උණුසුම් පුවත්කාලීනදේශපාලන

ග්‍රාම නිලධාරීන් සටනකට සැරසේ

මාර්තු 03 වනදා ජ්‍ය පරිපාලනේ ඉස්සරහ නිහඬ විරෝධයක්

2007 වර්ෂයේ පැවැති තරග විභාගයෙන් සමත්ව, 2009 හා 2010 වර්ෂ වලදී බඳවා ගත් කණ්ඩායමේ ග්‍රාම නිලධාරීන් හට බඳවා ගැනීමේ සිට මේ දක්වාම සිදු කරන ලද අසාධාරණකම්, නොසලකා හැරීම හා ග්‍රාම නිලධාරී සේවයට හඳුන්වා දුන් නව සේවා ව්‍යවස්ථාවෙන් සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් නිහඬ විරෝධතා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ.

ඒ අනුව එළැබෙන මාර්තු 03 දා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට දී නිහඬ විරෝධතාවක් පැවැත්වීමට 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම විසින් තීරණය කර ඇත.

මේ සඳහා ග්‍රාම නිලධාරී වෘත්තීය සංගම් මෙන්ම පරිපාලන ග්‍රාම නිලධාරී සංගම් ද සහය දැක්වීමට තීරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යතුමා හා එම අමාත්‍යංශ ලේකම්වරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා වාර කිහිපයක් සිදු කළද නිශ්චිත හා සාධානිය පිළිතුරක් ලබා නොදී තවදුරටත් කල්මරමින් සිටින බවට ඔවුහු චෝදනා කරති.

2026 මාර්තු 02 දින වන විට ග්‍රාම නිලධාරී සේවයේ වසර 17 ක් සම්පූර්ණ කර ඇති දැනට සක්‍රීය සේවයේ සිටින ග්‍රාම නිලධාරීන්ගෙන් 25%කට ආසන්න සංඛ්‍යාවක් එනම් 2300 කට අධික නිලධාරීන් සංඛ්‍යාවක් මෙමගින් අසාධාරණයට ලක්ව ඇත.

නිශ්චිත සාධාරණ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයකට එළඹීමට ද 2009/2010 ග්‍රාම නිලධාරී කණ්ඩායම ලෙස වෘත්තිය සංගම තීරණය කර තිබේ.