උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

චම්මිගේ සිතිවිලි

සිංහල මුල් ගීතයේ ශීලාචාර පෙම්වතා වෙසරදු සුනිල් සාන්තයෝම ද...........

 

සංස්කෘතිය කියන්නේ මොකක්ද?
සම්මතය කියන්නේ මොකක්ද?
නවීනත්වය කියන්නේ මේ දෙකම නොසලකා හැරීමද?

මේක මා'තින් දිගට ලියවුනොත් ඔබට කියවීමට අවශ්‍ය නැතිනම් නොකියවා ඉන්න පුලුවන් . එය ඔබේ අයිතිය.

එහෙත් මම ලියනවා.කවදාක කාට හෝ අලුතින් යමක් හිතන්නට.....හිතාගෙන.

අපි අද කියවීමෙන් දුරස්ත වෙන්නේත් සිතීමෙන් දුරස්ත වෙන්නේත් ඒකත් නව සංස්කෘතික ලක්ෂණයක්ද?
නැතිනම් ඩිජිටල් සාහිත්‍යය සමග ඔවුන් ඉන්නා නිසාදැයි මම නොදනිමි.
එහෙත් යමෙකු කුමන සාහිත්‍යයක් සමග හෝ බැඳී ඉන්නේද ඔවුන් ඇත්තෙන්ම සහෘද හදවත් ඇත්තෝ සේම හදබස හඳුනන්නෝ ය.
සංවේදී බව දන්නෝය. සහකම්පනය දන්නෝ ය.
මේ කිසිවක් නූතන සමාජයට ඩිජිටල් අවකාශයට නැතුව තිබිය යුතු දේ නම් නොවේ. එයින් තොරව බිහිවෙන සමාජය ඉන්පසු හුරුවෙන්නේ රොබෝ සංස්කෘතීයට නොවේද?
ගූගල් අතික්‍රමණය කළ නව තාක්ෂණය මගින් කෘතිම බුද්ධිය හා ගනුදෙනු කරන්නා ඉන්පසු තම සකියා බවට පත්කර ගන්නේ එම සුතුරයි. එහිදී ඔහු තමන්ගේ සැඟවුණු මිනිස්කම් මතුකර එයට ස්තුති කරද්දී රොබෝ කියන්නේ මා ඔබට කළේ මට කියා දුන් කළ යුත්ත පමණි. ඒ නිසා එයට තුති ඇවැසි නොවන බවයි. පසුව ඔහුගෙන් ඒ ගුණය ඉවත් වෙයි. එහිදී ඔහු නතුවෙන්නේ රොබෝ
චින්තනයටයි. රොබෝ ඉන්පසු ඔහුගේ ඇවසිතා හඳුනා ගනී. දැනටත් අපි වචනයක් ලියන්නට පෙර අකුරු දෙක තුනක් ලියද්දී මේ මෙවලම අපිට ඇවැසි වචනය දෙන්නාක් සේ. අවසානයේ දී අපි පෙදෙන් පෙද අවනත වෙන්නේ, අපේ මානසික භූගෝලය සකසා ගන්නේ ඔහුට ඕනෑ ලෙසටයි.
මට මේ සියල්ල මතක් වුනේ පෙරදාක මා සුනිල් සාන්තයන් ගැන ලියූ සටහනට ඔබ එක්කළ බොහෝ අදහස් නිසා.
ඒවා තවත් කුළුගැන්වූයේ වසන්ත කුලතුංගයන් හා අමිත්ත වීරසිංහයන්ගේ මතවාද.

