උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 -සැප්තැම්බර් 21 වැනි දා

සැප්තැම්බර් 22 ප්‍රතිඵල ලැබෙනකොට අපට ජනාධිපති සහෝදරයෙක් ලැබේවි - රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි

මෙතන ඉන්න බොහෝ දෙනා මීට කළින් ඡන්ද දැක තියෙනවා. ඡන්දය දී  තිබෙනවා. ආණ්ඩු හදා තිබෙනවා. ආණ්ඩු පෙරළා තිබෙනවා. හැබැයි මේ සැප්තැම්බර් 21 දිනට එළැඹිලා තිබෙන්නේ ලංකා ඉතිහාසය වෙනස් කරන ඡන්දයයි. මේ මාතර නගරය පිරෙන්න තරම් ජනතාව අද එකතුවෙලා කියන්නේ මොකක්ද? සැප්තැම්බර් 21 ජයග්‍රහණය සහතිකයි කියලා. මේ සතියේ ඇතිවූ සිදුවීම් ටිකම ඇති අපේ ජයග්‍රහණය ස්ථිර වෙන්න. හැබැයි අපි දිනලා විතරක් මදි. ජාතික ජන බලවේගය බලය ගන්නේ මේ කඩා වැටුණු රට හදන්නයි" ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූරාපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

''ලෝකයේ දුප්පත්කම නැති රටක් බවට මේ රට පත්කරන්න ඕනෑ. ලෝකයේ පිළිගත් රටක් බවට මේ රට පත්කරන්න ඕනෙ. මේ පාලකයෝ මේ රට අපරාධවලින්, ණයවලින් පිරුණු රටක් බවට පත් කළා. ගොවි, කම්කරු, ධීවර ජනතාවට කිසිවක් ඉතුරු නොකරපු රටක් බවට මේ රට පත් කළා. ව්‍යාපාරිකයින්ට ණය ගෙවා ගන්න බැරි රටක් කළා. දරුවන්ගේ අනාගතය, අධ්‍යාපනය වනසපු රටක් බවට මේ රට පත්කළා. ජාතික ජන බලවේගය බලය ඉල්ලන්නේ මේ හපයක් බවට පත් කරලා තියෙන රට ගොඩනැගීමටයි. රට හදන පළමු පියවර දේශපාලන පොර පිටිය ශුද්ධ කිරීමයි. වැඩිය ඕන නැහැ 2019 පොහොට්ටු වේදිකාවෙ කථා කරපු ඩලස් අද 2014 සජිත්ගේ වේදිකාවේ කථා කරනවා. එයා මේ දෙපැත්තේ ඉඳන් කියපු සහ කියන කතා ටිකම ඇති මේ මජර දේශපාලනය වෙනස් කළ යුතුයි කියන තීරණය ගන්න. එයාලා මේ තීරණ ගන්නේ මේ රට හදන්නද? ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගොඩවෙන්නෙ කොහොමද කියලා හිතලා. රට ගැන රටේ අනාගතය, රටේ දියුණුව ගැන හිතන කෙනෙක් ඉන්නවා නම්, එයා සජිත්ගේ වේදිකාවට නගියිද? අපේ රටේ තියෙන්නේ ගෙඹි දේශපාලනයක්. රාජිත සේනාරත්න 1987 ඉඳන් එහෙට පනිනවා. මෙහෙට පනිනවා. මතක තියාගන්න අපේ ආණ්ඩුවක් ආපසු මේ පනින දේශපාලුවන්ගේ මන්ත්‍රීකමත්  අහෝසි කරන නීති අපි ගේනවා".

