තීරණාත්මක සුමානයක්!
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් 2. 3 දවස් දෙකේ
හෙටින් ආරම්භ වන ජූලි මාසයේ මුල් සතිය ශ්‍රී ලංකාවේ දේශපාලනයට තීරණාත්මක සතියක් වනු ඇතැයි දේශපාලන විචාරකයින් පවසනවා.
ජූලි 2 සහ 3 යන දිනවල පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට පෙරේදා පැවති පක්ෂ නායකයින් ගේ රැස්වීමේ දී තීරණයක් ගෙන තිබුණා.
ජූලි මාසයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ ජූලි 9 වැනි දායින් ආරම්භ වන සතියේ දී යි. එහෙත් රජය ජාත්‍යන්තර අරමුදලේ මෙහෙයැවීමෙන්, ඉන්දියාව, පැරිස් සමාජය හා චීනය යන විදේශීය ණය හිමියන් සමඟ පසුගිය 26 වැනිදා ප්‍රංශයේ දී සහ චීනයේ බෙයිජිං හි දී අත්සන් කරන ලද ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනීම සඳහා මෙසේ පාර්ලිමේන්තුව ජූලි 2 හා 3 යන දිනවල රැස් කෙරෙන බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා.
මෙම ගිවිසුම් හෙට (1) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි. පාර්ලිමේන්තුව ජූලි 2 වනදා පෙරවරුවේ රැස්වූ විට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම ගිවිසුම් හා ඒවාට අදාළ ලේඛන සභාවට ඉදිරිපත් කෙරෙනු ඇති. ඉන්පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.
තුනෙන් දෙකක්??
රජය විසින් අත්සන් කරන ලද මෙම ණය ගිවිසුම් පිළිබඳ ව ජූලි 2 හා 3 යන දින දෙකේ දී විවාදයක් පැවත්වීමට ද ආණ්ඩුව තීරණය කොට තිබෙනවා. ජනාධිපතිවරයාට අවශ්‍ය මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ 2/3 ක වැි ඡන්දයෙන් සම්මත කර ගැනීමට බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ජගත් හා පැවසුවා.
ගිවිසුම පිළිබඳ විවාදයේ ඡන්දය විමසීමේදී එයට පක්ෂව ඡන්දය දීමට සමගි ජන බලවේගයේ හා විපක්ෂයේ සෙසු පක්ෂවල මන්ත්‍රීන් ගණනාවක් ම සූදානමින් සිටින බවට ද වාර්තා වෙනවා.
මේ බව දැන ගැනීමට ලැබීම නිසා විපක්ෂය විසින් විවාදය වර්ජනය කළ යුතු බවට සමගි ජන බලවේගයේ නායකයින් සාකච්ඡා කොට ඇතැ යි සමගි ජන බලවේගයේ ප්‍රධාන පෙළේ නායකයෙක් අප සමඟ ප්‍රකාශ කළා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ මෙම ගිවිසුමේ පිටපපත් විපක්ෂයට ලැබෙන්නේ ජූලි 2 වැනි දා බැවින් එය අධ්‍යයනට කාලයක් නොමැති හෙයින් විපක්ෂය විවාදය වර්ජනය කළ යුතු බවයි.
සජබ ය විවාදය වර්ජනය කිරීමේ සැබෑ රහස

ජනතාවට සහන නොදෙන ගිවිසුමක් පිළිබඳ කතා කිරීම විහිළුවක් බැවින් එදින පෙරවරුවේ විපක්ෂ නායකයා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර සභාවෙන් පිටවී යායුතු බවට තමා යෝජනා කරන බව ද ඔහු ප්‍රකාශ කළා.
කෙසේ වුවද හෙට පැවැත්වෙන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව ද දැනගන්නට තිබෙනවා.
සමගි ජන බලවේගයේ නායකයින් වඩාත් කලබල වී සිටින්නේ ජූලි 2 හා 3 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වූ විට එම පක්ෂයේ මන්ත්‍රීන් ගණනාවක් ආණ්ඩුවට එකතුවීමට යන බවට පැතිර ඇති රාවය නිසා බවයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.
ආණ්ඩුවට එක්වීමට යන බවට තොරතුරු ලැබී තිබූ මන්ත්‍රීවරුන්ට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කිහිප වරක් ම පෞද්ගලිකව දුරකතන ඇමතුම් දී තොරතුරු විමසා තිබෙනවා.
සජබ මන්ත්‍රී බිරින්දැන්ට "හෙලෝ" කියයි
මෙයට අමතරව සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට යන බවට තොරතුරු ලැබී ඇති මන්ත්‍රීවරුන් ගේ භාර්යාවන්ට දුරකතන ඇමතුම් දී එය වැළැක්වීමේ උපක්‍රමයක් ද සමගි ජන බලවේගයේ ඇතැම් නායකයින් ක්‍රියාත්මක කොට තිබෙන බවයි පැවසෙන්නේ.