වත්මන් සමාජයේ වෙනස්කම් දකින මගේ සැත්තෑවියති මා සිත කිසිදාක නූතනත්වය පිටු දකින්නේ නැත.
එහෙත් ඒ යැයි කියා චාරයක් නැති දේ වැළඳ ගැනීමට නම් යාමක් නැත.
එසේ කිවයුත්තේ 1949 වෙද්දිත් නූතනත්වය තුළම අපිට අපේකම රැක ගන්නට සුනිල් සාන්තයන් කළ නිර්මාණශීලි මෙහෙයයි.
මගේ සිත ඒ කරා වඩාත් යොමු වූයේ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ඕසෙට කාන්තා රුව පදික වේදිකාවේ දමා අඟපසඟ විකුණනු දැකීමෙනුයි. එය කරන්නේ පුරුෂයින් වුවත් ඒවාට පෙනී සිටින්නේ ඒ උතුම් රත්නයක් කියූ කාන්තාවන්මයි.
එය කෙනෙකුගේ අවදි කරන්නේ සැඟවී ඇති සෞන්දර්ය රසය නොවේ. එය තොගේට එළිදැක්වීමෙන් මතුවන්නේ ඕලාරික වූ ජුගුප්සාව නොවේද?
එහෙත් එහිදී සුනිල්වාදී වසන්තයින් මතු කළේ සුනිළුන් තරම් කාන්තාවට ගෞරවය පිදූ තවත් කෙනෙක් ඇද්ද කියායි.
එය මෙතෙක් සුනිළුන්ගේ මතුකිරීම් දෙස බැලූ අය නොදුටු පැත්තක් නොවේද?
බොහෝ ගීතවල අපි දකින්නේ පිරිමියාට අවනත වූ කාන්තාව ගැන ලියවුනු ආදර හා විරහ ගීතයන් ය. එහිදී වැපිරී ඇති ආදරය හා විරහව යටින් දිවෙන්නේ ගැහැණිය විසින් පුරුෂයා හමුවේ කළයුතු දෑ පිළිබඳව නොකළ දෑ හා බලාපොරොත්තුවන දෑය. එය සෞන්දර්යවාදීව කරන ආක්‍රමණයක් නොවේද?
මෙහිදී මට මතක් වෙන ගී පද කීපයක් විතරක් කියන්නම්.
" ඉන්න බෑ මට ඉන්න බෑ"
"ඔබෙ උවණ මතක් වෙනවා"
"නළල ඇගේ අඩසඳ වාගේ
මිහිරි නොවෙද හදවත කාගේ"
"වෙලා මගේ සිත ඉනාවකින් තව
හිනාවෙයන් කළු හිනාවෙයන්"
"ළමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නැඟෙන තුරා"
"උනුසුම් පියා පතක සුවඳ
මට දැනෙයි"

"ඔබයි ගෙන ආවේ
මගේ ලොව වෙත
ඔබයි ගෙන ආවේ "

මේ හැමතැනකම ප්‍රේමවන්තිය කරන්නේ සේවා සපයන කිසියම් පාරිභෝගික ස්ථාවරයක රැඳවීමයි. නැතිනම් ඇණවුම ස්ථානගත කිරීමයි.
එහිදී ඇය කතානායිකාව හෝ ප්‍රේමයේ අභිසෙස් දරන්නිය නොවේ. එහිදී ඇය එයට නතු වියයුතු වන්නිය වන්නේ ය.

"දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම".
"සංවේගයෙන් දන්වා සිටිමි මා ඔබෙන් වෙන්වෙම්"
"ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර මැකී යනු මතකෙන්"
මේ ගීත බෙහෙවින් ශ්‍රාවක හද දිනූ ප්‍රබුද්ධ පේමනීය විරහවේ හද සැනහූ ඇසුමන් ය.
එහෙත් එහිදී ඇය සිටින්නේ පුරුෂයාගේ පසු පසිනි. සැළමුතු ප්‍රේමයට හෝ ගේහසික ප්‍රේමය සමග එහි ඇත්තේ දාතම රහිත ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදුන් අයෙකුගේ භූමිකාවයි.
අපේ බොහෝ ප්‍රේම හා විරහ ගීත ගැඹුරෙන් විමසද්දී පෙනී යන්නේ කිසියම් පුරුෂාධිපත්‍යයක සෙවණලි එහි වැටී ඇද්ද යන්නයි.
එහෙත් එම ගීත කිසිදු සමාජ අවභාවිතාවක් නොකරයි. එය එම රචකයන් තුළ ඉන්නා සංස්කෘතික මිනිසාගේ එක් පැතිකඩකි.
එය ඉතා අසීරුවෙන් මතු
කරගත හැක්කේ ඉතා ගැඹුරෙන් සුනිල් සාන්ත කියවීමට බඳුන් කිරීමේ දීය.
සුනිළුන් තරම් ම පරිසරය සිය ගීත වෘන්ද සඳහා උපභෝගී කරගත් තවත් එක් ගාන්ධර්වයෙක් ඇත්දැයි මම නොදනිමි. එහෙත් සියලු සරළ හා ශාස්ත්‍රීය ගායනවේදීන් තමන්ගේ ගායනාවලට හැකිතාක් පරිසරය යොදා ගැන්මට අමතක කොට නැත .

"ශීලාචාර පෙම්වතා...."