"ජනාධිපතිගේ සිට සියලු දෙනා නීතියට යටත් පාලනයක් අපි ගොඩනඟන බවට සහතික වෙනවා. මේ දේශපාලනය නාස්තියෙන් පිරී තිබෙනවා. මේ රටේ ජනාධිපතිලාගේ, ඇමතිලාගේ, ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ගමන් බිමන්වලදී ඇම්බියුලන්ස් එකකුත් පිටිපස්සෙන් යනවා. මේ අය ලෙඩ්ඩු. මේ නාස්ති කරන්නේ ජනතා මුදල්. මේ අය රට පාලනය කිරීමට සුදුස්සොද? සැප විඳිමින් සිටින පාලකයන්ගේ සියලු වරප්‍රසාද අහිමි කරනවා. ඇමතිවරු පැටව් ගහන එකයි ඔවුන්ට වරප්‍රසාද ලබා දීමයි අපි වහාම අහෝසි කරනවා. විද්‍යාත්මක පදනමක් මත ඇමතිකම් වෙන්කරන ක්‍රමවේදයක් ජාතික ජන බලවේගය ආණ්ඩුවක් යටතේ ස්ථාපිත කරනවා. ඔය එහෙට මෙහෙට පනින සමහරු ඊට පෙර අපේ දොරටත් තට්ටු කළා. අපි දොර ඇරියා. පැටිගිරිය හොඳ නැති නිසා අපි ආපහු දොර වැහුවා. අද අපේ රටේ ප්‍රතිපත්තිගරුක එකම දේශපාලන ව්‍යාපාරයයි තිබෙන්නේ. ඒ ජාතික ජන බලවේගයයි. අපි දොරටු විවෘත කළේ එ.ජා.ප.යේ, පොහොට්ටුවේ, ස.ජ.බ.යේ හිටිය සාමාන්‍ය ජනතාවටයි".

"අරක්කු මුදලාලිලා දෙන්නෙක් විතරක් කෝටි 664ක් බදු ගෙවල නැහැ. ඇලෝසියස් මුදලාලි එක්කෙනෙක්, ජොන්ස්ටන් තව එක්කෙනෙක්. තව එක්කෙනෙක් තමයි සජිත්ගේ වේදිකාවට නැග්ග ලක්ෂ්මන් වසන්ත පෙරේරා. මේ ගොල්ලෝ අරක්කු පැක්ටරිවල අයිතිකාරයෝ"

සැප්තැම්බර් 21 මේ රට අලුත් දිසාවකට හරවන හැරවුම් ලක්ෂයයි - ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික හඳුන්නෙත්ති මහතා

ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ තිබෙන්නේ පාලන බලය ජනතාව සතුයි කියලා වුණාට මේ රටේ ජනතාව හැමදාම හිටියේ සේවකයෝ වෙලා. ජනතාව පාලකයෝ වුණේ ඡන්දෙ දවසට විතරයි. මේක අවසන් වෙලා ජනතාව ඇත්ත පාලකයන් බවට පත්වන්නේ අනුර සහෝදරයා දිනලා ආණ්ඩුවක් පිහිටවූ දවසටයි. එය ආරම්භ වන්නේ සැප්තැම්බර් 21 අනුර සහෝදරයා මේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවාත් සමගයි. අපේ ජනාධිපතිත්, මැති ඇමතිවරුනුත් ඔබේ අපේක්ෂා ඉටු නොකරන්නේ නම් ඔවුන් ආපසු කැඳවීමේ බලය ජනතාවට ලබාදෙන වගන්ති ඇතුළත් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපි හදනවා. ජනතාවට නැති වරප්‍රසාද දේශපාලනඥයන්ට අවශ්‍ය නැහැ. අපි ගොඩනඟන්නේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක්. ඇමතිවරු 25 යි. නියෝජ්‍ය ඇමතිවරු 25යි. රාජ්‍ය ඇමතිවරු, ව්‍යාපෘති ඇමතිලා නැහැ. ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර දීමේ ක්‍රමය අපි සැප්තැම්බර් 22න් පස්සේ අහෝසි කරනවා. ජනාධිපතිවරුන්ට මැති ඇමතිවරුන්ට ඉන්පසු විශ්‍රාම වැටුප්  නැහැ. මම ඔබෙන් අහනවා, සජිත් ප්‍රේමදාසට ඒක කියන්න පුළුවන්ද? රනිල්ටත් ඒක කියන්න බැහැ. රනිල්, සජිත් දෙන්නම ඔය පිල් මාරු කරන කට්ටිය අරන් තිබෙන්නේ ඇමතිකම් දෙන්න පොරොන්දු වෙලා. ඒ නිසා ඒ අයගෙන් ‘ඔය ගොල්ලෝ ඇමති මණ්ඩලය 25 ට සීමා කරනවාද කියලා අහලා වැඩක් නැහැ. නාමල් ගෙන්නම් කොහොමත් අහලා වැඩක් නැහැ.

