උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසාහිත්‍යය හා කලාව

චම්මින්ද ගේ ලියවිල්ල

මට නම් 'ආදරය' යන්න සත්‍යය ප්‍රේමයක් උණේ ඉස්සර විතරක්ද ?

යෙදී තිබුණු වැඩ වලින් ලද ඉස්පාසුවෙන් දුවගෙන ආවේ ගමට. මා උපන් ගමට. තාත්තත් අම්මගෙත් සුවඳ එක්ක මතක සටහන් තවමත් අපේ පෝෂණයටම තියා ගිය මහ ගෙදර. සුසන්ත නොහිටින්නට ගෙදර ආ ගමන්ම මට වෙන්නේ කලිසම් කොටයක් ගහගෙන ගේ සුද්ද කරන්න. ඒ දරුවාට පින් සිදු වේවා. අම්මත් තාත්තත් ඉන්නා දොහක මෙන් ඔහු ගේ වාසයට සකස් කරලා. නොනවතී වැටී ගිය මහවැහි වූ දුවන වැසි වී ඉහළට අරගත්තු තණකොළවලින් වත්ත අඩක් වගගෙන. හීංවට උදා එළිය නිකුල කන්ද මුදුනින් එද්දී ගහ කොළ මත්තේ රැදුණු පිනි කැට දිළිහෙමින්. ගහ කොළ නොසෙල්වී ඉන්නේ ආචාර පෙළපාලියක ඉන්න හේවායන් වගේ. හීං හිමිදිරියෙම ලොරිවල පටව ගත්තු බූතයෝ ගේ පැත්තෙන් වෙල්යායට යනවා. භූත කියන්නේ තිබෙන නැත්නම් ඇති කියන එකට. අද්භූත කියන්නේ ගුප්ත නැත්නම් අස්පර්ශනීය කියන නොපෙනන අල්ලන්න බැරි දේට. ඒත් ගොයම් කපන යන්ත්රයට ගොවියෝ කියන්නේ භූතයෝ ,සුනාමි කියලා. ඒකත් අර පෞද්ගලික බස්වල මැද ආසනයට 'බල්ලා සීට්' කීවා වගේ. ඒකට බල්ලා සීට් කියන්නේ ඒක තියෙන්නේ ඒ සත්තුන්ට කියන එක නොවේ. ඒත් ඒ වගේ වැඩ කරන අයත් ඒවායේ යනෙන අය අතර ඉන්න පුළුවන් . හැබැයි ඒ වචනේ ඊට වඩා අරුත්බරයි.පාරේ නිදාගන්න බල්ලන් හරි කැමතියි. ඒ පාරේ රෂ්ණෙට. ඉතින් එයාල එහෙම පුංචි "නැප්" එකක් දාගන්න ආවට වාහනයක් යද්දී නැගිටින්න වෙනව. ආයේ ආයේ ඒක උනත් ඔවුන් නිදා නොගෙන නෑ ඉන්නේ. දැන් ඔබට වැටහේවී අර හකුළන දිගෑරෙන කාලකුත් නොවූ භාගයකුත් නොවූ අසුනට ඇයි ඒ යෙදුම ආවේ කියලා ඒ අසුනේ වාඩි වෙන අයෙක් ඔහුට පස්සේන් කෙනෙක් බහිද්දී වගේම පස්සට යද්දිත් හැගිටින්න ඕනෑ. භූත,සුනාමිත් ඒ වගේ ගැමිවහරට අලුතින් එක්වු යාන්ත්රික කාර්මික වචන දෙකක්. භූතයන්ට හුඟාක් වැඩ ඉක්මනින් කරන්න පුළුවන්. මේ යන්ත්රයත් ගොයම කපනවා, සුද්ද කෙරෙනවා,ගෝනිවලට පුරවනවා. වැඩ ගොඩක්. ඉක්මනින්.ඒ භූතයා වූ බූතය. සුනාමි ආවේ මුළු පැත්තක්ම විනාශ කරගෙන. සුද්ද කරගෙන. ඒ දෙවන අරුතින් මේ යන්ත්රය පැය ගාණකින් විශාල බිමක ගොයම් කපා පාගා දෙන නිසා. ඒ යායම සුද්ද කරන නිසා. දැන් නිකුල කන්දෙන් ආව අව්රැල්ල කෙමෙන් කෙමෙන් දෑත් දෙපා දිගෑරමින්.මලේ පාර අයිනේ උස වහළ මතට වැටුණු අව්ව මගේ දොරකඩටම ඇවිත් පාන්දර අවුළවපු හීතළ පළවා හරිමින්. මට තාත්තගෙයි අම්මගෙයි සොහොන් කොත් පේනවා. කාලෙකින් පස්සේ එයාල දෙන්න ඊයේ රෑ ආලෝකය යට. ජෝතිව මතක් වෙනවා, "පහන් ටැඹ යට සොහොන් කොත මුළ" ඒත් මගේ අම්මටයි තාත්තටයි ජෝති කියනවා වගේ ඉකි බිඳින්න දෙයක් නෑ. ඔවුන් ඉන්නා තැනක සතුටින් ඇති. තාත්තගේ මතක භූතයන් හා සුනාමි යටකරගෙන මතු වෙනවා. මං ඔයාගේ කාලේ ගොඩක් නෑ ගන්නේ මේ හිමිදිරියේ. හෙට ලියන්නම් ඒ මතක. ඒත් මං දැන් ඉන්න මතකය තියේද දන්නේ නෑ. ක්ෂණ භංගුරයක් පාසා මේ චිත්තයා වෙනස් වෙන නිසා.ඒත් පිහිටුව ගත්තොත් 'සතිය'මට පුලුවන් වේවි ඔබට එය කියන්න. සතුටින් ඉන්න. ගමේ මතක සුන්දරයි. එයින් වත්මන රූපවත් වෙන නිසා. ආදරණීයව දවස දිහා බලන්න ඔබට සුව සවිය.

