රනිල් + බැසිල් හමු වූ අටවතාවෙහි ම මහ මැතිවරණය කලින් පවත්වන්නැ යි බැසිල් කළ ඉල්ලීම ඉටුවේද?

සන්ධානවලින් තොරව රාජ්‍ය බලය සිහිනයක්!
ශ්‍රී ලංකාවේ දේශපාලන උණුසුම දිනෙන් දින ඉහළ යන්නේ ජනාධිපතිවරණයට ඇති දින ගණන ළංවෙමින් පවතින නිසයි. සෑම ප්‍රධාන පක්ෂයක් ම තවත් පක්ෂ සමඟ සන්ධානගත වී තරග කිරීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා.
ඩිලාන් ගේ අනාවැකිය?
එහෙත් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වෙනඇති බවට ද දේශපාලන අංශ අතර මේ දිනවල කතාබහක් යළි ඇරඹී තිබෙනවා. ආණ්ඩු පක්ෂයේ සිට සිය ස්වාධීන වී දැන් සමගි ජන බලවේගයට එක්වී සිටින ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පසුගිය සතියේ තදින් ම ප්‍රකාශ කළේ ආණ්ඩුව ඉක්මණින් ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට සූදානම් වන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට 8 වතාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කොට ඇති අතර ඒ සෑම වතාවකදී ම ඔහු අවධාරණයෙන් ඉල්ලා ඇත්තේ පාර්ලිමෙන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස යි.
ඔහු ඒ සඳහා හේතු වශයෙන් දක්වා ඇත්තේ ජනාධිපතිවරණයකට ගියොත් රනිල් වික්‍රමසිංහ මහතාට ජයගත නොහැකි බවයි. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුව හොත් කිසිදු පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට තරම් ආසන සංඛ්‍යාවක් ලැබෙන්නේ නැතැ යි ද එනිසා පක්ෂ ගණනාවක් එකතු කර ගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට තිබෙනවා. එවැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවා එහි මන්ත්‍රීවරුන් ගේ ද සහාය ඇතිව ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකි බව ද බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබුණා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැසිල් රාජපක්ෂ මහතා ගේ මේ යෝජනාවට මුල් අවස්ථාවේ දී ම ප්‍රතික්ෂේප කළා. එහෙත් හමුවන හෑම අවස්ථාවක දී ම බැසිල් රාජපක්ෂ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කිරීම නිසා දැන් ජනාධිපතිවරයා ඒ ගැන කල්පනා කරමින් සිටින බවයි ජනාධිපති කාර්යලයීය ආරංචි මාර්ග පවසන්නේ.
දැනට රටේ පෙනේනට තිබෙන තත්ත්වය අනුව සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය ඉදිරියෙන් ම සිටිනවා.පසුගිය දිනවල සිදුකළ සමීක්ෂණවල දී මැතිවරණයකට ගියහොත් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සමගි ජන බලවේගයට 40 % ද ජාතික ජන බලවේගයට 30 % ක් ද ලැබෙණු ඇතැ යි දන්වා තිබුණා. පොදුජන පෙරමුණට 10 % ක් ද එක්සත් ජාතික පක්ෂයට 05 % ක් ලැබෙණු ඇති බවට ද එම සමීක්ෂණ ප්රතිඵලවල සඳහන් වූ බවයි වාර්තා වන්නේ.
එහෙත් මහ මැතිවරණය දිස්ත්‍රික් මට්ටමින් සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව පැවැත්වෙන බැවින් පොදුජන පෙරමුණට ආසන 60 ක් පමණ ද, එක්සත් ජාතික පක්ෂයට ආසන 30 ක් පමණ ද ලැබෙනු ඇතැ යි පොදුජන පෙරමුණ ගණන් බලා ඇති බව ද දැනගන්නට තිබෙනවා.
එසේ වුවහොත් අනෙකුත් කුඩා පක්ෂ එක්කර ගෙන හා සමගි ජන බලවේගයෙන් ද මන්ත්‍රීවරුන් පිරිසක් එකතු කර ගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දී ඇති බව ද පැවසෙනවා.