විශ්‍රාම වැටුප අහෝසි කරනවා කිව්වොත් සජිත්ගේ අම්මා එයාව ගෙදරිනුත් එලවනවා. සජිත් වෙලාවක කියනවා ‘මම මගේ හැම ලේ බිංදුවකින්ම ජනතාවට සේවය කරනවා’කියලා. ආයිත් කියනවා මම මැරෙන්නෙ කවදා හරි ජනතාවත් සමගයි කියලා. ඒ නිසා එයාගෙ කිට්ටුවට නම් යන්න එපා. මෙවැනි පිස්සු කථා කියන අයද මේ රටේ අනාගත ජනාධිපතිකම ඉල්ලන්නේ. නීතියේ ආධිපත්‍යය තහවුරු කරන, ආර්ථිකය ශක්තිමත් කරන, ජීවත් වෙන්න සුදුසු රටක් හදන එක තමයි අපේ මූලිකම වගකීම.  අද ලෝකයේ රටවල්වල වෙසෙන අපේ රටේ සහෝදර, සහොදරියන් බලාගෙන ඉන්නවා අපේ ආණ්ඩුවක් බලයට ආවම මෙරටට ඇවිල්ලා මේ රට ගොඩනැගීමේ කාර්යයට අපිත් ක්ක අත්වැල් බැඳගන්න. ඒ වගේම අතිවිශාල පිරිසක් අපේ මැතිවරණ ව්‍යාපාරයට එන්න සූදානම් වෙලා ඉන්නවා. දැනටමත් සමහරු ලංකාවට ඇවිල්ලා ඉවරයි. මේක ස්වභාව ධර්මයේ දායාද සමව බෙදී ගිය රටක්. මේ රට හදන්න බැරිවෙලා තියෙන්නේ රටට ආදරය කරන දේශප්‍රේමී පාලනයක් නැතිකම නිසයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනතාව එකතු කරගත් රටේ ආර්ථිකය ගොඩනැගීමට ඔවුන්ට සාධාරණ අවස්ථා විවර කරන පාලනයක් අපි ගොඩනඟනවා.

සැප්තැම්බර් 21 උදාවන්නේ, මේ රට අලුත් දිසාවකට හරවන හැරවුම් ලක්ෂයයි. අනුර සහෝදරයාගේ නායකත්වයෙන් රට අලුත් දිසාවකට, යහපත් දිසාවකට දියුණුවෙන් දියුණුවට ගෙනයන යුගයයි. උතුර, දකුණ, බටහිර, නැගෙනහිර අපි සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන රට හදා අපේ ප්‍රාර්ථනා සඵල කර ගන්නා යුගයයි