ඇත්තටම ආදරේ දැනෙන දොහක් !

සත්ත්‍යයක් නම් ආදරේ ඇයි ඇත්තටම ආදරේ දැනෙන්න කියා මං කියන්නේ.

මට නම් 'ආදරය' යන්න සත්‍යය ප්‍රේමයක් උණේ ඉස්සර විතරක්ද කියල වෙලාවකට හිතෙනවා. සිසිරයන් ඒක වෙන්නැති එදා ආදරේ තිබුණා කියා තියෙන්නේ.

"පිදුරු සෙවිකළ පැල්පතේ ඇති

සාමේ නැත මහ මන්දිරේ.......

මෙහි තිබේ හොද ආදරේ"

ඒක ඇත්ත. ඉස්සර අපේ ගමේ තිබුණෙත් පොල්ලතු ,පිදුරු හෙවිලි කරාපු ගෙවල්. අපේ ගෙදරත් ඉස්සර පොල්ලතු. පස්සේ ටකරන්.

දැන් මෙහේ පිදුරු තියා පොල්ලතු ගෙයක් නෑ හොයා ගන්න.

ඒත් වෙනදට වැඩියෙන් මෙදා නෑ මා දුටුවේ ආදරේ කියන එක.

ඒක හුඟාක් වේගයෙන් පැණ ගිහින් වාගේ.

ගම පුරාම අපූරු ගෙවල් ටිකක්. ඒක හරී සතුටක් ආයෙත් සිසිරයන් සිහිවෙනවා.

"සාමෙ නැත

මහ මන්දිරේ''

මං අහල තිබුනේ ගොයම් කරළ් නැමෙන්නේ හුළඟට නොවේ කියලා. ඒත් අද හුඟාක් දෙනෙක් මානයෙන් හා ඊරිෂියාව නිසා කෙලින් වෙලා. ඒත් එයාල නොදන්නා දේ තමයි එයාල නැවිච්චි ඇත්තෝ කියලා.

අනේ ඒ උතුම් ගම. ඔබේ ගමෙත් එහෙම නොවෙන්න බෑ.

මොකද අපි ඔක්කොම ආගම් අදහන අයනේ.

වර්තමානයේ පමණක් මා  ජීවත් උනත් අතීතයේ සිතුවිලි සදාතනික සුන්දර බවක් ගෙන එන බවයි දැනෙන්නේ.

ඒ නිසා වත්මනේ ගමේ ඇතෑම් දේ දිහා බලා හිත පාරවා ගන්නවාට වඩා ගිලී යටවෙන අතීතය සිහිනයක් සේ දකින්නට සිතීමත් පිනක් කියා දැනෙන්නේ මට පමණක් ම විය නොහැකිය.

