පළමු වරට ඡන්ද වියදම් සීමා කරමින් ගැසට් පත්‍රයක්!
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළකාලමින් අධිකරණය මඟින් පනවනු ලැබූ අතුරු තහනම් නියෝගයකින් පසු එම ධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලනයෙන් ඉවත්වීමට තීරණය කොට ඇති බව වාර්තා වෙනවා.
ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් තුනකට කැඩී ගියා. ආණ්ඩුවේ ඇමති තනතුරු ලබාගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, ඇතුළු කණ්ඩායම මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය හා පක්ෂ මූලස්ථානය අත්පත් කර ගෙන සිටිනවා.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තනතුරෙන් ඉවත් කරනු ලැබූ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පසුගිය සතියේ සමගි ජන බලවේගයට එක්වුණා.
මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පක්ෂයේ විධායක සභාව කැඳවා සභාපති ධූරයට ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත්කර ගත් අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බව ද ප්‍රකාශ කළා.
විජයදාසට කොකා පෙන්නු අයියෝ සිරිසේන!
එහෙත් විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂයේ සභාපති ධූරය දැරීම අත්හිටුවමින් පක්ෂයේ පක්ෂයේ සභාපති වශයෙන් පත්ව සිටින නිමල් සිරිපාල ද සිල්වා කණ්ඩායම විසින් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබෙනවා.
මේ අතර විජයදාස රාජපක්ෂ මහතා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් පක්ෂයකින් මෙවර ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දුන්නා. ඔහු දැනටමත් සිය ඡන්ද ව්‍යාපාරය අරඹලයි තියෙන්නෙ. විජයදාස රාජපක්ෂ මහතාගේ අතුරුගිරියේ පිහිටි මැතිවරණ ප්‍රචාරක කාර්යාලය විවෘත කිරීමට ද පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් පවසන්නේ මෙවර ජනාධිපතිවරණයේ දී තමා කිසිය අපේක්ෂකයකුට සහාය නොදෙන බවක්. ඒ බව සඳහන් කරමින් ඔහු පෙරේදා නිවේදනයක් ද නිකුත් කොට තිබුණා.
මේ අතර පසුගිය සතියේ දේශපාලන ක්ෂේත්‍රයේ පැතිර ගිය රාවයකින් ද කියැවුණේ මෛත්‍රීපාල සිරිසේන මහතා සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයටඑක්වීමට ගිය බවයි.
පාස්කු ප්‍රහාරයේ දී වගකීම් පැහැර හැරීම නිසා කතෝලික සභාවේ දැඩි විරෝධයට ලක්වී සිටින සිරිසේන මහතා තම පක්ෂයට එක්කර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා අකමැති වූ බව සමගි ජන බලවේගය ආරංචි මාර්ග පවසනවා.
මෛත්‍රී විශ්‍රාම ගන්නවා?
මෛත්‍රීපාල සිරිසේන මහතා සමගි ජන බලවේගයට එක්කර ගැනීමේ කිසිදු සූදානමක් පක්ෂයට නැති බව පවසමින් සමති ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නිවේදනයක් ද නිකුත් කොට තිබුණා.
මේ තත්ත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කිසිදු දේශපාලන පක්ෂයකින් බාරගන්නේ නැහැ. මේ නිසා දැන් ඔහු සිය පුත්‍රයා වන දහම් සිරිසේන මහතා සමගි ජන බලවේගයට එක්කොට දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව සිය හිතවතුන් සමඟ පවසා ඇති බව ද වාර්තා වෙනවා.
දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය අත්පත් කරගෙන සිටින නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ඇතුළු පාර්ශ්වය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන අතර මහින්ද රාජපක්ෂ මහතා සමග ද සමීප ඇසුරක් පැවැත්වූවා.
අගෝස්තු 15 වන දා එනම් නාමයෝජනා භාරගත් දින උදේ සිය නිවසේ දී නැකැත් කරුවන් ලබා දී තිබූ සුබ වේලාවට සිය නාමයෝජනා පත්‍රය අත්සන් කළා රනිල් වික්‍රමසිංහ මහතා.