සැප්තැම්බර් 22 ප්‍රතිඵල ලැබෙනකොට අපට ජනාධිපති සහෝදරයෙක් ලැබේවි - රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි මහතා ‍ - අපේ තරුණ තරුණියො ජීවත් වෙන්න පුළුවන් රටක් ගැන සිහින මැව්වා. ඒත් ඔවුන් අද වෙනකොට සිහින මවන්නෙ පාස්පෝට් එක හදාගෙන මේ රටින් පැනලා යන්නෙ කොහොමද කියලා. ඒ තත්වය අපි වෙනස් කරන්න ඕනෑ. උගතුන් රට හැර යාම මනින ලෝක පියසාර දර්ශකය කියලා මිනුමක් තිබෙනවා. එකේ බින්දුව වි සිට දහය දක්වා විචලනයක් තිබෙනවා. අපේ රට ඉන්නේ රතු කලාපයේ. ඒ කියන්නේ මේ අගය 8.4 ඉක්මවා ගිහිල්ලා. අපේ තරුණ තරුණියො වර්ග සැතපුම් 65,610 ඇතුළෙ ම ඉන්න කියනවා නෙමෙයි. ඔවුන් ලෝකය දකින්න ඕනෑ. අත්දැකීම් ගන්න ඕනෑ. හැබැයි ඔවුන් නැවත මේ මව්බිමට එන්න ඕනෑ. ඒකට කියන්නෙ බුද්ධිගලනය නෙමෙයි. ඒකට කියන්නෙ බුද්ධි සංචරණය කියලා. අපි බුද්ධිගලනය නවත්වලා ඒ මානව සම්පත රට වෙනුවෙන් යොදා ගන්න අවශ්‍යයි.

ජාතික ජන බලවේගය ප්‍රතිපත්ති සකස් කරන විට ඒ සියල්ල සලකා බලමිනුයි සැලසුම් සකස් කර තිබෙන්නේ. අනුර සහෝදරයා ගිහින් රතන හාමුදුරුවන්ගෙන්, ළමා රෝග විශේෂඥයින්ගෙන් කෘෂිකර්මය ගැන ඇහුවෙ නැහැ. ඒ ක්ෂේත්‍ර පිළිබඳ වෘත්තීයවේදීන්ගෙන්, විද්වතුන්ගෙන්, අත්දැකීම් තියෙන ගොවීන්ගෙන් තමයි ඇහුවේ. ධීවරයින් පිළිබඳව, ප්‍රවාහනය පිළිබඳව ආදී වශයෙන් සැලසුම් හැදුවෙ එහෙමයි. දේශපාලන පක්ෂයක් විසින් ලංකා ඉතිහාසයේ පළමු වතාවට පර්යේෂණ සහ සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ ජාතික ජන බලවේගයයි. වෘත්තීයවේදීන්ට දක්වන වටිනාකම සහ ඔවුන්ගෙන් ප්‍රයෝජන ගැනීම අප අගය කරනවා. අපි මෙතන හිටගන්නේ ඒ නිසයි.

අපේ රටේ මිනිස්සු හිටියෙ දේශපාලනේ නළලෙ කොටලා තියෙන දෙයක් වගේ. තාත්තගෙන් පුතාට, පුතා නැත්නම් බෑණාට වගේ පවුල ඇතුළෙ දේශපාලනයක් තිබුණා. සමහර පවුල් ජීවත් වුණේ දේශපාලනය උරුමයෙන් අරගෙන ආවා වගේ. ඉතිහාසයේ පළමු වතාවට අනුරාධපුරේ ගොවි පුතෙක් ප්‍රධාන පුටුව ගැනීමට නියමිතව තිබෙනවා. පාලකයින් පාරෙ යනකොට අපි කාණුවලට බහින්න සිදුව තිබුණා. ඔවුන්ගේ රථවලට ඉඩදෙන්න සිදු වුණා. මින් පස්සෙ රටේ පාලකයත් ඔබ වගේම සාමාන්‍ය පුරවැසියෙක් ලබන පහසුකම් ලබන වෙනස තමයි, මේ ජයග්‍රහණයෙන් සිද්ධ වෙන්නේ. පාලකයින්ගේ හිස් රැස් වළලු අවසන් වෙනවා. නාස්තිකාරී වියදම් අහෝසි කළ යුතු කාලය එළඹ තිබෙනවා. ලබන සැප්තැම්බර් 22වැනිදා ප්‍රතිඵල කියලා ඉවර වෙනකොට මේ රටේ ජනාධිපති සහෝදරයෙක් බිහිවෙන බව අපට විශ්වාසයි.