ආර්ථිකඋණුසුම් පුවත්කාලීන

ජපානයේ නිපොන් පදනමේ සභාපති හා ජනපති අතර හමුවක්

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කැප වෙමු

ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපනය නඟා සිටුවීමට මෙන්ම ආබාධිත ප්‍රජාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වන බව මෙහිදී නිපොන් පදනමේ  සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා පැවසීය.

නිපොන් පදනමේ  සභාපති යොහෙයි සසකාවා මහතා එසේ පවසන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවූ අවස්ථාවේ දී ය.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යභාරය වන බවත් එම වැඩපිළිවෙළට සමගාමීව අධ්‍යාපනය නඟාසිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා මෙම හමුවේදී සඳහන් කර සිටියේය.

විශේෂයෙන් යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා සහාය ලබා දීමට තම සංවිධානය අපේක්ෂා කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

එසේම මෙරට ග්‍රාමීය ජනතාවගේ දුප්පත්භාවය තුරන් කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ නව රජය ගෙන යන වැඩපිළිවෙළ  වෙනුවෙන්  විශේෂ ව්‍යාපෘති ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු මෙහිදී සඳහන් කළේය.

දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳවද මෙහිදී අවධානයට ලක් විය.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති  ජ්‍යෙෂ්‍ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) ,  සසකාවා සෞඛ්‍ය පදනමේ සභාපති ආචාර්ය ටකහිරෝ නන්රි (Takahiro Nanri), නිපොන් පදනමේ විධායක අධ්‍යක්ෂ ඉචිරෝ කබසාවා (Ichiro Kabasawa),   යන මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.