එවැනි මන්ත්‍රීවරුන් ගේ භාර්යාවන්ට ඇමතුම් දී ''සජිත් මහත්තයා මේ සැරේ ජනධිපති වෙන එක ස්ථිරයි. මහ ඡන්දෙන් දිනන්නෙත් අපේ පක්ෂය තමයි. ඒ බව සමීක්ෂණ ප්‍රතිඵලවලිනුත් ප්‍රකාශ කොට තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ ආණ්ඩුවට එකතු වී අමාරුවෙ වැටෙන්න එපායැ යි මහත්තයට කියන්න. රනිල්ට දිනන්න බැහැ. එයා තුන්වැනියා වෙනවා. අපේ ආණ්ඩුවක් ආවහම ඔයාගේ මහත්තයට තනතුරු ගන්නත් පුළුවන්" යැයි ඔවුන් පවසා ඇති බවද වාර්තා වෙනවා.
මේ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඉදිරි සතිය තුළ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහ දෙනකු තම පක්ෂයට එක්වනු ඇතැ යි පවසනවා. ''ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර මේ අය කඩින් කඩ සමගි ජන බලවේගයට එක්වෙනවා. දැනටමත් පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් 10 ක් අපේ පක්ෂයට එක්වී සිටින අතර විපක්ෂයේ සෙසු පක්ෂවලින් තවත් දහ දෙනකු එකතුවීමට නියමිත යැ යි ද රංජිත් මද්දුම බණ්ඩාර මහතා තව දුරටත් ප්‍රකාශ කළා.
ෆොන්සේකා ගේ පොත
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, දොස්තර රාජිත සේනාරත්න, අජිත් මාන්නප්පෙරුම, යන මන්ත්‍රීවරුන් මේ සතියේ ආණ්ඩුවට එකතු වන බවටත් සරත් ෆොන්සේකා හා රාජිත සේනාරත්න යන මහත්වරුන්ට කැබැනට් ඇමති තනතුරු ලැබෙන බවටත් දේශපාලන අංශ අතර දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.


මේ ආරංචිය පැතිර යෑමත් සමඟ සමගි ජන බලවේගයට හිතවත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මඟින් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න මහත්වරුන්ට ඔවුන්ගේ පසුගිය කාලයේ කතා සහිත වීඩීයෝ දසුන් දක්වමින් ප්‍රහාර දියත් කරැති බවක් ද පේන්නට තිබෙනවා.
⋆⋆⋆⋆⋆⋆
මේ අතර ජනාධිපතිවරණයට ඇත්තේ තවත් මාස තුනක පමණ කෙටි කාලයක් වුව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අ්කයා ගැන මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැහැ. එම පක්ෂයේ නායකයින් පවසන්නේ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම පෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදුකරනු ඇති බවයි.
එහෙත් පොදුජන පෙරමුණේ ප්‍රසන්න රණතුංග, කංචන විජේසේකර, පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, වෛද්‍ය රමේෂ් පතිරණ, ඇතුළු මැති ඇමතිවරුන්, වැඩි දෙනෙක් ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කරනවා.
එසේ වුවද නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, එස්. එම්. චන්ද්‍රසේන, ජානක තිස්සකුට්ටිආරච්චි, ඉන්දික අනුරුද්ධ, සංජීව එදිරිමාන්න ඇතුළු තවත් පිරිසක් පවසන්නේ ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණත්, අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවයි. ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණින් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කළ යුතු බව මෙම පිරිසේ එක් කණ්ඩායමක් පවසන අතර තවත් කණ්ඩායමක් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බව පවසනවා.
ජනාධිපතිවරණයෙ දී අපේක්ෂකයකු ඉදිරිපත් නොකොට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට එම පක්ෂය මුලින් අදහස් කර තිබූ අතර ඒ සඳහා සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 25 ක්වත් ජූලි 5 වනදාට පෙර ආණ්ඩුවට එක්කර ගන්නා ලෙසට වික්‍රමසිංහ මහතාට කොන්දේසියක් ද ඉදිරිපත් කොට තිබුණා. මේ බව අපි මීට සති තුනකට පෙර මෙම සතියේ සටහනින් ද ජගත් අනාවරණය කළා.