මා ඊයේ කීවා 'භූත,'

 ' සුනාමී ' ,  යටකර ගෙන තාත්තගේ මතකය මා සොයා එනවා කියා.

බාන් තුන හතරක් එක් කුඹුරකට දානවා කියන්නේ ඉතා සුන්දර දසුන් පෙරහැරක්. දෙහීය හාල තියෙන කුඹුරක පෝරු ගාන්න එකා පිට එකා සිල්ගත් (සමාදන් නොවූ) අය බිම බලාන යන්නාක් වාගේ මී හරකුත් ඔහේ යනවා. ඒ නිසා අද මිනිස්කම් කුඩාවෙලා අපේ ගෙවල් ලොකු වෙලා වගේ මීමුන්ගේ ගොමත් එක්ක සරු වු බිම  නැති වෙලා ට්‍රක්ටර වලින් පෙරෙළන මඩවෙන පසින් ඉහෙන වී ඇටවලින් රසායනික පොහොර හුරු කරපු බිත්තර වී වලට රසායනික බේතුත් පොහොරත් අහර කරදී යළි භූතාවේෂයෙන් තැළී පොඩිවී යන කුඹුරු යායෙන් එදා යාතිකාවක් වාගේ ඇහුණු අඬහැරයේ ඕසේ නෑ දැන් ඇහෙන්නේ.

මුළු යායම එකනින් නාද වී සෙත් කවියක් වාගේ ගලා ගිය අම්මාවරුන්ගේ නෙළුම් කවි, ගොයම් කවි අද නෑ ඇභෙන්නේ.

ඒවත් එක්කම අපේ හිත්වලින් දැනෙන,කකියන අපේ

දුරස්ත වෙලා වගේ දැනෙන්නේ.

හාල පෝරුගාලා කැට පාගල කිවුල යන්න ඇළ තියලා හදපු වප්පත් ,මඩ තියා බඳින නියරවල් වෙනුවට බේත් ගහලා වල් මරපු නියරවල් වලින් ලියද්ද පුරා අඟළට පිරෙන් 'අස්නං' රැඳවීමක් නැති කුඹුරුවලින් භූතයා කපා හූරා දෙන වී ඇට සුදුසු වෙන්නෙම 'අගස් මංගල්‍යයේ' කිරිඅහර පූජාවට නොව හුසේන් මුදලාලිගේ වී කඩේටමයි.

ඒ නිසා මගේ ගමේ අද මුහුණු පොතේ මුහුණු පෙන්වන දරුවන්ගේ හිත්වලින් ' කොළඳින්' තබා 'වටමළුව', 'ගොයම් කොළය','කමතේ කාරී' කියන දේවල් "ඩිලීට්" වෙලා ගිහින්.

ඒ දේවල් පිළිබඳව දුක් වෙන්න දෙයක් නෑ. ඒ තමා කාර්මික සංවර්ධනය සමග නැතිවී උප සංස්කෘතිය . හරියට 'සුපර් මාකට්' එකක් ඇරෙද්දී ඒ අසල තිබුණු පොළ වගේම සිල්ලර කඩේ වැහෙනවා වගේ.

ඒත් අදටත් එදා තිබූ සුන්දර සිදුවීම් වටා පිටාව ජනකවියක් වගේ හිතට දැනෙනවා.

උදේ ගිහින් ගම්ගොඩේට අල්ලලා තිබුණු මහකමත උදළුගාලා සුද්ද කරල එන තාත්තා මට මැවිල පේනවා. ඒක කරන්නේ දේව කාරියක් කරනව වගේ පේවීමකින්. ඉන්පස්සේ ඉරගල වැටෙන යාමෙට කමතට යන තාත්තා කමත මැද්දේ හක් ගෙඩියකුත් යකඩයකුත් තියල අළුවලින් "අළු යන්තරය" අඳින්නේ  පිරිත් කියමින්.ඒ අතරේ එක එක රූප සටහන් . ඒ  බහිරවයගෙනුයි කොහොඹයාගෙනුයි බැතේ රැකගන්න. එහෙම කරන්නේ "හා හා පුරා" අත්පුඩි තුනක් ගහල  බහිරවයාගේ නෝනටත් කතා කරල. ඒක එහෙමද නැත්නම් ඒ සෙත් යැදිල්ල ආරක්ෂා දැහැන කරන යාමේ කමතට එන අය නිහඬ කරවා හැමෝගෙම අවධානය එක පැතුමකට ගන්නය කියා මට දැන් හිතෙන්නේ. ඉන්පස්සේ තාත්තා හොයම් කොළෙන් ගත්ත ගොයම් උප්පිඩක් කමතේ හදපු ලොකු රුප්පාවක රඳවනවා. ඒ උසට මේ කොළේ බැතේ වඩින්න කියන එකයි එදා ඒ අහිංසක තාත්තලාගේ පැතුම උනේ. ඊට පස්සේ තාත්ත හරි කොළදිමට ආව මාම  කෙනෙක් ගිය කන්නේ 'මැඬුවන්'වලින් දිගට දිගේ 'වෙණියක්: අඹරලා කමත වටේ එළනවා. ඒ තමා පිට බිමින් කමත් බිම වෙන්කරගන්නා සීමාව.

