''තව ටිකක් බලමු" මහින්ද බැසිල්ටයි, නාමල්ට යි ධම්මිකට යි කියයි සභාතොමෝ නොසතුටින් විසිර ගිහින්
මුළු රට ම බලා සිටි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙන දින හා නාමයෝජනා බාර ගැනීමේ දිනය මේ සතියේ 25 හෝ 26 හෝ දිනවල දී මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග පවසනවා.
එහි උසස් නිලධාරියකු අප හා පැවසු අන්දමට බොහෝ දුරට මේ මාසයේ 25 වැනි බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඉඩ තියෙනවා.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාවට බලතල රැසක් ලැබෙනවා. මෙම කාලය තුළ රජයේ නිලධාරීන් ගේ හා පොලිස් නිලධාරීන් මාරු කිරීම, රජයේ ආයතන හරහා දේශපාලන කටයුතු සිදු කිරීම, මුළුමනින් ම තහනම් වෙනවා. එසේම රජයේ ආයතන මඟින් ජනතාවට නොමිලයේ භාණ්ඩ, ආහාරද්‍රව්‍ය බෙදා දීම ද මැතිවරණ පනත අනුව තහනම්.
තවද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනවල පැවති 'උරුමය' ඉඩම් ඔප්පු ප්රදානය හා රජයේ මහල් නිවාසවල පදිංචිකරුවන්ට ඒවා සඳහා සින්නක්කර ඔප්පු ලබාදීම සහ රජයේ රැකියා සඳා තෝරාගත් අයට පත්වීම් ලිපි පිරිනැමීම ද මේ සතියේ සිට නතර කොට ඇති බව ද වාර්තා වෙනවා.
ජනාධිපතිවරණය පැවැත්වීමේ වියදම් සඳහා භාන්ඩාගාරය විසින් රුපියල් කෝටි 1000 ක මුදලක් මැතිවරණ කොමිෂන් සභාවට වෙන් කොට ඇති අතර එයින් රුපියල් කෝටි 60 ක් වැය වෙන්නේ රජයේ මඟින් ඡන්ද පත්‍රිකා ඇතුළු වෙනත් ඡන්ද ලියවිලි මුද්‍රණය කිරීමට බවයි දැනගන්නට තිබෙන්නේ.
මැතිවරණ නිරීක්ෂණය එන නියෝජිතයින්ට අවසර
මේ අතර මෙවර මැතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයෙන් සහ පොදුරාජ්‍ය මණ්ඩලයෙන් නියෝජිත පිරිස් එන බවත් ඒ සඳහා අවසරය ලබා දී ඇති බවත් පවසන මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂන සංවිධාන කිහිපයකට අවසර ලබා දීමට බලාපොරොත්තු වන බව ද පැවසුවා.
෴෴෴ ෴෴෴ ෴෴෴
මේ වන විට ජනාධිපතිවරණට තරග කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් ම තමන් ගේ අපේක්ෂකයින් නම් කොට ඇති නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, තරග කරනවා ද නැද්ද යන්න තවමත් ප්‍රකාශයට පත් කොට නොතිබීම හේතුවෙන් ඔහුට සහාය දීමට ඉදිරිපත් වී සිටින පොදුජන පෙරමුණේ අයි වික්ෂිප්ත වී සිටින බව යි වාර්තා වෙන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ හා පොදුජන පෙරමුණේ රනිල් හිතවාදී කණ්ඩායම් විසින් ''එක්ව නැගිටිමු" තේමාව යටතේ පවත්වන රැස්වීම් මාලාවේ මීළඟ රැස්වීම ජූලි 27 වැනි දා ගාල්ලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන බව ප්රසිදධියේ ප්‍රකාශ කිරීමට යන බව සිරිකොත ආරංචි මාර්ග පවසනවා.
රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර වශයෙන් ම ජනාධිපතිවරණයට තරග කරන බවත්, ඔහු ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් නොව සියලු පක්ෂවල පොදු අපේක්ෂකයකු වශයෙන් බවක් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරනවා.
ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට පොදුජන පෙරමුණේ ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, වෛද්‍ය රමේෂ් පතිරණ, මහින්දානන්ද අලුත්ගමගේ ආදි විශාල පිරිසක් ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය හා අනුර ප්‍රියදර්ශන යාපා හා නිමල් ලංසාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය ද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ ද දැනටමත් ඉදිරිපත්වී සිටිනවා.
