වෙන සටනක් දකින්නට නැහැ.
මෙවර මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ස්ථාවර වශයෙන් ජයගෙන ආණ්ඩුබලය ලබා ගන්නා බව පැහැදිලිව ම පෙනෙන බැවින් විපක්ෂයේ බොහෝ අපේක්ෂකයින් ගේ අරමුණ වී තිබෙන්නේ, තමන්ගේ ආසනය කෙසේ හෝ ජය ගැනීම මිස ආණ්ඩු බලය ලබා ගැනීම නෙවෙයි. ඒ නිසයි විපක්ෂය ආණ්ඩු බලය ඉල්ලන්නේ නැතිව 'ප්‍රබල විපක්ෂය' වීමට ජනතාවගෙන් ඡන්දය ඉල්ලන්නේ. අප පසුගිය සතියක පැවසූ පරිදි විපක්ෂයේ ඡන්ද ව්‍යාපාර කටයුතු, අඩපණ වීමට ප්‍රධාන හේතුවක් වී තිබෙන්නේ මුදල් නොමැති කමයි. මීට පෙර පැවති මැතිවරණවල දී ප්‍රධාන පක්ෂ ඔවුන්ගේ අපේක්ෂකයින්ට ඡන්ද කටයුතු සඳහා රුපියල් මිලියන ගණන් මුදල් ලබා දුන් නමුත් මෙවර එසේ මුදල් දීමට එම පක්ෂවලට නොහැකි වී තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණයේ වෙනුවෙන් කෝටි ගණන් මුදල් වියදම් කළ නිසයි. මැතිවරණ වල දී ව්‍යාපාරිකයන් ඇතුළු ධනවතුන් දේශපාලන පක්ෂවලට මුදල් ලබා දෙන්නේ ඔවුන්ගේ ආණ්ඩුවෙන් යම් යම් වාසි ලබා ගැනීමට ය. එහෙත් විපක්ෂයේ පක්ෂවලට මුදල් ලබා දිමෙන් පලක් නොමැති බව ඔවුන් දන්නා නිසා මෙවර පක්ෂ ගණනාවක් බරපතල මුදල් හිඟයකට මුහුණ දී සිටිනවා.
'දිනුවොත් දිනුවාවේ' ප්‍රතිපත්තියට අපේක්ෂකයෝ පල්ලම් බැහීම
මෙවර මැතිවරණ ව්‍යාපාරයේ දී පෝස්ටර්, බැනර් ආදිය ඉතාමත් සුළු වශයෙනු යි දකින්නට ලැබෙන්නේ. ඒ වෙනුවට බොහෝ අපේක්ෂකයින් ෆේස්බුක්, වට්ස්අප්, ටික්ටොක්, යූටියුබ් ආදී සමාජ මාධ්‍ය සිය ප්රචාරක කටයුතුවලට යොදාගෙන ඇති බවයි පෙනෙන්නට තිබෙන්නේ. පුවත්පත්වල මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් දකින්නට ඇත්තේ ඉතා සුළු වශයෙන්. රූපවාහිනී දැන්වීම් ද ප්‍රචාරය වන්නේ ද ඉතා අඩු මට්ටමකින්.
මේ මැතිවරණයේ දී ජාතික ජන බලවේගයට විශාල වාසියක් වී තිබෙන්නේ 'මාලිමාව' ට තරග කරන එම පක්ෂයේ අපේක්ෂකයින් අතර මනාප පොරයක් නොමැති වීමයි.
ජාතික ජන බලවේගය එක් මැතිවරණ කොට්ඨාසයකට අපේක්ෂකයින් දෙදෙනා බැගින් ඉදිරිපත් කොට ඇති අතර දිස්ත්‍රික් නායකයාට එක මනාපයක් හා එම අපේක්ෂකයන් දෙදෙනාට, අනිත් මනාප ලබා දෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ. එම පක්ෂයේ අපේක්ෂකයින් මේ නිසා මනාප ලබා ගැනීම සඳහා දිස්ත්‍රික්කය පුරා යන්නේ නැහැ.
කතිර ඉල්ලන ප්‍රචාරණය අඩුවෙලා - පැෆරල් රෝහණ
මේ අතර මහ මැතිවරණයට නාමයෝජනා බාරදී ඇති අපේක්ෂකයින් 8361 ක් අතරින් මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදෙන්නේ දහසකටත් අඩු අපේක්ෂකයින් පිරිසක් බව මැතිවරණ නිරීක්ෂක සංවිධාන පවසනවා.
