ජනපතිවරණය සැප්තැම්බර් 28 ? ඔක්තෝම්බර් 05 ?
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් මස 17 වැනි දාත් ඔක්තෝම්බර් 16 ත් අතර කාලය තුළ පැවැත්විය යුතු බවට මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 09 වන දා නිවේදනය කළා.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය නොවැම්බර් 17 වැනි දායින් අවසන් වන බැවින් ඊට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් වාර්තා වෙන්නේ ජනාධිපතිවරණය මේ වසරේ සැප්තැම්බර් 28 හෝ ඔක්තෝම්බර් 05 දා පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.
ජනපතිවරණ වියදම කෝටි 1000 කට වැඩිවේවි ද?
මෙවර ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා පසුගිය අයවැයෙන් රුපියල් කෝටි 1000 ක් වෙන් කොට ඇති බවත් අවශ්‍ය වුවහොත් තවත් මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.
ජනාධිපතිවරණය පවත්වන දින වකවානු මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රචාරක මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම ආරම්භ වී තිබෙනවා.
පොහොට්ටුවත් වැඩට බහී
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ප්‍රථම මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පෙරේදා එනම් 10 වැනි දා බත්රමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ දී විවෘත කළා. චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු නායකයින් හා පාක්ෂිකයින් විශාල පිරිසක් මේ අවස්ථාවට සභාගි වී සිටි බවයි වාර්තා වෙන්නේ.


මේ හැර මැතිවරණ ප්‍රචාරක කාර්යාල ශ්‍රී ලංකාවේ සෑම ඡන්ද කොට්ඨාසයක ම පිහිටු වීමට යන බව පොදු ජන පෙරමුණේ නායකයකු වන හිටපු ඇමති එස්. එම්. චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළා. එමෙන් ම ආසන මට්ටමින් පක්ෂ සම්මේලන පැවැත්වීමට ද එම පක්ෂය කටයුතු යොදා ඇති අතර එහි ප්‍රථම ආසන සම්මේලනය මැයි 26 වැනි දා කලාවැවකොට්ඨාසයේ දී පක්ෂ නායකයින්ගේසහභාගිත්වයෙන් පැවැත්වීමට යන බව ද චන්ද්‍රසේන මන්ත්‍රීවරයා කියා සිටියා.
මේ අතර සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ද දැනට ප්‍රාදේශීය වශයෙන් සිදුකර ගෙන යන ප්‍රචාරක කටයුතු වේගවත් කිරීමට පියවර ගෙන ඇතැ යි වාර්තා වෙනවා.
දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් අට දෙනකු ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන බව මේ වන විට ප්‍රකාශ කොට තිබෙනවා.
තමන් ජනාධිපතිවරණයට තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනකුට හා මාධ්‍යවලට පවසා ඇතත් ඔහු ඒ බව මෙතෙක් පුසිද්ධියේ ප්‍රකාශ කර නෑ.
රේස් එකට අස්සයෝ දැනට 8 ක්
ඒ හැර සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක, හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවරධන මහතා ගේ මුනුබුරකු වන ඉෂාන් ජයවර්ධන යන මහත්වරු ද ජනාධිපතිවරණයට තරග කරන බව ප්‍රතාශ කොට තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (මෛත්‍රී පිළෙන්) අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට ඇති නමුත් විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ තමා තවමත් ඒ ගැන තීරණයක් ගෙන නොමැති බව යි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවල කැබිනට් ඇමතිවරයකු වශයෙන් කටයුතු කළ අභාවප්‍රාප්ත පී. බී. ජී. කලුගල්ල මහතා ගේ දියණිය වන නීතිඥ ඉන්දිරා කලුගල්ල මහත්මිය, තමා ද ජනාධිපතිවරණයට තරග කරන බව පසුගිය සතියේ පුවත්පත් දැන්වීම් පළ කරමින් කියා සිටියා.