රනිල් එන නොඑන එක සමීක්ෂක කණ්ඩායම් දෙක අතේ ? ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වා ඉන්පසු පැවැත්වෙන මහ මැතිවරණයෙන් 10 ක් සමඟ ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත්, ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දිය යුතු බවත් මුල හිටම පවසා තිබෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු කණ්ඩායම මේ වන විට නිශ්ශබ්දව සිටින බව ද දැන ගන්නට තිබෙනවා. දැන් ප්‍රසන්න ඇතුළු කණ්ඩායම ද ප්‍රථමයෙන් මහ මැතිවරණය පැවැත්වීමට එකඟත්වය දක්වා ඇති බව යි දැනගන්නට තිබෙන්නේ.
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ සමීක්ෂණයක් කර රටේ තත්ත්වය ගැන තමාට වාර්තා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය මාර්තු මාසයේ දී ප්‍රකට සමීක්ෂණආයතන දෙකකට පවරා ඇති අතර ඒවායේ වාර්තා ලබන ජූලි මස මුල් සතියේ දී ජනාධිපතිවරයාට බාරදීමට නියමිත බවයි පැවසෙන්නේ.
ඒ සමීක්ෂණ ප්‍රතිඵල අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් අතරින් පළමු වැනි හෝ දෙවැනි තැනට තමා තේරී නොමැති නම් ජනාධිපතිවරණයට තරග නොකිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කොට ඇති බව ද ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.
එසේ වුවහොත් ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය කලින් පැවැත්වීමට කටයුතු කරනු ඇතැ යි ද ඒ ආරංචි මාර්ග සඳහන් කළා.
මහ මැතිවරණයක් පවත්වා තනිව ආණ්ඩුවක් පිහිටුවීමට කිසිදු පක්ෂයකට ප්‍රමාණවත් ආසන සංඛ්‍යාවක් නොලැබුණොත් කුඩා පක්ෂ හා අනිකුත් පක්ෂවලින් ද මන්ත්‍රීන් එක්කර ගෙන ජාතික ආණ්ඩුවක් බිහිකොට එම ආණ්ඩුව මඟින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් පාර්ලිමේන්තුවෙන් සම්මත කොට විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතින බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. එසේ වුවහොත් එම ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් පත්වීමට රනිල් වික්‍රසිංහ මහතාට අවස්ථාව තිබෙන බව ද ඔවුන් පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඉදිරි මැතිවරණය සඳහා සංවිධාන කටයුතු ශක්තිමත් කරගෙන යනවා.
පොදුජන පෙරමුණේ මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා විලී ගමගේ
පොදුජන පෙරමුණේ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් පසුගිය දා බත්තරමුල්ල ජයන්තිපුර ප්‍රදේශයේ දී විවෘත කරනු ලැබුවා. සෑම මැතිවරණ කොට්ඨාසයක ම ආසක සංවිධායකයින් හා ක්‍රියාකාරීන් සම්බන්ධ වන පරිගණක 160 කින් යුත් පරිගණක ජාලයක් ද එහි පිහිටුවා තිබෙනවා.
මෙහෙයුම් කාර්යාලයේ ප්‍රධානියා සේ කටයුතු කරන්නේ දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ මහතා යි.
මේ අතර පොදුජන පෙරමුණ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට යන රැස්වීම් මාලාවේ ප්‍රථම රැස්වීම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව අසනයේ තලාව නගරයේ දී මේ මස 26 වැනි දා පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙන අතර එම රැස්වීම පැවැත්වෙන්නේ පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන්. පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව මහින්ද රාජපක්ෂ මහතා අවස්ථා කීපයකදී ම පැවසුවා

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොදුජන පෙරමුණට ජනාධිපති අපේක්ෂකයතු නැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීම එම පක්ෂයේ නායකයින් ගේ අදහස බවත්, ඔවුන් පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කවුදැයි හෙළි නොකරන්නේ ඒ නිසා බවත් දැනගන්නට තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන්නේ කම් ඔහුට ආධාර කිරීම ප්‍රකාශ කිරීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වෙන්නේ.