අපේක්ෂකයන් විසින් මැතිවරණයට වැය කරන මුදල් ලැබෙන්නා වූ මූලාශ්‍ර හෙළිකළ යුතු නිසා, අපේක්ෂකයින් 7300 කට අධික පිරිසක් මෙවර මැතිවරණය කෙරෙහි උනන්දුවක් නොදක්වන, ප්‍රතිපත්තියක් අනුමතමනය කරන බවත් සාම්ප්‍රදායික පක්ෂවලින් නාමයෝජනා ලබා දී ඇති අපේක්ෂකයින්, බහුතරයක් 'දිනුවොත් දිනුවාවේ' යන ආකල්පයෙන් කටයුතු කරන බව පෙනී යන බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
මෙවර මැතිවරණයට ලබා දී ඇති සමස්ත නාමයෝජනා සංඛ්‍යාව 8888 ක්. එයින් 527 ක් ජාතික ලැයිස්තුව යටතේ නාමයෝජනා බාරදී තිබෙනවා.
මැතිවරණයට තරග කරන අපේක්ෂකයින් 8361 ක් පිළිගත් දේශපාලන පක්ෂවලින් ද, 3346 ක් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයින් ලෙස ද ඉදිරිපත්වී සිටින්නේ යැ යි ද රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළා.
මෙම අපේක්ෂකයින් සියලු දෙනා වෙනුවෙන් මේ වන විට පවත්වා ගෙන යන්නේ මැතිවරණ කාර්යාල 9291 ක් පමණයි. එහෙත් කලින්න පැවති වෙනත් මැතිවරණ සමයන් හි දී මහ මැතිවරණයක් වෙනුවෙන් කාර්යාල ලක්ෂ දෙක පමණ ස්ථාපිත කෙරී තිබුණා.
සාම්ප්‍රදායික පක්ෂවල ප්රචාරක කටයුතුවල විශාල පසුබෑමක් දක්නට තිබෙන බව ප්රජාතාන්ත්රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ අධ්යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළා.
මැති ඇමති වරප්‍රසාද කපා හැරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා - දිලිත්
එම පක්ෂ මැතිවරණ සඳහා මුදල් වියදම් කිරීම අවම මට්ටමකින් සිදු කරන බව නිරීක්ෂණය වෙන බව ද ගජනායක මහතා සඳහන් කළා.
මේ අතර ඉදිරියේ දී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ගේ වැටුප, තීරුබදු රහිත වාහන, වාහන බලපත්‍ර, ඉන්ධන දීඹනා හා දුරකතන ගාස්තු, නිවාස ආදි වරප්‍රසාද කපා හැරීම සඳහා, නීති සම්පාදනය කරන බවට ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ ආණ්ඩුවේ නායකයින් ප්‍රකාශ කරනවා.
එම ප්‍රකාශවලින් පසු මෙවර මැතිවරණයට තරග කරන බොහෝ අපේක්ෂකයින් තුළ මැතිවරණය කෙරෙහි පැවති උනන්දුව හීනවී ගොස් ඇති බව ඔවුන් ගේ කටයුතුවලින් පෙනී යන්නේ යැ යි දේශපාලන නිරීක්ෂකයින් පවසනවා.
මේ අතර සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා මැති ඇමතිවරුන් ගේ වරප්‍රසාද කපා හැරිය යුතු යැ යි පවසන අතර ඒ සඳහා තමා පාර්ලිමේන්තුවේ දී යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව මාතලේ පැවති මාධ්‍ය එම පක්ෂයේ රැස්වීමක දී පවසා තිබුණා.
ඡන්ද පෙට්ටිවල බර අඩුවේ ද?
මීට පෙර පැවති මැතිවරණවල දී බොහෝ ඇමතිවරුන් තමන්ට මැතිවරණය සඳහා වැයවූ මුදල් පියවා ගනු ලැබුවේ රජයෙන් ලැබෙන තීරුබදු රහිත වාහන බලපත්‍රය, වැඩි මුදලකට විකුණා ගැනීමෙන් හා, රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ටෙන්ඩර් සිය හිතවතුන්ට ලබාදීමෙන්.
ජාතික ජන බල ආණ්ඩුව යටතේ එවැනි දේ සිදුකිරීමට නොලැබෙන බැවින් බොහෝ දෙනා මැතිවරණ ව්‍යාපාරය සඳහා මුදල් වැය කිරීම සීමා කොට ඇති බව යි වාර්තා වෙන්නේ.
මේ අතර මැතිවරණ ගැන සාමාන්‍ය ජනයා තුළ පැවති උනන්දුව විශාල ලෙස අඩුවී ඇති බව ද පෙනී යනවා. බොහෝ දෙනාට දේශපාලනය හා මැතිවරණය ගැන කතා කිරීමෙන් වැළකී සිටිනවා.
පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින් ලක්ධ 35 ක් ඡන්දය පාවිච්චි කොට තිබුණේ නැහැ. මෙවර එම සංඛ්‍යාව තවත් වැඩිවීමට ඉඩ ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ අනාවැකි පළ කරන බව ද වාර්තා වෙනවා.
- ජගත් -