ඒ ඇතුළේ උන්දැලෑ හැසිරෙන්නේ පන්සල ඇතුළේවාගේ. නැත්නම් ශ්‍රීපාදේ කරුණාකරද්දී වාගේ කටකමසෙය්යාව පරිස්සම් කරගෙන. ඒක ඉන්පස්සේ යහන් මඬුවක් වගේ අම්මලාට(බවලතුන්ට) ඒම තහංචි.

ඔය වෙද්දී කළින් කීව මාමල ,බාප්පල අත්තල කමතට ඇවිල්ලා. මට මතක ඉස්සෙල්ලා ම එන්නේ හීං මාමයි,ජේමිස් බාප්පයි. බැතේ කඩන්නේ පිරිත් කියමින් සමහරු ඒකට කොහොඹා පිරිත නැත්නම් යාදින්න කියලත් කියනවා.තාත්තා පළමු උප්පිඩ හිසේ තියාගෙන අර අළු චක්‍රය වටේ යනවා. මොනවදෝ මුමුණමින්. අනික් අය නිහඬව බලන් ඉන්නව. පස්සේ පස්සේ මීමුන් 'ඇහැ'වෙලා (වඳ වෙලා) ට්‍රක්ටර් වලින් කොළ පාගන්න ගත්තයින් පස්සේ ඒ ඒ  පූජා විධි නැති වෙලා ගිහින්. මාස ගාණක් කමතේ ගොඩ ගහල තිබුණු වටමළු දහයක් පහළොවක වටමළුව කඩද්දී එක වතුර බිංදුවක්වත් ඒක ඇතුළට ගිහින් වී ඇට තෙමලා නෑ. එදා උන්දැළෑ ඒ ශාස්ත්‍රය විද්‍යාව අත්දැකීමෙන් පළපුරුද්දෙන් දැන හිටියා. පළමු වටය කොළේ කැඩුවායින් පස්සේ මුලින් ආස වෙන පස්සෙ පස්සේ හැංගෙන්න හිතෙන රාජකාරිය තමයි ගොන් ගැහිල්ල. ඒ කියන්නේ 'කළාතේ' (ගොයම් උඩින් යන මීමුන් ) උඩින් මී ගොන් දැක්කිල්ල. කෝටුවක් අතට ගත්තට ඒකෙන් උන්ට තට්ටු කරනවා විනා පහර දීමක් නෑ කෙරෙන්නේ. මුදුනාටනම් කොහොමත් ගහන්නේ නෑ. උන් දක්කද්දී භයානකම වැඩේ එකතැනම කැරකෙන මුදුනා වෙණිය  ගහනවදැයි බැලිල්ල. ඒ කියන්නේ එයාගේ කකුල්වලට ගොයම් එතෙන එක. ඒක ටිකක් හරි හොඳයි. එයාල ගොම දාන්න ගියාම ඒක බැතේට නොවැටෙන්න බේර ගැනිල්ලයි අමාරුව. ඒකෙත් අමාරුව උන් බෙටි නොගහ එක දිගට වක්කරන්න ගන්නෙක .ගොයම් කොළවලින්ම ඒක අරන් එළියට දාන එක.