එහෙත් යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ නම් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කිරීම ගැන පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නායකයින් පසුගිය දිනවල සාකච්ඡා කළ බව දැනගන්නට තිබෙනවා. ධම්මික පෙරේරා මහතා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද වන අතර පසූගිය මැයි දිනයේ දී ඔහුට පොදුජන පෙරමුණ වේදිකාවේ ඉදිරි පෙළ අසුනක් හිමිව තිබුණා. එමෙන් ම බත්තරමුල්ලේ ෙපාදුජන පෙරමුණු මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ දී ද ඔහුට කැපී පෙනෙන ස්ථානයක් හිමිව තිබුණා. තමා පක්ෂය කියනවා නම් ජනාධිපතිවරණයට තරග කරන්නට සූදානම් බව ධම්මික පෙරේරා මහතා අවස්ථා කිහිපයකදී ම මාධ්‍යවලට ප්‍රකාශ කළා.
ඒහෙත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කරන්නේ නම් තමා ඉදිරිපත් නොවන බව ද ඔහු පවසා තිබුණා.
-------------------------------
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර දේශපාලන තත්ත්වය සහ ඔවුන් ගේ පක්ෂවල ආර්ථික ප්‍රතිපත්ති ගැන ප්‍රසිද්ධ විවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් මාස දෙකක පමණ කාලයක සිට දෙපාර්ශ්වය අතර වචන හුවමාරු සිදුවන නමුත් එම විවාදය නම් පැවැත්වෙන බවක් පෙනෙන්නට නැහැ.
මෙම විවාදය සඳහා පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයට අභියෝග කළේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතායි.
ඔහු පැවසුවේ පක්ෂ දෙකේ ආර්ථික විශේෂඥයින් අතර මෙම විවාදය පැවැත්විය යුතු බවයි. එහෙත් ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම විවාදය පක්ෂ දෙකේ නායකයින් අතර සිදුකළ යුතු යැයි යෝජනා කළා.
නොකෙරෙන විවාදයක් ද සජිත් V/S අනුර?

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා මේ විවාදයට ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වෙන බව පැවසීමත් සමඟ විවාදය පිළිබඳ කතාබහ උණුසුම් වුණා.
පසුව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සාමාජික නලින්ද ජයතිස්ස මහතා විවාදය සඳහා දිනයක් ද නම් කළ නමුත් සජිත් ප්‍රේමදාස මහතා කලින් යොදා ගත් වැඩ සටහන් තිබෙන බැවින් එම දිනවල විවාදයට පැමිණිය නොහැකි බවත මේ අතර තමා විවාදයට බය නැති බවත් පැනලා යන්නේ නැති බවත්, ඒ නිසා විවාදයට සූදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා පාසල්වලට සුහුරු පන්ති කාමර ලබාදීමේ උත්සව ගණනාවක දී ස පවසා තිබුණා.
ඉන්පසු ජාතික ජන බලවේගය විවාදය සදහා සජිත් ප්‍රේමදාස මහතාට මැයි මස දෙවැනි සතියේ දින 4 ක් ලබා දී එයින් ඕනෑම දිනයක ඕනෑම වෙලාවක විවාදයට පැමිණීමට අනුර කුමාර දිසානායක මහතා සූදානම් බව දැනුම් දුන්නා. මැයි මස 20 වැනි දාට පෙර සජිත් ප්‍රේමදාස මහතා විවාදයට නොපැමිණිය හොත් ඔහු විවාදයෙන් පළා ගිය බවට සළකන්නේ යැ යි ජාතික ජන බලවේගයේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රේමදාස මහතාට ලිපියක් මඟින් දැනුම් දී තිබුණා.
එම දිනය මේ මස (20) අවසන්. සජිත් ප්‍රේමදාස මහතා හෝ සමගි ජන බලවේගය දැන් ඒ ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවයි පෙනී යන්නේ. මේ අනුව පෙනී යන්නේ අනුර - සජිත් විවාදය කවදාවත් සිදු නොවන එකක් බවයි.
