උණුසුම් පුවත්සතියේ සටහන

ජගත් ගේ සතියේ සටහන – 20

රනිල් ගේ නිහඬ හැසිරීමෙන් පොහොට්ටුව අවුලක / ෆොන්සේකා යුද අත්දැකීම් ගැන පොතක් ලියලා

තමන් ජනාධිපතිවරණයට තරග කරනවා ද නැද්ද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙ‌තෙක් ප්‍රකාශ නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අර්බුදයකට මුහුණ පා ඇතැ යි නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.

යම් හෙයකින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කළ

හොත් පෙදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට වෙනවා. පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට යි. ඒ නිසා ඔවුන් පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු නම් කොට නැහැ.

පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුදැ යි එම පක්ෂයේ මැති ඇමතිවරුන් අවස්ථා කිහිපයකදී ම පක්ෂ නායකත්වයෙන් විමසා තිබුණා. ඔවුන්ට ලැබී තිබූ පිළිතුර නම් පක්ෂයේ අපේක්ෂකයා යථා කාලයේ දී පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනය කරනු ඇති බවයි. එහෙත් මේ ගැන ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඔවුන්‌ට දන්වා තිබුණා.

 

 

 

 

මේ අතර ආණ්ඩුවේ කැබිනට් හා රාජ්‍ය ඇමති තනතුරු දරණ සියලු දෙනා ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට තිබෙනවා. ඇමතිවරුන් වන ප්‍රසන්න රණතුංග, එස්. එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, වෛද්‍ය රමේෂ් පතිරණ හා රාජ්‍ය ඇමතිවරුන් වන රංජිත් සියඹලාපිටිය, ෂෙහාන් සේමසිංහ, අරුන්දික ෆ්‍රනාන්දු, සීතා අරඹේපොළ මහත්ම මහත්මීන් ඒ අතර වෙනවා.

පසුගිය බදාදා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා විසින් බත්තරමුල්ල වොටර්ස් එජ් හෝටලයේ දී ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් වෙනුවෙන් හමුවක් සංවිධානය කොට තිබුණා.

 

 

 

 

 

 

 

 

ප්‍රසන්න රණතුංග සමඟ කංචන විජේසේකර, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ද මෙයට සහභාගි වූ බවක් වාර්තා වුණා.

ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දී සියලු දෙනා රනිල් වික්‍රමසිංහ මහතා ජයගුණයට කරවීමට කටයුතු කළ යුතු බවයි.

ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ සහාය රනිල් වික්‍රමසිහ මහතාට අවශ්‍ය නම්, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ඔහු මුලින් ම ප්‍රකාශ කළ යුතුව ඇතැ යි රාජ්‍ය ඇමතිවරුන් ගණනාවක් ම මෙහි දී පවසා තිබෙනවා.

සීතා අරඹේපොළ රාජ්‍ය ඇමතිනිය  ද රනිල් වික්‍රමසිංහ මහතා ඔහු ජනාධිපතිවරණයට එනවාද නැද්ද යන්න මුලින් ම හෙළිකළ යුතු බව පැවසූ විට ප්‍රසන්න රණතුංග හා  මහින්දානන්ද අලුත්ගමගේ මහත්වරුන් පවසා ඇත්තේ ජනාධිපතිවරයා ස්ථිර වශයෙන් ම ඒ සඳහා තරග කරන බවයි.

මේ සාකච්ඡාවේදී මැති ඇමතිවරුන් දැක්වූ අදහස් ජනාධිපතිවරයාට දැනුම්දීම ප්‍රසන්න රණතුංග හා කංචන විජේසේකර යන ඇමතිවරුන් භාරගෙන තියෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල විවිධ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම ආදී උත්සව සඳහා රටපුරා සංචාරය කරන බව ද පෙනෙන්ට තිබෙනවා.

සිකුරාදා ජනාධිපතිවරයා යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා රුපියල් කෝටි 42 ක් වැය කොට තැනූ සායනික පුහුණු හා පර්යේෂණ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල විවෘත කළ අතර ඊයේ (25) කිලිනොච්චිය දිස්ත්‍රක් රෝහලේ රුපියල් කෝටි 532 ක් වැය කොට ඉදිකළ කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා  මධ්‍යස්ථානයක් ද විවෘත කරනු ලැබුවා.