නිල වශයෙන් ප්‍රකාශ නොකළ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාර කටයුතු ද සති කිහිපයකට පෙර ආරම්භ කෙරුණා. බම්බලපිටියේ ලොරිස් පටුමඟ, කොල්ලුපිටියේ ගාලු පාර හා කොළඹ හත මල් පාරේ ඔහුගේ ප්රචාරක කාර්යාල ගණනාවක් ක්‍රියාත්මක වෙනවා.
''මේ වෙලාවේ රනිල් තමයි" යනුවෙන් සඳහන් පෝස්ටරයකින් රනිල් වික්‍රමසිංහ මහතා ගේ පෝස්ටර් ව්‍යාපාරය පසුගිය 18 වැනි දා පටන් අරම්භ කොට තිබෙනවා. ඔහු වෙනුවෙන් කාර්යාල ගණනාවකින් සමාජ මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය මඟින් ප්රචාරක ව්‍යාපාරය දැනටමත් සිදුවෙන අතර ඒවා සම්බන්ධීකරණය කරන්නේ 'ආර්චනා' නම් තරුණියක්. ඇය ප්‍රසන්න රණතුංග මහතා ගේ දියණිය යි.
ජනාධිපතිවරයාට සහාය දක්වන නව සන්ධානයේ අනුර ප්‍රියදර්ශන යාපා සහ නිමල් ලංසා යන මහත්වරු පොදුජන එක්සත් පෙරමුණ යළිත් සක්‍රිය කොට එහි ඡන්ද ලකුණ වන පුටුවෙන් රනිල් වික්‍රමසිංහ තරග කළ යුතු බවට යෝජනා කොට ඇති බව ද පැවසෙනවා. එහෙත් ජනාධිපතිවරයා එයට පිළිතුරක් දී නැහැ.

ජනපති අපේක්ෂක "ඩමි"
මේ අතර මෙවර ජනාධිපතිවරණයට ප්‍රධාන පක්ෂවලින් 'ඩමි'අපේක්ෂකයින් කිහිප දෙනකු ද ඉදිරිපත් කිරීමට යන බවත් වාර්තා වෙනවා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා ගේ සහායට නව සන්ධානයේ ප්‍රධානියකු වන සිරිපාල අමරසිංහ හා සුගත් හේවාපතිරණ යන මහත්වරුන් තරග කිරීමට යන බවට ද දැන ගන්නට තිබෙනවා. එක් ජනාධිපති අපේක්ෂකයකුට දිස්ත්‍රික්ක 22 සඳහා ම ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට නියෝජිතයින් පත් කිරීම ඇතුළු පහසුකම් රාශියක් හිමි වෙනවා. මෙය ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයින්ට වාසිදායක වන්නේ එම අපේක්ෂකයින් ගේ ඡන්ද නියෝජිතයින්වශයෙන් තම නියෝජිතයින් වැඩි ගණනක් පත් කර ගැනීමට ඉඩ කඩ සැලසෙන නිසයි. සමගි ජන බලවේගය ද මේ අයුරින් 'ඩමි' අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව ද වාර්තා වෙනවා.
ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී තම මන්ත්‍රී ධූරය රැක ගැනීම සඳහා පොදුජන පෙරමුණේ සහ ඉන් ඉවත්වී ස්වාධීන වූ මන්ත්‍රීන් පිරිසක් ජනාධිපතිවරණ සටනේ දී ඉදිරියෙන් ම සිටින බව පැවසෙන සජිත් ප්‍රේමදාස මහතා ගේ සමගි ජන බලවේගයට සහාය දැක්වීමට තීරණය කර ඇතැ යි ආරංචි මාර්ග පවසනවා.
මේ අනුව ඩලස් අලහප්පෙරුම මහතා ගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ ජී. එල්. පීරිස්, නාලක ගෙඩහේවා, ඩිලාන් පෙරේරා, ඇතුළු පිරිසක් කලින් ම සමගි ජන බලවේගයට එක්වුණා. ඩලස් අලහප්පෙරුම හා චරිත හේරත් මහත්වරුපසුගිය දිනවල එම පක්ෂයට එක්වුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ද ඔහු විසින් පිහිටුවා ගෙන තිබෙන මානුෂීය ජනතා සන්ධානය සමඟ සමගි ජන බලවේගයට එක්වීමට යන බව ද වාර්තා වෙනවා.