පුංචි අපිට සුන්දරම වැඩේ කමතේ තියෙන වටමළු දෙකක් මැද්දේ කෝටු තියල හදන සෙල්ලම් ගේ. මට මතක් වෙන්නේ එදා මාත් එක්ක හිටිය සමරේ,කුලේ,සුගතේ, පේමය්යලා. අපි බලන් ඉන්නේ රෑ වෙනකම්. ඒ අම්මලා ගේන ඇඹුළ කන්න නොවෙයි. රෑට කමත හතර වටේ පත්තුවෙන පැට්‍රල් ලාම්පුවල එළිය දකින්න. හැමදාම දුටුව කුප්පි ලාම්පු, චිමින් ලාම්පුවට වඩා ඒ එළිය හරි සුන්දර බැබළීමක් වටාපිටාව පුරාම පතුරුවනවා. එතකොට එච්චර වෙලා කමත පුරා නටල 'කාටු ' ගෑවිලා ඇඟ කසන එකත් අමතක වෙනවා. රෑට කෑවයින් පස්සේ අපිට අර සෙල්ලම් ගේම නින්ද යනවා.තාත්තලා කොළපාගල ඉවර වෙන්නේ පාන්දර යාමේ. ඒ අතරේ උන්දැලෑගෙන් ඇහුණු සුන්දර කතා තවමත් මට යමක් ලියද්දි අනුපාන වෙන අවස්ථා බොහොමයි.

මන් මේක කෙටියෙන් ලියන්නේ නැත්නම් ඔබේ හිතේ මං කෙරේ "මේක දිගයි" කියන චෝදනාවෙන් මිදෙන්න.

සමහරක් දවස්වල අපිට ඇහරෙන්නේ අම්මා උදේට කමතට හීළ ගෙනාවයින් පස්සේ. හුඟාක් වෙලාවට ඒක කිරිබත්. අම්මට උදව්වට හුඟාක් වෙලාවල ඉන්නේ තල්ගොඩපිටියේ නැන්දම්මා.

තාත්තා කටු මානත්තෙන් මැඬුවන් කොට අයින් කරලා බැතේ පාහින්න ගනිද්දි මර්තේලිස් බාප්පයි,

සෝමසිරි බාප්පයි. හුළං කපාගෙන ඉහළ පහළ යන කුළු දෙකෙන් ඇහෙන්නේ  අහසේ පාවෙන හුළං රූවන්ගෙන් මතුවෙන හඬමයි.

මං හිත පුරා ගලාගෙන ගිය ඒ රූප අතරින් ඇස් දෙක හරිද්දී ඔබ දවසේ වැඩ පටන් අරගෙන ඇති.

තවත් භූතයෙක් කර තියාගත්තු පරණ ලොරියක් ආගිරි ගා ගෙන යනවා. ඒ පස්සේ භූතයා එනකම් බලා හිටිය කීප දෙනෙක්ම පස්සෙ වැටිලා.

ඒ අතරේ බැතේ මනින තාත්තගේ හඬ මට ඇහෙනවා. ඒ හඬ පොඩි දරුවෙකුට කතා කරන්නා වාගේ. කාර්තුවක් පුරවලා බැතේ "අටායි" කියමින් ගෝනියට දාද්දී කවදාවත් නවය කියන්නේ නෑ.

"අට හොඳාආආආයි  " යන්න දහවන කාර්තුව දාන තෙක් දිගටම කියනවා.

අපේ තාත්තගේ ඒ හඬ මට ඇහෙන්නේ,

සෝමසිරි,මර්තේලිස් ,

ජේමිස් බාප්පලාගෙයි, හීං මාමගෙහි, මහත්තය සිරිසේනගෙයි රෑප කායන් අතරින්.

ඒ රූප අද නාමයන් විතරයි.

"රූප ගොත්තං හීරතී

නාම ගොත්තං නජීරතී"

මම ඒ මතකත් එක්ක මාව පෝෂණය කළ එදා ඒ සුන්දර ගම පුවක්පිටියෙන් යළිත් මා පෙරළා සෙයිලමට යා යුතුය. එය කයින් යන ගමනකි තබා සිත ඒ සොඳුරු අතීතයේ.

 දිග වැඩියි කියා දොසක් දකින්න එපා.

පරේ වේගෙන් යන සෙනඟ සේනාව ඒ වේගෙන් වැඩ කළානම් ලංකාව කොතනක තියේවිද?

ඉතින් සුදොවුන් පිය දොහක්  !

 චම්මින්ද වෙලගෙදර .

15-03-2025.