ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිගේ අයවැය අවසන් කතාවට සජිත් ගෙන් සැර පිළිතුරක්

ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා ‌කොළොම්පුරේ මුල් පුටුවට සජබෙන් හටන් බිමට!!

අද සමාජයේ කුඩා ඒකකයේ සිට සෑම සියලු දෙනාම බරපතල අසහනයට ලක්ව ඇති මොහොතක ඒ අසහනය උපයෝගී කර ගෙන ඒ අයව වහලුන් බවට පත් කිරිමට මෙන්ම ඒ අසහනයෙන් පෙළෙන කොට්ඨාස උසි ගන්වා දේශපාලන ජයග්‍රහණ ලබා ගැනිමට සමහරක් උත්සාහ කරන බවත් සමගි ජන බලවේගය පැහැදිලි වැඩපිළිවෙළක් තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි මැද පිළිවෙත තුළ රටත් ජනතාවත් ගොඩගන්නා වැඩසටහනකට යොමු වන බවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පෙරටු කර ගත් අන්ත දක්ෂිණාංශික අන්ත වාමාශික න්‍යායන් ප්‍රතික්ත්‍ෂ්ප කර මානුෂීය ධනවාදයත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් සමගි ජන බලවේගය විශ්වාස කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ විෂමතාවෙන් පිරුණු ජන සමාජයේ සමහර කණ්ඩායම් වෛරය වපුරා අසහනයෙන් පෙළෙන ජනතාව ගොදුරු බිමකට යොමු කරන වෛරී දේශපාලනය ක්‍රියාත්මක කරන බවත් මෙම වෛරි දේශපාලනය ගැන ලොකු කතා බහක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාත්මක කළ මිනිමරු සංස්කෘතිය, පෞද්ගලික රාජ්‍ය දේපළ ගිනි තැබූ ආකාරය, කර්මාන්තශාලා බැංකු ගොඩනැගිලි අළු බවට පත් කළ ආකාරය දණහිසෙන් ඉහළට මිනියක් ඔසවා ගෙන යා නොහැකි සමාජ විරෝධී මිලේච්ඡ ක්‍රියාවලීන් ගැන සමාජය අද කතාවෙන බවත්, මේ මහා විනාශකාරී මිනිමරු සංස්කෘතිය නිසා අප රටට අහිමි වූ, ආයෝජන හා දේපල ගැන සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසී ය.

පසුගිය දවස්වල රජය රිලා දඬුලේන් සංදර්ශන, වඳුරු සංදර්ශන පවත්වා ඊයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා අයවැයේ අවසන් කතාව කියමින් සමගි ජන බලවේගය සම්බන්ධ කර කරුණු කාරණා කියූ බවත්, ජනාධිපතිවරයා පවසන ආකාරය මේ රජයත් සමග පැත්තෙන් පැත්තට පනින බල්ටි ගහන සංස්කෘතිය නෑ කිව්වත්, ඉතිහාසය පුරාවට ජනතා විමුක්ති පෙරමුණින් කී දෙනෙක් පක්ෂ මාරු කරා ද කියා ප්‍රශ්න කරන බවත්, විමල් වීරවංශගේ සිට ජනතා විමුක්ති පෙරමුණේ කැබිනට් ඇමතිකම් හෙබවූ අය පවා, දේශපාලන බල්ට් ගැසු බවත් එම නිසා ජනතා විමුක්ති පෙරමුණ හෝ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට ඒ ගැන කතා කරන්න අයිතියක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොළඹ පළාත් පාලන අපේක්ෂකයන් සමග පැවැති හමුවකදීය.

