උණුසුම් පුවත්

ජාතික ජන බලවේගයේ නීතිඥ හමුව

අධිකරණ ඇමතිත් ජනාධිපතිත් පෞද්ගලික අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කරනවා - නීතිඥ සුනිල් වටගල

නීතිපතිවරයාට සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කර තිබූ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පරාජයට පත් කළා. ඒ සම්බන්ධයෙන් තදබල කෝපයකින් ඉන්න ජනාධිපති, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳව නිර්දේශය ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය පිටින් කෝපය පිට කළා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ශ්‍රේෂ්ඨාධිකරණයට මඩ ප්‍රහාරයක්ද එල්ල කළා. එයින් නොනැවතී පාර්ලිමේන්තු වරප්‍රසාදවලට පිටින් පවා නින්දනීය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස සිදු කළා. ඒ වගේම විජේදාස රාජපක්ෂ ඇමතිවරයා පහළ අධිකරණවල විනිසුරුවරුන්ට ප්‍රහරයක් එල්ල කළා. තමන්ගේ නඩු පරාජය වීම ගැන කේන්ති ගිය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ ඇමතිවරයා ලෙස ප්‍රහාරයක් දියත් කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් පැවැති නඩු තුනක් පිට පිට පරාජය වීමෙන් උරණ වීම ඒ ආකාරයෙන් පිරිමසා ගත්තා. රනිල් වික්‍රමසිංහ අවස්ථා ගණනාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කොන්ද කඩන්න හැදුවා.
ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ තීන්දුව ලබාදුන් ප්‍රීති පද්මන් සූරසේන විනිසුරුවරයාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස අතුරු නියෝජයක් ලබාදුන්නා. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් එම අතුරු නියෝගය ලබාදුන් විනිසුරුවරු තිදෙනාම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් හමුවට ගෙන ආ යුතු බවට තමන්ගේ ගෝලයෙකු ලෙස සිටින ප්‍රේමනාත් සී. දොලවත්ත යොදවා ප්‍රකාශයක් කළා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව ප්‍රකාශ කරමින් ජනතාව ඉදිරියේ අධිකරණයට තිබෙන විශ්වාසය බිඳ දැමීමට ඔහු උත්සාහ කරමින් සිටිනවා. අධිකරණ ඇමතිවරයාත් පහළ අධිකරණවල විනිසුරුන්ට ප්‍රහර එල්ල කරමින් තමන් නඩුවලින් පරාජය වීමේ කෝපය හෙළි කළා. අධිකරණය ආරක්ෂා කරන්න ඉන්න ඇමති පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණයට අපහාස කරනවා.
මේ විජේදාස රාජපක්ෂම 2023 දෙසැම්බර් මාසේ 05 වැනිදා පාර්ලිමේන්තුවේදී රිෂාඩ් බදුර්දීන්ගෙන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කළ කතාවක් මම දක්වන්නම්. ඔහු එදා කීවේ පාර්ලිමේන්තුව තුළ සිට කරන කතා මගින් අධිකරණයයි පාර්ලිමේන්තුව අතර පවතින සහසම්බන්ධතාවලට හානි සිදුවිය හැකි බවයි. ඔහු එම ප්‍රකාශය අවසන් කර තිබෙන්නේ අධිකරණයේ කටයුතු පාර්ලිමේන්තුවේදී විවේචනය නොකළ යුතුයි කියලා. එදා එහෙම කී අධිකරණ ඇමති 19වැනිදා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාදවලට මුවාවෙලා තමන්ගේ නඩු පැරදීමේ පුද්ගලික කරුණු සම්බන්ධයෙන් ප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කළ කතාවට සම්පුර්ණයෙන්ම පටහැණි කතාවක් විවෘත තැනකදී කියනවා. “අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදී තිබෙන තිීන්දුව නිසා මේ රටේ කාන්තාවන්ට කිසි දවසක සමානත්වයක් ලබා ගන්න බැහැ. ඒ තීන්දුව මේ රටේ ව්‍යවස්ථාවටත් පාර්ලිමේන්තුවටත් පටහැණි ලෙස සලකලා. අපේ අරමුණ කාන්තාවන්ටත් පිරිමි අයට හා සමාන අයිතිවාසිකම් සඳහා අවස්ථාවක් ලබාදීමයි. ජාත්‍යන්තර කාන්තා සංවිධාන සියල්ලම ඒ අරමුණෙන් ගෙනත් තිබෙනවා. මගේ මතය අනුව ඒ ගිවිසුම්වලට බාධා කරන්න පාර්ලිමේන්තුවටවත් අධිකරණයටවත් විධායකයටවත් බැහැ. අපි කැපවෙලා ඉන්නේ ඒ අරමුණ ඉෂ්ට කරන්න. ඒ නිසා බයක් තියාගන්නේ නැතිව කටයුතු කරන්න මම පාර්ලිමේන්තුවේ සියලු දෙනාටත් කීවා.” ඔහු මේ කියන දේ හරි පැහැදිලියි.