මේ අතර යාපනය රෝහල ජාතික රෝහලක් බවට පත්කිරීමට පියවර ගන්නා බව ද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවා.

මේ අයුරින් ම ජනාධිපතිවරයා පසුගිය සතියේ මඩකළපුවේ උත්සව ගණනාවකට ද සහභාගි වුණා.

උතුරු නැගෙනහිර මෙන් ම ඊට පෙර මධ්‍යම පළාතේ වතුකරයේ ද උත්සව රැසකට සහභාගි වූ ජනාධිපතිවරයා ගේ මෙම සංචරවල අරමුණ ඉදිරි ජනාධිපතිවරණයේ දී උතුරු නැගෙනහිර හා වතුකරයේ දෙමළ ජනයාගේ ඡන්ද ලබා ගැනීම විය හැකි යැ යි දේශපාලන විචාරකයින් පවසනවා.

මෙයින් පෙනී යන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට තරග කරනු ඇති බව යැයි ඔවුන් පෙන්වා දෙනවා.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනයක?    

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සඳහා නාමයෝජනා බාර ගැනීමට  පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට යන බවට ද රාවයක් පැතිර යනවා.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එක දිනයක දී පැවැත්වීම ද ජනාධිපතිවරයාගේ අරමුණ බව ද දැන ගන්නට තිබෙනවා.

ජනාධිපතිවරණය හා මහ මැතිවරණය එකම දිනයක පැවැත්විය හැකි බව මීට පෙර මැතිවරණ කොමිෂන් සභාව ද ප්‍රකාශ කොට තිබුණා.

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී කුමක් කරන්නේ ද, කුමන පක්ෂයකට සහාය දක්වනවා ද යන්න පිළිබඳ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, හිටපු ඇමතිවරයකු වන රොෂාන් රණසිංහ යන මහත්වරුන් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීම පිළිබඳව මේ දිනවල සාකච්ඡා කරගෙන යන බව වාර්තා වෙනවා. ඔවුන් ඒ පිළිබඳව මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවිර මහතා සමඟ ද පසුගිය සතියේ සාකච්ඡා කොට තිබෙනවා.

දැනට උත්තර ලංකා සභාගයේ සිටින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, අතුරලියේ රතන හිමියන් ගේ විජය ධරණි ජාතික සභාව මෙයට සම්බන්ධ කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වූ බව ද ආරංචි මාර්ග සඳහන් කරනවා.

නිදහස ජනතා සභාවේ ඩලස් අලහප්පෙරුම, මහාචාර්ය චරිත හේරත් හා පොදුජන පෙරමුණේ ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් ද මෙම සන්ධානයට එක්කර ගතයුතු බව ද මෙහිදී සාකච්ඡා වූ බව ද දැනගන්නට තිබෙනවා.

මෙම නව සන්ධානය පිහිටුවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් මේ සතියේ කොළඹ දී පැවැත්වීමට කටයුතු කරගෙන යන බව ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසුවා.

එහෙත් මෙවර ජනාධිපතිවරණයට නව සන්ධානයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ගැන තවම තීරණයක් ගෙන නැති බව ද ඔහු කියා සිටියා.

පුවත් මවන ෆොන්සේකා

සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මේ දිනවල පුවත් මවන්නකු බවට ප්‍රසිද්ධ වී සිටිනවා. ඔහු මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් තරග කිරීමට යන බවට පැතිර යන ආරංචි නිසයි ඒ.

පෙරළිකාර චරිතයක් වන සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ද සහාය ඇතිව 2010 ජනාධිපතිවරණයට තරග කළ නමුත් පරාජයට පත්වුණා. ඉන් පසු ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංධානය නම් පක්ෂයෙන් 2015 මහ මැතිවරණය‌ට ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ නමුත් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට හැකිවුණේ නෑ.

පසුව ඔහු එක්සත් ජාතික පක්ෂයට එක්වූ අතර එක්සත් ජාතික පකෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ෆොන්සේකා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කොට ඔහුට යහපාලන ආණ්ඩුවේ ප්‍රාදේශීය සංවර්ධන ඇමති ධූරය ද ලබා දුන්නා.