කෙසේ වුව ද දේශපාලන විචාරකයින් ප්‍රකාශ කරන්නේ ජුනි මාසයේ මැද භාගය වන තුරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පිළිබඳව නිගමනයකට පැමිණිය නොහැකි බවයි.
ඇප මුදල ලක්ෂ 31 ක් නිසා අපේක්ෂකයින් ගණන අඩුවේවිද ?
මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති අපේක්ෂකයින් සඳහා වන ඇප මුදල රුපියල් ලක්ෂ 31 ක් දක්වා ඉහළ දමා තිබීම නිසා මෙවර බොහෝ දෙනා ඉදිරිපත් වීමෙන් වළකිනු ඇතැ යි කොමිෂම අපේක්ෂා කරනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය බදාදා ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් ලබා දුන් තීන්දුවෙන් පසු පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වී ඇති මන්ත්‍රී ධුරයට, සමගි ජන බලවේගයෙන් නියෝජිතයකු පත්කිරීමේ නිත්‍යානුකූල භාවය පිළිබඳව ප්‍රශ්න ගණනාවක් පැන නැගී තිබෙනවා.
ඩයනා ගමගේ මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසි කාන්තාවක නොවන බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇයට මන්ත්‍රී ධූරයක් දැරීම තහනම් කරමින් තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පසුගිය මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ ඕෂල හේරත් මහතා විසින් පෙත්සමක් ගොනු කොට තිබූ අතර මෙය විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඩයනා ගමගේ මහත්මිය තමන් ශ්‍රී ලංකාවේ පුරවැසියකු බව ඔප්පු කිරීමට අසමත් වී ඇති බැවින් ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කරමින් තීන්දුවක් ලබා දුන්නා.
මේ පිළිබඳව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවේ ඩයනා ගමෙග් මහත්මිය ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බැවින් ඇය ලේකම් ධූරය දැරූ පක්ෂය සමගි ජන බලවේගයට පවරා දීම ද නීත්‍යානුකූල නොවන බැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ මන්ත්‍රී ධුර පිළිබඳව ද ප්‍රශ්නයක් ඇති වීමට ඉඩ ඇති බවයි.
ඩයනා ගමගේ මහත්මියගේ සැමියා වන සේනක ද සිල්වා මහතා පෙරේදා (10) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහුගේ ප්‍රධානත්වයෙන් පැවති 'අපේ ජාතික පෙරමුණ' නම් පක්ෂය සජිත් ප්‍රේමදාස මහතා වෙත පැවරූ අන්දම විස්තර කළා.

2020 මහා මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩයමට තරග කිරීම සඳහා පක්ෂයක් අවශ්‍ය වූ විට අපේ ජාතික පෙරමුණ ඔවුන්ට පවරා දුන්නා" යැ යි ද සේනක සිල්වා මහතා ප්‍රකාශ කළා.
මෙහිදී ඔහු පක්ෂය සජිත්ට පවරා දෙමින් ඇතිකර ගත් ගිවිසුම මාධ්‍යවේදීන්ට පෙන්නුවා. එහි අපේ ජාතික පෙරමුණේ සභාපති වශයෙන් ඔහු ද ලේකම් වශයෙන් ඩයනා ගමගේ මහත්මිය ද අත්සන් කොට තිබුණා.
ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන කෙනකු ලේකම් ධූරය දරණ පක්ෂයක් පවරා ගෙත එය සමගි ජන බලවේගය නමින් මැතිවරණයට ඉදිරිපත් වී ජයගෙන මන්ත්‍රී ධූර ලබා ගැනීම ද නීතිවිරෝධී නොවන්නේ දැ යි සේනක ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියා.
මෙහිදී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට තම පක්ෂයේ දුරකතනය ලකුණින් තරග කිරීමට කිසිසේත් ම ඉඩ නොදෙන බවයි.
තමා සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් හා මන්ත්‍රී ධූරයෙන් නෙරපීමට එම පත්ෂය විසින් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් පෙරේදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාගයට ගනු ලැබු අතර ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ හා මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එය යළි 28 වැනි දා කැඳවන ලෙස නියම කළා.