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලින් පිටතදී තනිකරම විකෘති අදහසක් කියනවා. එළියට ඇවිත් මේ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වී කාන්තා අයිතිවාසිකම් ගැටගසා දැම්මා වගේ කතාවක්. කාන්තා අයිතිවාසිකම් ගැන තීන්දුවේ සඳහන් නොවෙන දෙයක් එළියට ඇවිත් කියනවා. මේ කතාව සම්බන්ධයෙන් නම් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පවරන්න සිදුවෙනවා. විධායකයට ඕන ඕන ආකාරයට පාර්ලිමේන්තුව තුළ කියන කතා එළියට ඇවිත් කියන්න බැහැ. රනිල් වික්‍රමසිංහගේ මේ කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පනතටත් පටහැණියි. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවටත් පටහැණියි. ඒ අනුව අධිකරණයට කරන ලද අපහාසය සම්බන්ධයෙන් නඩු පැවරීමේ හැකියාව අපේ නීතිඥ මණ්ඩලයත් සලකා බලමින් ඉන්නවා. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් පැවරීමට අපි බලාපොරොත්තු වෙනවා. අධිකරණ ඇමතිත් ජනාධිපතිත් දෙන්නාම පටු පෞද්ගලික දේශපාලන අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කරනවා. ජාතික ජන බලවේගයේ නීතිඥයන් ලෙස අපි මේ තත්වය හෙළා දකිනවා. මෙවැනි පටු අරමුණු වෙනුවෙන් අධිකරණය හෑල්ලු කිරීමට ඉඩ නොතබන බවත් අවධාරණය කරනවා.
අධිකරණයත් එක්ක සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා
ජාතික ජන බලවේගයේ නීතිඥයෝ සංවිධානයේ ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම
අධිකරණය සම්බන්ධයෙන් ඉතා ඛේදනීය තත්වයක් ඇතිවී තිබෙන බව අපට කියන්න සිදුවී තිබෙනවා. ලංකාවේ සමහර වෘත්තීන්හි නියැලී සිටින අයට තමන්ට එල්ල වෙන විවේචනයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. අධිකරණ විනිසුරුවරුන් කියන්නෙත් එවැනි පිරිසක්. ඔවුන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හෝ වෙනත් තැනක හෝ පුවත්පතක පළ කර තිබෙන දෙයක් සම්බන්ධයෙන් පිළිතුරු දීමේ හැකියාවක් නැහැ. අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විවිධ විනිශ්චයකාරවරුන්ට චෝදනා මාලාවක් එල්ල කළා. සමහර විනිසුරුවරුන් නඩු විභාග කළ ආකාරය ගැනත් චෝදනා කළා. විජේදාස රාජපක්ෂ මහතා පාර්ශ්වකරුවෙකු වූ නඩුවකදී අගතියක් වූ බව ප්‍රකාශ කළා. එවැනි ප්‍රකාශයත් සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ හැකිද? සාමාන්‍ය මනුෂ්‍යයෙකුට කළ හැක්කේ ඉහළ අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමයි. විනිසුරුවරයෙකුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අගතියක් ඇති බව හැඟෙන්නේ නම්, ඒ නඩුව විමර්ශනය කිරීමට වෙනත් විනිසුරුවරයෙකු පත්කරන ලෙස ඉල්ලා සිටීමේ හැකියාවක් තිබෙනවා. තමන්ගේ නඩුවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී මෙලෙස පහර ගැසීමෙන් පසුව ඒ විනිසුරුවරුන්ට වෙනත් නඩුවක් විභාග කළ හැකිද යන ප්‍රශ්නය මතුවෙනවා. මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ පසු වෙනත් විනිසුරුවරයෙක් යටතේ නඩු ඇසුවත් විවෘත මනසකින් බලන්න පුළුවන්ද? ව්‍යවස්ථාදායකයෙන් හෝ විධායකයෙන් තමන්ට පීඩනයක් එල්ල කිරීමේ හැකියාවක් තිබේදැයි ඉදිරියේදී බැලිය හැකියි.