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ද අද හෙට ම සමගි ජන බලවේගයට එක්වනු ඇති බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබෙන්නේ. පසුගියදා රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බවත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඔහු අගෝස්තු මුල දී සජිත් ප්‍රේමදාස මහතා විසින් පිහිටුවීමට යන සමගි ජන සන්ධානයට එක්වනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසනවා.
මෙසේ තම පක්ෂයට එකතු වන මන්ත්‍රීවරුන්ට සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ ඉහළ තනතුරු හා ආසන සංවිධායක තනතුරු ද ලබා දී ඇති අතර එය සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් රාශිකගේ දැඩි විරෝධයට හේතු වී තිබෙන බවයි පැවසෙන්නේ.
නිදහස ජනතා සභාවේ සිට සමගි ජන බලවේගයට එක්වූ චරිත හේරත් මහතා කටුගම්පළ ආසනයේ සංවිධායක වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා විසින් පත්කොට ඇති අතර ඩලස් අලහප්පෙරුම මහතා මාතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ දිස්ත්රකි නායකයා ලෙස පත් කිරීමට යන බව ද දැන ගන්නට තිබෙනවා.
මේ අතර නාලක ගොඩහේවා මහතා සමගි ජන බලවේගයේ කැලණිය ආසන සංවිධායක වශයෙන් පත්කිරීමට තීරණය වී ඇති බවත් පැවසෙනවා.
එළියට නොපෙණුනාට ඇතුළෙ වලි ලු
දයාසිරි ජයසේකර මහතාට ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන තැනක් දීමට සජිත්
ප්‍රේමදාස මහතා කටයුතු කරගෙන යනවා.ඔහුගේ මෙම පත්වීම නිසා සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් විරෝධය පළකොට ඇත්තේ මොවුන්ගේ පැමිණීම මැතිවරණයක දී සිය ඡන්ද පදනම ට පහරක් වීමට ඉඩ ඇති නිසයි.
සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීන් වන අශෝක අබේසිංහ, නලීන් බණ්ඩාර යන මහත්වරු මේ පිළිබඳව සිය අප්‍රසාදය හා කෝපය ප්‍රකාශ කොට ඇති බව ද දැනගන්නට තිබෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හා ජ්යෙෂ්ඨයක් වන දොස්තර රාජිත සේනාරත්න මහත්වරු පක්ෂයේ කටයුතුවලට සම්බන්ධ කර නොගැනීමටත් ඉදිරි මැතිවරණයේ දී ඔවුන් දෙදෙනාට පක්ෂයෙන් නාමයෝජනා ලබා නොදීමටත් සමගි ජන බලවේගය තීරණය කොට ඇති බව ද වාර්තා වෙනවා.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සමීප ආරංචි මාර්ග පවසන්නේ ෆොන්සේකා මහතා මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට තීරණය කර ඇතිබව යි.
ෆොන්සේකා මහතා සිය ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ දී දමගි ජන බලවේගයටත් සජිත් ප්‍රේමදාස මහතාටත් පහර පහර එල්ල කිරීමට යන බව ද එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, එහි නිර්මාර්තෘ බැසිල් රාජපක්ෂ හා ප්‍රධාන සංවිධායක නාමල් රාජපක්ෂ හා ව්‍යාපාරික ධම්මික පෙරේරා යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය බදාදා කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතා ගේ නිල නිවසේ දී පැවැත්වී තිබෙනවා. මෙහිදී සාකච්ඡා වී තිබෙන්නේ ජනාධිපතිවරණය පිළිබඳව බවයි වාර්තා වෙන්නේ.
තව ටිකක් බලමු - මහින්ද කියල
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනවා නම් පොදුජන පෙරමුණේ සහාය ඇතිව තමාට ජයග්‍රහණය කළ හැකි බව ධම්මික පෙර්රා මහතා මෙහිදී පවසා තිබෙනවා.
බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මහත්වරුන් එයට එකඟතාවය පළ කොට ඇති නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඒ ගැන ''තව ටිකක් කල්පනා කර බලමු" යැයි පවසා තිබීම නිසා තීරණයක් නොමැතිව සාකච්ඡාව අවසන් වූ බවයි පැවසෙන්නේ.