නිලධාරියා ගේ පිටිපස්සට ගිය සජිත්!
මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අපේක්ෂකයින් නාමයෝජනා භාරදීම සඳහා පෙළ ගැසී සිටිද්දී සජිත් ප්‍රේමදාස මහතා එකවර ම පෝලිම කඩාගෙන ඉදිරියට පැමිණ නාමයෝජන භාර ගන්නා නිලධාරීන් ගේ පිටුපසට ගොස් සිය නාමයෝජනා පත්‍රය භාර දී තිබුණා. සෑම අපේක්ෂකයකු ම නිලධාරීන් ඉදිරියට ගොස් නාමයෝජනා භාර දෙද්දී සජිත් පමණක් පිටුපසින් ගොස් නාමයෝජනා පත්‍රය භාරදීම බොහෝ දෙනා ගේ කුතුහලයට හේතු වී තිබුණා.
එහෙත් දැන ගන්නට තිබෙන්නේ නාමයෝජනා භාරදීමට සුබ දිසාව බලාගෙනැවිත් ඒ අනුව ඔහු නිලධාරීන් ගේ පසුපසට ගොස් නාමයෝජනා භාර දී තිබෙන බව යි.
ජනපති අපේක්ෂක ඩමියෝ 
ඒ අතර මැතිවරණ කොමිසම අපේක්ෂකයාට හා ඔහු සමඟ පැමිණෙන තවත් එක් අයකුට පමණයි කොමිධන් සභා ශාලාවට ඇතුළුවීමට අවසර ලබා දී තිබුණේ.ඔවුන් හඳුනා ගැනීම සඳහා කොමිෂන් සභාව විසින් වෙනම ලේබල් ද ලබා දී තිබුණා. එහෙත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ 15 ක පමණ පිරිසක් ශාලාව තුළට පැමිණ සිටි අතර එය ද සෙසු අපේක්ෂකයින් අතර කතාබහට හේතු වුණා. පසුව දැනගන්නට ලැබුණේ ජනාධිපතිවරණයට සමගි ජන බලවේගයෙන් ඩමි (Proxy) අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් කොට ඇති බවයි. එම අපේක්ෂකයින් හා ඔවුන්ගේ සහායකයින් තමා අපේක්ෂකයින් ලෙස ඇතුළට පැමිණ තිබෙන්නේ.
ප්‍රධාන දේශපාලන පක්ෂ සෑම ජනාධිපතිවරණයක දී ම මෙසේ ඩමි අපේක්ෂකයින් ඉදිරිපත් කරනවා. ඒ ඡන්ද මධ්‍යස්ථාවලට හා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට එක් එක් එක් අපේක්ෂකයාට තම නියෝජිතයින් 5 කු යැවීමට අවසරය තිබෙන නිසයි. ස්වාධීනව ඩමි අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමෙන් ඔවුන්ට හිමි නියෝජිත කෝටාවට තමන්ගේ නියෝජිතයින් යැවීමට ප්‍රධාන පක්ෂවලට අවස්ථාව ලැබෙනවා.
2019 පැවති ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 කු තරග කළා. එයින් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර අනෙක් සියලුම අපේක්ෂකයින් ගේ ඇපමුදල් රාජසන්තක වුණේ ඔවුන්ට මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 2% ක්වත් ලබාගත නොහැකි වූ නිසයි.
මෙයට පිළියමක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාවේ ඉල්ලීම අනුව ජනාධිපතිවරණයට තරග කරන පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 25 ක් ද ස්වාධීන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 31 ක් ද ඇප මුදල් වශයෙන් තැන්පත් කළ යුතු බවට මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලය මඟින් සම්මත කරගනු ලැබුවා. එහෙත් එම යෝජනාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා පනත් කෙටුම්පතක් සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කිසිදු පියවරක් ගෙන තිබුණේ නැහැ.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සති දෙකකට පෙර මන්ත්‍රීවරයෙක් මේ ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා. එවිට සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවසුවේ දැන් එය පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කිරීමට කාලයක් නැති බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂක සංඛ්‍යාව වැඩිවීම නිසා එක් අපේක්ෂකයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 800 ක් වැඩිපුර වැය කිරීමට සිදුවී ඇති බව පවසනවා.