එහිදී පරිසරය විසින් මේ උතුම් මිනිසා ප්‍රේමය හා ගැහැණිය කොතරම් තම වසඟයට ගත්තේදැයි ඔහුගේ හැම ගීතයකින්ම පෙනේ. හේ ම රචනා කළ ගීත එහිදී අතිවිශේෂී වෙයි.
ඉන් පරිසරය හා බැඳෙන සිත සෞන්දර්ය විසින් සහකම්පනයෙන් පුරවාළනු ලබන්නේ ය. ඉන් මතුවෙන්නේ ස්නේහය,ප්‍රේමය සහ ආදරණීය බවයි. එයට කදිම නිදසුන් සුනිළුන්ගේ ගීත හරහා පැතිර පවත්නා කාන්තා නියෝජනයේ ආකර්ෂණීය ගරුත්වයෙන් පෙන්වවයි.
එහිදී වසන්ත තරයේ කියා සිටින්නේ සුනිල් සාන්ත යනු මෙරට ගීත කලාවට "ශීලාචාර ප්‍රේමවන්තයා මුල්ම වරට හඳුන්වා දුන් ප්‍රථමයා බවයි. ඒ ගැන විමසා බලද්දී ඔහු එසේ කරන්නේ එතෙක් ,
"දුටු දා ඉඳලා ලුහු බැන්දා දන්නවාද මම් පෙම් බැන්දා" කියන යුගයක සිට ය.
ඒ අනුව හතළිහ පණහ දශකයේ බොහෝ පෙම්වතුන් ප්‍රේමවන්තියන් සොයා ගොස් ඇත්තේ දඩයමයකටය. ප්‍රේමය සහ ආදරය පිලිබඳව කතා කිරීම හා ආදරය පිළිබඳව ගීත රචනා ගැයීම යහපත් මානව ධර්මයක් ලෙස නොසැලකූ සමාජයක ඒ පිළිබඳව සුනිළුන් තරම් පෙනී සිටියෙකු නැති තරම්‍ ය.
ඔහු ප්‍රේමාශක්ත වෙන්නේ ඇයට නිසි තැන දීමෙනි. මහෝෂධයන් -අමරාට ප්‍රේමය යෝජනා කිරීමට පෙරාතුව ඉසියුම් නිරීක්ෂණයක් කළා සේ ,
"සුරතලියේ ඹබ හදවත පතුළේ පෙම් මල කා සතුදෝ" දැයි විමසා
සිටියි.

ප්‍රේමයේ ප්‍රේමනීය අයිතිය.....!

එසේම කාන්තා අයිතිය පිළිබඳව මුලින්ම කතා කරන්නේත් සුනිලුන් ය.

"ඕලු නෙළුම් ඈ නෙක මල් පිබිදී, අහෝ, විලේ සිරියා,
ජය මැ මලක් ඉන් නෙළා ගනී ඕ හා හා කුමට ද ඒ
බාල ලියේ ඔබ ගේ සුහදාහට වෙද ඒ
සුරතලියේ ඔබ හදවත පතුලේ පෙම් මල කා සතු දෝ..."
එහි කිසිදු පුරුෂාධිපත්‍යයක් නැත. බල කිරීමක් නැත.
ඇත්තේ අයිතියට ගරු කිරීමකි. මල ඩැහැ නොගනී. නෙළා ගැනුමට පෙර හිමි අහිමි ස්වාධීනත්වය ලබා දෙයි. ආදරයේ දී යුක්ති ගරුක වෙන්නා ජීවන ගනුදෙනුවේදී කෙසේවත් අනෙකා සූරා කන්නේ හෝ රවටන්නේ නැත. එබැවින් කාන්තාවගේ අයිතිය ඔහු ගරු කළේ ය.
එය රැවටීමක් හෝ පරාද වීමක් හෝ යට වීමක් නොවේ.අයිතිය ගරු කිරීමේ මූලික මානව යුතුකම් ඉටුකරළීමකි.

ප්‍රේම පරාජය....

එසේම කාන්තාව ඉදිරියේ පරාජය භාරගන්නා මුල්ම ගීතානුස්මරණීය ප්‍රේමවන්තයා ද ඔහුය. ඔහුම රචනා කරන ජාතියේ ගීතයක් ලෙස ගැනෙන, "ඕළු පිපීලා " ගීතය එයට පුරා උවම් දෙයි.
"මා පරදිනවා ඔබගේ දෑතට මට ලජ්ජයි නංගෝ
හෙමිහිට හෙමිහිට නෙළමින් යමුකෝ,කලබල ඇයි නංගෝ"
ඔහු තමන් පරදින වග පමණක් නොව ඇයගේ හැකියාවද වනයි.
එහෙත් බොහෝ ගීතවල ඇත්තේ පෙම්වතා ජය ගැනීම හා පෙම්වතී සතුටු වීමය.