එසේම ජනාධිපතිවරයා කියන ආකාරය සමගි ජන බලවේගය තීන්දු ගන්න බයයි යැයි කියන බවත් සමගි ජන බලවේගය තීන්දු ගන්නේ නිවැරදිව බවත්, වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය තීන්දු ගත්තේ ආත්මයම පාවා දී, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිගනිමින් බවත් නව අයිඑම්එෆ් ගිවිසුමකට යනවා කිව්වත් හිටපු ජනාධිපතිවරයා ඇති කර ගත් ගිවිසුමේ ම සිටිමින්, එම ප්‍රතිපත්ති අනුගමනය කර ජනතා අපේක්ෂා සුණුවිසුණු කර ඇති බවත් කියපු දේ නොකර, ප්‍රතික්ෂේප කරපු දේවල් ක්‍රියාත්මක කරන බවත්, වත්මන් ජනාධිපතිවරයාට සහ රජයට ජනතාවට වුණ පොරොන්දු කඩ කරන්න ලැජ්ජා නැති වුවත්, තමාට ජනතාව රවටා බලය ලබා ගන්න ලැජ්ජා බවත්, අද වන විට මේ රජය ජනතා වරම අමු අමුවේම පාවා දී ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වත්මන් රජයේ නෑ කියන ඩීල් ගැන අපි දන්නවා හොදටම

එමෙන්ම වත්මන් රජයට ඩීල් නෑ කියා කියුවත් විමධ්‍යගත මුදල් බෙදා දීමේ ක්‍රමවේදය තුළ, අයවැයේ දී ඡන්දය ලබා දෙනවා කියූ අයට, විශේෂ ප්‍රතිපාදන දුන්නේද නැද්ද කියා ප්‍රශ්න කරන බවත්, අයවැයට ඡන්දය දෙන්න එපා කියා ගහපු ඩීල් ද දන්නා බවත්, එම නිසා ආණ්ඩුවේ උපදෙස් විපක්ෂයට අවශ්‍ය නොවන බවත්, විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

⋆⋆⋆⋆⋆⋆⋆⋆   ⋆⋆⋆⋆⋆⋆⋆⋆  ⋆⋆⋆⋆⋆⋆⋆⋆   ⋆⋆⋆⋆⋆⋆⋆⋆

කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව සුපිරි දියුණු නගරයක් නිර්මාණය කිරිම බැවින් ඒ ගමන උදෙස සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා මහතාව ඉදිරිපත් කළ බවත් එතුමා ජනතාවාදී ජනහිතකාමී පොදුජනවාදී වෘත්තිකයකු බවත් දක්ෂතාව නිපුණතාව හැකියාව කුසලතාව එඩිතරභාවය අධිෂ්ඨානශීලීත්වය ආදී සියලු ගුණාංගයන්ගෙන් සපිරි උගතෙක් බුද්ධිමතෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වෛද්‍යවරයකු ලෙස නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් වෘත්තීයවේදියකු ලෙස වෘත්තීය උන්නතිය තකා කටයුතු කළා සේම ලක්ෂ සංඛ්‍යාත ගිලන් වූ රෝගීන් වෙනුවෙන් මීගමුව, අම්පාර හා ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ සේවය කළ බවත් මේ මොහොත වන විට නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න කැලණිය හා කොළඹ වෛද්‍ය පීඨයන්හි ඉගැන්වීම පවා සිදු කරන බවත් ඔහු පවුල් සෞඛ්‍ය විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙසත් කටයුතු කරන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ පවුල් සෞඛ්‍ය විෂය ස්ථාපිත කළ ආරම්භක සාමාජිකයන් ලෙසත් කටයුතු කර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දියුණු සෞභාග්‍යසම්පන්න කොළඹ නගරයක් යටිතල පහසුකම් දියුණු කර නිවාස ගැටලුවට විසදුම් ලබා දෙන ආදායම් මාර්ග නිර්මාණය කරන සුපිරි සංවර්ධනයකින් බැබලෙන කොළඹ නගරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දූෂණය වංචාව හොරකම පිටුදකින නව මුහුණක් නව නායකත්වයක් නව ගමනක් වෙනුවෙන් දක්ෂ පරිපාලකයෙක් උගතෙක් බුද්ධිමතෙක් ඉදිරිපත් කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.