උණුසුම් පුවත්කාලීන

ජාතික ජන බලවේගයේ බැංකු හා මූල්‍ය සංසදයේ කොළඹ දිස්ත්‍රික් සමුළුව

කොළඹට කේන්ද්රගත වී ඇති ආර්ථිකය ගමට ගෙන යමින් ආර්ථිකය ප්රසාරණය කරනවා

 

අපි ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී තිබෙනවා. එක බලය ලබා ගැනීම. දෙක බලය ලබා ගත්තාටපසුව රට ගොඩනැගීම. මේ අභියෝග දෙකක් වුවත් බලය ලබාගැනීමේ මාවතේම තමයි රට ගොඩනැගීමේ මාවත තිබෙන්නේත්. පසුගිය කාලවල අපේ රටේ බලය ලබා ගැනීම සඳහා එක මාවතකුත් රට ගොඩනැගීම සඳහා තව මාවතකුත් තෝරාගත්තා. සාමාන්‍යයෙන් අපේ රටේ ආණ්ඩු මාරුවුණේ අනෙකාට එරෙහිව. 2005 ආණ්ඩුව උතුරේ දෙමළ ජනතාවට එරෙහිව ගොඩනැඟුණා. 2010 යුද ජයග්‍රහණය, අනෙකාට එරෙහිවත්, 2019 මුස්ලිම් ජනතාවට එරෙහිව ගොඩනැගුණා. නමුත් එය සාර්ථක මාවතක් නොවේ. ජනතාව  සියල්ලන්ම සමගිකර ගන්නා මාවතකින් මේ රට පරිවර්තනයට ලක්කරන්න ඕනෑ. අපි ජනතාව සංවිධානය කරන විට අභියෝගයට මුහුණ දෙන තැන් දෙකක් තිබෙනවා. එකක් තමයි ග්‍රාමීය වශයෙන් පතුලේම ජීවත් වෙන ජනතාව. අනෙක් අයගේ රැස්වීම්වල එවැනි අයගේ නියෝජනය තරමක් වැඩි බව පේනවා. ඔවුන් අසරණභාවයට පත්කරලා, ආර්ථික වශයෙන් බිඳවැටීමකට ලක්කරලා, ඔවුන්ට දරුවාට පොත්,  නැතිනම් සුපර් මාර්කට් එකෙන් බඩු මිලදී ගන්න කූපන් එකක් දෙන්න පොරොන්දු වෙමින් මේ කැඳවීම් කරනවා. මේ පතුලේම සිටින ජනතාව මේ කාර්යයට යොදවා ගන්නේ කෙසේද කියන අභියෝගය අපට තිබෙනවා. සමාජයේ යම් උඩ තලයක සිටින අය අපට සමීප නැහැ. ඔවුන්ට අපේ කතා දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි සිය වතාවකට වඩා පිළිතුරු දී ඇති ප්‍රශ්න තවත් ඔවුන්ගේ ප්‍රශ්න බවට පත්වී තිබෙනවා. අපට ගැටෙන්නේ නැති අවධානය නොලැබෙන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම වෙත අපේ මතය ගෙන යන්නේ කොහොමද කියන එක අපේ අවධානය යොමු විය යුතු වෙනවා. එය අපේ දෙවැනි අභියෝගයයි. ඒ කණ්ඩායම වෙත මගේ අවධානය යොමු කිරීමට මම උත්සාහ ගන්නවා.