පසුව එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමඟ මතභේද ඇතිකර ගත් සරත් ෆොන්සේකා මහතා 2020 මහ මැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග කොට ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු වශයෙන් පත් වූ අතර සජිත් ප්‍රේමදාස මහතා ෆොන්සේකා මහතා පක්ෂයේ සභාපති ලෙස ද පත්කළා.

දැන් ඔහු සමගි ජන බලවේගය සමඟ ද ආරවුල් ඇතිකර ගෙන තිබෙනවා. පසුගියදා හිටපු යුද හමුදාපතිවරයකු වන දයා රත්නායක මහතා සමගි ජන බලවේගය ට බඳවා ගැනීම ගැන ෆොන්සේකා මහතා ප්‍රසිද්ධියේ ම නායකත්වය විවේචනය කිරීම කිරීම නිසා ඔහුට විනය ක්‍රියාමාර්ග ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. එයින් පසු සරත් ෆොන්සේකා මහතා කොළඹ දිසා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තමා පක්ෂයේ සභාපති ධූරයෙන් හා පක්ෂ සාමාජිතකත්වයෙන් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් ලබා ගත්තා.

ඒ අතර සමගි ජන බලවේගයේ කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක දී කතා කිරීමට ඔහුට අවස්ථාව ලැබුණේ නෑ. පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාවලට ද ඔහු සහභාගි කර නොගැනීමට සමගි ජන බලවේගය කටයුතු කොට තිබුණා.

සරත් ෆොන්සේකා ගෙන් යුද්ධයේ අත්දැකීම් කියන පොතක් ඉංග්‍රීසියෙන්

මේ අතර සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී දීර්ඝ වේලාවක් සාකච්ඡා කළ බව ද වාර්තා වුණා.

ඒ හැර ඔහු ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය, චීන තානාපතිවරයා හා ඉන්දීය මහ කොමසාරිස්වරයා ද හමු වූ බව දැන ගන්නට තියෙනවා.

සරත් ෆොන්සේකා මහතා ඔහු යුද්ධය මෙහෙය වූ අන්දම හා එහිදී ලැබූ අත්දැකීම් අළලා ඉංග්‍රීසි භාෂාවෙන් පොතක් ලියා ඇති බවත් එය මේ දිනවල සරසවි ප්‍රකාශන ආයතනය මඟින් මුද්‍රණය කරමින් පවතින බවත් වාර්තා වෙනවා. එල්ටීටීඊ ය පරාජය කිරීම සඳහා ඔහු ක්‍රියාත්මක කළ යුද උපක්‍රම හා ඒවාට අදාළ මෙතෙක් පළ නොවූ යුද සිතියම් සිය ගණනක් ද මෙම පොතට ඇතුළත් වන බව ද දැනගන්නට තියෙනවා.

සිංහල පරිවර්තනයකුත් එක්ක ලබන ම‌හේ එළි දකී

ඔහු ගේ මෙම ග්‍රන්ථය මේ දිනවල සිංහලයට පරිවර්තනය කරගෙන යන අතර ජුනි මාසයේ දී පොත් දෙක ම උත්සවාකාරයෙන් එළි දැක්වීමට ෆොන්සේකා මහතා තීරණය කොට ඇති බවත් එහිදී තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවත් ඔහුට සමීප ආරංචි මාර්ග පවසනවා.

ෆොන්සේකාට මන්ත්‍රීවරු සෙට් එකක් සෙට් වෙයි ද!

සජිත් ප්‍රේමදාස මහතා කෙරෙහි කලකිරී සිටින සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් පිරිසකගේ හා ආණ්ඩුවේ සිට ස්වාධීනවී සිටින මන්ත්‍රීන් ගණනාවකගේ සහාය ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටින බව ද ෆොන්සේකා මහතා සිය සමීපතමයිනට පවසා තිබෙනවා.

    තිස්ස ගෙ කපුකම හරියාවි ද?

මේ අතර සරත් ෆොන්සේකා මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පවතින විරසකය සමථයකට පත් කොට ඔහු යළි පක්ෂයේ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට හා ෆොන්සේකා මහතා විසින් පක්ෂයට විරුද්ධව පවරා ඇති නඩුව ඔහු ලවා ඉල්ලා අස්කර ගැනීම සඳහා සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා කටයුතු කරගෙන යන බව ද වාර්තා වෙනවා.

  -  ජගත්  -