එමෙන් ම මෙවර අපේක්ෂකයින් 39 දෙනකු සිටින බැවින් ඡන්ද පත්‍රිකාව අඟල් 27. 5 ක් තරම් දීර්ඝ වන බවත් ඒ වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි වැඩිපුර සැපයීමට සිදුවන අතර ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන් ගණන ද වැඩි කිරීමට සිදුවන බව ද ඒමහතා පෙන්වා දෙනවා.
ජනාධිපතිවරණ පනත යටතේ ජනාධිපතිවරණයට තරග කරන සෑම අපේක්ෂකයකුට ම තම ප්‍රතිපත්ති විස්තර කිරීම සඳහා රෑපවාහිනියෙන් හා ගුවන්විදුලියෙන් ගුවන් කාලය ද නොමිලේ ලැබෙනවා.
එහෙත් බොහෝ අපේක්ෂකයින් තමාට ලැබෙන ගුවන් කාලය තමන්ට හිතවත් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකුට ප්‍රචාරය ලබා දීම සඳහා යොදා ගැනීම නිසා එහි අරමුණ ඉටු නොවන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ.
මැතිවරණ විටදම් සීමා කිරීමේ ගැසට්ටුවක් පළමු වරට 
මේ අතර මෙවර ජනාධිපතිවරණයේ දී එක් අපේක්ෂකයකු විසින් ඡනදදායකකු වෙනුවෙන් වැයකළ හැකි මුදල සඳහන් අති විශේෂ ගැසට් පත්‍රයක් හෙට එනම් 19 වැනි දා නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා තිබෙනවා.
මැතිවරණ වියදම් පනත යටතේ මෙසේ එක් අපේක්ෂකයකුට වැය කළ හැකි මුදල සීමා කෙරෙන්නේ ප්‍රථම වරටයි.
මැතිවරණ කොමිෂන් සභාව පසුගිය සිකුරාදා ප්‍රධාන පක්ෂවල ලේකම්වරුන් ගෙන්වා මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එක ඡන්දදායකයකුට එක ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් පහක් ? කොමිසම කියයි.
රුපියල් 300 ක් පොහොට්ටුවේ මහ ලේකම් රුපියල් 250 ක් එජප හා සජබ කියයි. රුපියල් 200 ක් ජාජබ කියයි. රුපියල් 20 ක් විජයදාස රාජපක්ෂ කියයි
මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා යෝජනා කොට ඇත්තේ එක් ඡන්දදායකයකු සඳහා රුපියල් 300 ක් වැය කිරීමට ඉඩදිය යුතු බවයි. එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 250 ක මුදලක් වැය කිරීමට ඉඩ දෙන ලෙස සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය යෝජනා කොට තිබෙනවා. ජාතික ජන බලවේගයේ යෝජනාව එක් ඡන්දදායකයකුට රුපියල් 200 ක් වැය කළ යුතු බවයි. ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන විජයදාස රාජපක්ෂ මහතා යෝජනා කර ඇත්තේ රුපියල් 20 ක මුදලකි.
කොමිසමට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ පෙත්සම්?
දැන ගන්නට තිබෙන අන්දමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කොට ඇත්තේ එක් අපේක්ෂකයකුට එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 5 ක් ලෙසටයි.
කෙසේ වෙතත් මැතිවරණ ප්‍රචාරක රැලි පැවැත්වීමට ප්‍රතිපත්ති ප්‍රකාශන මුද්‍රණය කොට බෙදා හැරීම, ප්‍රවාහන වියදම් ආදිය එකතු කළ විට රුපියල් කෝටි ගණනක් වැය වන බවත්, ඒ අනුව එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 300 – 350 ත් අතර මුදලක් වැය කිරීමට අවසර දියයුතු බවත් ප්‍රධාන දේශපාලන පක්ෂ පවසනවා.
මෙම මැතිවරණ වියදම් සීමා පිළිබඳ ගැසට් පත්‍රය නිකුත් වූ පසු එයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ගණනාවක් සාකච්ඡා කරමින් සිටින බවත් වාර්තා වෙනවා.