අනුර දිනවීම අපට පැවරී තිබෙන වගකීමක් - මවුලවි මුනීර් මුල්ෆ්ෆර්
සැප්තැම්බර් 21දා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපට පැවරී තිබෙන්නේ තේරීමක් නොවෙයි, වගකීමක්. තෝරා ගන්න නම්, හොඳ විකල්ප තිබෙන්න ඕනෑ. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව අනික් පක්ෂ දෙකේ ඉන්නේ කවුද කියන එක ඔබේ හෘදය සාක්ෂිය දන්නවා. ඒ නිසා තෝරා ගැනීමකින් තොරව අපට තිබෙන වගකීම තමයි, සැප්තැම්බර් 21දා ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිනවීම අපට පැවරී තිබෙන වගකීමයි. ඒ වෙනුවෙන් අපි සියලුම දෙනා පෙළ ගැසෙමු. වැඩ කරමු.
යි ජාතික ජන බලවේගයේ විධායක සභික මවුලවි මුනීර් මුල්ෆ්ෆර් මහතා පැවසී ය. ඒ මල්වානේ දී ය
ආගම් අනුව, ජාතිකත්වය අනුව ජනතාව බෙදා වෙන්කිරීමට නැවත ඉඩක් නැහැ
ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විධායක සභික ආචාර්ය අශෝක රන්වල
මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව හැටියට ඔබ ඉතාමත් ඉහළ බලාපොරොත්තු පොදි බැඳගෙන නව ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීමට සැප්තැම්බර් 21දා සූදානමින් සිටිනවා. මෙයට පෙර ඔබ ආණ්ඩු පිහිටුවීමට ඡන්දය ලබාදෙද්දී විශාල දෙගිඩියාවක් චකිතයක් තිබුණා. දිගින් දිගටම රැවටීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ අඳුරු ඉතිහාසය වෙනස් කර, යහපත් අනාගතයකට පිය මනින්න මාස කිහිපයක සිට ඔබ ජාතික ජන බලවේගය සමග අපේක්ෂා සහගත ගමනක් යන්න අත්වැල් බැඳගෙන සිටිනවා.
මල්වාන මේ රැලිය පැවැත්වීමට ඔබ සියලු දෙනා සාමුහිකව එකතු වී නීතිමය කටයුතු සියල්ල සම්පූර්ණ කරගෙන තිබුණා. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස නිසි පරිදි බලපත්‍ර ලබාදී තිබුණත් හදිසියේම එය අහෝසි කර, කුමන්ත්රණකාරී ලෙස එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයක් පිහිටුවා තිබෙනවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසයි. නමුත් ඒ කුමන්ත්‍රණය පරාජය කරන්න ඔබ සියලුම දෙනා අත්වැල් බැඳගෙන ඉදිරියට ආවා. මධ්‍යම රාත්‍රියේ පවා වෙහෙස මහන්සි වී කාදර් හජ්ජියාර් මහතාගේ භූමිය අපට ලබාදුන්නා. අපි එයට ගෞරව කරනවා. ස්තුති කරනවා. කුමන්ත්රණකාරී දේශපාලනය පරාජය කරන්න කාදර් හජ්ජියාර් මහතා අභීතව ඉදිරිපත් වුණා. අද මේ ස්ථානයේ දැවැන්ත ජන ගඟක් සහභගී වන රැලිය පවත්වන්නේ ඒ නිසයි.
ජාතික සමගිය ගොඩනඟන හැටි මේ රැලියෙන්ම පැහැදිලි වෙනවා. සිංහල ජනතාවත් මල්වානේ මේ රැලිය බලන්න ඇවිත් සිටිනවා. ගංවතුර ගැලීම වැනි ස්වභාවික විපත්වලදී ජනතා විමුක්ති පෙරමුණ හැටියටත් ජාතික ජන බලවේගය හැටියටත් අපි ඉදිරිපත් වී කටයුතු කළ සියලුම අවස්ථාවල ඔබ සැම අප සමග අත්වැල් බැඳගත්තා. ආගම් අනුව, ජාතිකත්වය අනුව බෙදා වෙන්කිරීමට නැවත ඉඩක් නැති බව තහවුරු කර, පුනරුද යුගයේ යුගයට ඉදිරි දින කිහිපය තුළ අපි හැමදෙනාම ධෛර්යයෙන් අත්වැල් බැඳගෙන පියනඟමු. ආදරය පිරුණු රටක් අපි ගොඩනඟමු.