මේ අතර ඩයනා ගමගේ මහත්මිය විදේශගත වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය 09 වන දා තහනම් නියෝගයක් ද නියම කළා. ඒ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට ඇය විසින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවට ලැබී ඇති පැමිණිල්ලක් අනුව යි.
සිකුරාදා පැවති මාධ්‍ය හමුවේ දී ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ තමා මාතර කැකණදුර උපත ලැබූ කෙනකු බවයි. තම පියා බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් විවාහ කරගෙන ඇති බව පැවසූ ඇය සිය බ්‍රිතාන්‍ය පුරවැසි බව ගැන කිසිවක් සඳහන් කළේ නෑ.
කෙසේ වුව ද ඩයනා ගමගේ මහත්මියගේ සිද්ධිය ඉදිරියේ දී තව දුරටත් අධිකරණය හමුවේ ඇදී යන තත්ත්වයකු යි පෙනෙන්නට තිබෙන්නේ.
ජුනි 02 දා ජාතික සම්මේලනයක් පවත්වන බව චන්ද්‍රිකා පිළේ වැඩ බලන ලේකම් දුමින්ද කියයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය තහවුරු කරගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා මහතා ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම එම පක්ෂයේ ජාතික සම්මේලනයක් පැවැත්වීමට කටයුතු කරගෙන යනවා.

එම සම්මේලනය ජුනි 02 වන දා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට යි තීරණය කොට තිබෙන්නේ.
දිවයින පුරා සිටින පක්ෂ නියෝජිතයින් හා කාන්තා මෙන් ම තරුණ සංවිධාන හා ශිෂ්‍ය සංවිධායකයින් මෙයට සහභාගි කරවීමට කටයුතු යොදා ඇතැ යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළා.
පක්ෂයේ අනාගත වැඩපිළිවෙල පිළිබඳ යෝජනා ගණනාවක් ද මෙහි දී සම්මත කර ගැනීමට යන බවද ඔහු සඳහන් කළා. පක්ෂ සම්මේලනය සාර්ථක කර ගැනීම සඳහා මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකයින්, දිස්ත්‍රික් මට්ටමින් මේ දිනවල කොළඹට කැඳවා සාකච්ඡා කරගෙන යන බව ද දුමින්ද දිසානායක මහතා පැවසුවා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ සිවිල් අභියාචනා මහාධිකරණයට පෙරේදා (10) පෙත්සමක් ගොනුකොට තිබෙනවා.
කොළඹ දිසා අධිකරණය මෛත්‍රීපාල සිරිසේන මහතාට පනවා ඇති මෙම අතුරු තහනමි නියෝගය මැයි 28 වන දා තෙක් දීර්ඝ කරනු ලැබුවා.
එම අතුරු තහනම් නියෝගය නිකුත් කොට තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව යි.
මෙම අතුරු තහනම් නියෝගය විසුරුවා හරින ලෙද ඉල්ලා සිරිසේන මහතා මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත්තේ පෙත්සම ඉදිරිපත් කළ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා වගඋත්තරකරුවකු කරමින්.
මේ තත්ත්වය යටතේ මෛත්‍රී පිළට ජනාධිපතිවරණය අවසන් වනතුරුත් පක්ෂ අයිතිය ගැන විසඳුමක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
ජගත් සතියේ සටහන ලියමින් සිටිය දී මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ පුවතක් අහන්නට ලැබුණා. ඔහු ඉවත් වූ පසු වැඩ බලන සභාපතිවරයා සේ පත්කර ගෙන හුන් විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (මෛත්‍රී පාර්ශ්වයේ) සභාපතිවරයා සේ පත්කර ගෙන ඇත්තේ කෝට්ටේ හෝටලයක පැවති විධායක සභා රැස්වීමෙදී බව යි වාර්තා වුණේ.