දැන් පොදුජන පෙරමුණ යළිත් වරක් රනිල් වික්‍රමසිංහ මහතාට එම කොන්දේසිය ඉදිරිපත් කරමින් අන්තිම නිවේදනයක් දී තිබෙනවා. ජූලි 15 වැනි දා වන විට විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් 25 ක් වත් ආණ්ඩුවට එක්කර නොගත හොත් පොදුජන පෙරමුණෙන් ජනාධිපතිවරණයට වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව රනිල් වික්‍රමසිංහ මහතාට දන්වා යවා ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ධම්මික පෙරේරා ඒවි ද හටනට!

පොදුජන පෙරමුණ පවසන්නේ තම පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේකෂකයින් කිහිප දෙනකු ම සිටින බව යි. දැනගන්නට තියෙන ආරංචි වල හැටියට මෙයින් මුල් තැන සිටින්නේ ව්‍යාපාරික ධම්මික පෙර්රා මහතා. ඔහුට බැසිල් රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ මහත්වරුන් ගේ සහාය ලැබෙන බව ද පැවසෙනවා.
මේ අතර ආණ්ඩුවට සම්බන්ධ වීමට මුල සිටම කැමැත්තෙන් සිටී විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එසේ සම්බන්ධ වීම තව දුරටත් ප්‍රමාද කරමින් සිටින බව ද දැනගන්නට තිබෙනවා. තමන්ට ආණ්ඩුවට සම්බන්ධ වීමට නම් ආණ්ඩුව බිම් මට්ට්මින් ශක්තිමත් පදනමක් දමාගත යුතු බවට ඔවුන් කොන්දේසියක් ඉදිරිපත් කොට ඇතැ යි පැවසෙන්නේ.
කෙසේ වුවද විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක්කර ගැනීම පිළිබඳව මේ දිනවල ජනාධිපතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ඔහුන් සමඟ දිගට ම සාකච්ඡා කරගෙන යන බව ද වාර්තා වෙනවා.
රනිල්ට කොන්දේසි 
ජූලි 15 වනදාට පෙර සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 25 ක් වත් ආඩුවට එක්කර ගන්නා ලෙසට කළ දැනුම්දීමට පිළිතුරු වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පොදුජන පෙරමුණට දන්වා ඇත්තේ සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 15 කු ස්ථිර වශයෙන් ම ආණ්ඩුවට එන බවයි.
මේ අතර පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන රජයෙන් ලද ආරාධනාවක් අනුව බ්‍රහස්පතින්දා චීනය බලා පිටත්ව ගියා. ඔහු එහිදී චීන ජනාධිපති ෂී ජින් පිං ඇතුළු නායකයින් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව ද පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පවසනවා. මහින්ද රාජපක්ෂ මහතා මේ සතියේ පෙරළා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ජනාධිපතිවරණය පිළිබඳ සාකච්ඡා ඉන්පසු යළි ආරම්භ වනු ඇති බවයි පැවසෙන්නේ.
සර්ව ජන බලය පොහොට්ටුව එක්ක පූට්ටු කරන්න මහින්ද ලා ඉත්තෙක් යොදලා
දිලිත් ජයවීර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිළ මහත්වරුන්ගේ නායකත්වයෙන් යුත් 'සර්ව ජන බලය' පොදුජන පෙරමුණට එකතු කර ගැනීමේ වැඩ පිළිවෙළක් මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් විසින් දියත් කොට ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබෙනවා.
තුන්වැනි පාර්ශ්වය????
මේ අනුව ඔවුන් තුන්වැනියකු මාර්ගයෙන් පසුගිය සතියේ විමල් වීරවංශ මහතා සමඟ සාකච්ඡා කොට තිබෙනවා.
සර්ව ජන බලය පොදුජන පෙරමුණ හා සන්ධානගත වීමට නම් ජනාධිපතිවරණයට රාජපක්ෂවරයකු නොවන අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට වීරවංශ මහතා මෙහිදි කොන්දේසියක් ඉදිරිපත් කළ බව ද වාර්තා වෙනවා.
මොන අස්පයා දිනුවත් !!??
කෙසේ වුවද ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස හා අනුර කුමාර දිසානායක තිදෙනා ප්‍රධාන අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත් වන අතර තරගය පවතින්නේ ඔවුන් අතරයි. එනිසා අනිකුත් පක්ෂවල අපේක්ෂකයින් තරග කළොත් ඔවුන්ගේ ඇපවත් බේරාගත නොහැකි වන බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.
මෙනිසා සර්වජන බලය, නිදහස් ජනතා සන්ධානය, එක්සත් ජනරජ පෙරමුණ, ආදි කුඩා පක්ෂවලට මෙම ප්‍රධාන අපේක්ෂකයින් ගේ පක්ෂ සමඟ සන්ධානගත වීමට අනිවා්යෙන් ම සිදු වන බව ද ඔවුන් තව දුරටත් පෙන්වා දෙනවා.