ප්‍රේමයට කිරුළු පැළඳවීම

ඔහු සිය පෙම්වතියට නොමසුරුව කීර්තිය ලබා දෙන්නට ලෝභ නොවෙයි. සිය ප්‍රේමයේ ගෞරවනීය සාටකය ඈ මත පැළඳවීමෙන් ඇය ලබන සතුට ඔහු සිය සංස්කෘතික මිනිසාගේ භූමිකාවෙන් විඳියි.
" සදා ගතොත් සරස්වතී වගේ පෙනේ."
"මෙවන් පිටිසරේ දුගී පැලේ
කැළෑ මල ඔබයි"

තම පෙම්වතිය හෝ බිරිඳ සිය තන්හි තබා සළකන පෙම්වතෙකු කෙසේ නම් එවන් පෙමක විත්තිකරුවෙකු හෝ පැමිණිළි කරුවෙකු විය හැකිද?
එහිදී සුනිළුන් තමා පමණක් නොව අනිකුන් අය ලවා පද බැඳගත් ගීතාවලියෙන්ද ප්‍රේමයේ ආශ්වාදජනක බව හද සෙනේහය මතින්ම උපදනා බව පසක් කරගෙන සිටියේ ය. එයම ඔහු ලෝකයාට බෙදා දුන්නේ ය.ඒ අනුව ඔහු රොමැන්ටික් ප්‍රේමයේ හිමිකරු ප්‍රේමවන්තයා ය. එසේ නොවන්නට පුරා වසර දහනවයක් සිය සංගීතයෙන් දුරස්තව සිට ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ සංගීතයට "රෝමියෝ ජූලියට්" සිනමා පටයට එකවරම පටිගත කෙරෙන්නට 'My Dreams ' නොගයනු ඇත.

ගේහසික ප්‍රේමවන්තයා..

එහිදී සුනිල් ශාන්තයින් තරම් කාන්තාව හා පුරුෂයා බැඳෙන ප්‍රේමය දිව්‍යමය හද බැඳීමක් බවට පත් කළ කෙනෙක් නැති තරම් ය.
සතා සීපාවා වටාපිටාවට ආදරය කරන්නාට තවත් අයෙකුට ආදරය පිදිය හැකිය.
ඒ වෙනුවෙන් 'බර්නාඩ් ෂෝ ' කීවා සේ ප්‍රේමවන්තයාට කළ නොහැක්කක් නැත.
එසේ ගෞරව කරන්නා පෙරළා ඒ බුහුමන ආදරයෙන් ලබයි.
එය ලබන්නට පෙම්වතා ප්‍රේමයෙන් අන්ධ නොවිය යුතුය . එසේ නොවන්නට ඔහු පතිනිය ලීලාවන් නොවන්නට ඉඩ තිබුණි.
ප්‍රේමයේ කිරුළු දරන්නට ඉන්නා ක්ලේබරයන් හුදු මස් වැද්දියන් සේ සමාජ මාධ්‍ය කොක්කේ තමන්ම එල්ළෙද්දී සුනිළුන් දුටු ඒ උතුම් ප්‍රේමයද අපිට සොයා ගැනීමට සිදුව ඇත.
එසේ නොවන්නට ප්‍රේමයේ තථ්‍ය බව සොයා යන මිනිසත් කමට වන්දනා කරන මිනිසුන්ට සුනිළුන් වෙනුවෙන් රැයිපියෙල් තෙන්නකෝන් සූරීන්ගේ "කුකුළු හැවිල්ල" වෙනස් කරවා අලුතින් ගණ පිහිටුවා ගයන්නට සිදුවෙනු ඇත.
ඒ "ශීලාචාර ප්‍රේමවන්තයා":ට සේම අනික් ශීලාචාර ප්‍රේම සමාගම්වලටද කරන උපහාරයක් වශයෙනි.

අපි ප්‍රේමනීය වෙමු.
ප්‍රේමයට හද පත්ළෙන් ආදරය කරන්නා වු...

චම්මින්ද වෙලගෙදර