අපි ආර්ථික ක්ෂේත්‍රය, නීතියේ විධානයේ ආධිපත්‍යය, අකාර්යක්ෂම රාජ්‍ය පාලනය, අපරාධ වැඩිවීම ආදී රාජ්‍යයේ සියල්ලම පද්ධතියක් ලෙස කඩා වැටී තිබෙන රාජ්‍යයක්. අපට සමීප ක්ෂේත්‍ර අපට වැඩියෙන් දැනෙනවා. අපට සමස්ත පද්ධතියේම පරිවර්තනයක් අවශ්‍යයි. පසුගිය සියවස ලෝකයට විශාල ජයග්‍රහණ ගෙනත් දීපු සියවසක්. ලෝකයේ බොහෝ රටවල් වර්තමාන සංවර්ධන මට්ටම අත්පත් කර ගැනීම සඳහා අත්තිවාරම සකස් කළේ විසිවැනි සියවසේ. අපි විසිවැනි සියවස අත්හැරපු මිනිස්සු. අපි අවුරුදු 450කට ආසන්න කාලයක් කවර හෝ ආධිපත්‍යයකට යටත් වී සිටි ජාතියක්. අවුරුදු 133ක් මුළුමනින්ම සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අපි 1948 නිදහස ලබනවා. විවිධ භාෂාවන්, කුල බෙදීම්, ග්‍රාමීය දුප්පත්භාවය විවිධාකාරයෙන් පැතිරී තිබුණු ඉන්දියාව 1947 නිදහස ලබන විට, නේරු, ගාන්ධි, පාතෙල්, සුභාෂ් චන්ද්‍රබෝස්ලට ඉන්දියානු ජාතික කොඩිය යටතට සියලුම ජනතාව කැඳවන්න හැකියාව ලැබුණා. නිදහස ලබා ගන්නා විට තිබූ දෘෂ්ටිවාදය අද හඳට යන ඉන්දියාවක් නිර්මාණය කර තිබෙනවා. ඒ දැක්ම තමයි අබ්දුල් කලාම් වැනි කෙනෙක් ජනාධිපති වීම, සික් ජාතිකයෙක් අග්‍රාමාත්‍යවරයෙක් වීම, කුල හීන යැයි සම්මත කාන්තාවක් ජනාධිපති ධුරයට පත්වන්නේ. ඒ දැක්ම තමයි අද දැවැන්ත සංවර්ධනයේ පිම්මක් පැන තිබෙන්නේ. වියට්නාමය, චීනය, දකුණු කොරියාව වැනි රටවල්වලට ඒ දැක්ම තිබුණා.

අවුරුදු 133 ක් සුදු අධිරාජ්‍යවාදීන්ට යටත් වී සිටි අපට 1948 නිදහස ලබන විට ජාතිය නැගිටීමේ විශාල උද්දීපනයක් හදන්න තිබුණා. අද අපි නිදහස සමරන විට ජාතික කොඩිය ඔසවන්න සිදුවෙන්නේ චක්‍රලේඛනයක් නිකුත් කරලා. අපි ලබාගන්නා නිදහස ජනතාවගේ අධ්‍යාත්මය පුබුදුවන්න හෝ රටට, ජාතියට නව අවදිකිරීමක් දක්වා ගෙනයන ගමනක් බව කිසිවෙකුටත් ඒත්තු ගැන්වී නැහැ. අපි නිදහස ලබන විට අපේ රට ගෙනයා යුතු දිසාව පිළිබඳ ආර්ථික දැක්මක්, සැලැස්මක් තිබුණේ නැහැ. අපේ ප්‍රතිපත්තිය වුණේ අනෙකාට එරෙහිව කෙටවීම. ඉන්දියාවේ ගමන් මග එකතු කිරීමේ ඉතිහාසයක් ගොඩ නැගෙන විට අපි එකිනෙකා කුළල් කා ගත්තා.

අපේ රටේ දිසානතිය පිළිබඳ එළියේ වෙනම සාකච්ඡාවක් තිබුණා. එහි ප්‍රබලයෙක් ඉංජිනේරු විමල සුරේන්ද්‍ර මහත්මා. ඉංග්‍රීසි ඉංජිනේරුවන්ගේ ආධිපත්‍යයට එරෙහිව විමල සුරේන්ද්‍ර මහතා කියනවා “ලංකාව විද්‍යුත්කරණයට යා යුතුයි” කියා. ඔහු 1919 දී ලක්ෂපාන බලාගාරය යෝජනා කරනවා. ඔහු කියනවා “ලක්ෂපාන බලාගාරයෙන් නිපදවන විදුලි අතිරික්තයෙන් විදුලි කෝච්චි දුවන්න ඕනෑ.” කියලා. අද ඉන්දියාව ජාතික සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා, 2030 වෙන විට තමන්ගේ සියලුම දුම්රිය විදුලියෙන් දුවන දුම්රිය බවට පත්කරන්න. අපි මොකද කරන්නේ. ඉන්දියාවෙන් ඉවත් කරන කෝච්චි පෙට්ටි මෙහෙ ගේනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතා අපේ ඖෂධ ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද යන්න ප්‍රතිපත්තියක් ඉදිරිපත් කර තිබුණා. ඔස්ටේ්‍රලියානු විද්‍යාඥයෙක් ප්‍රකාශ කර තිබුණා “ලංකාව යනු තැනිතලාවක පිහිටා තිබෙන කඳු මුදුනක්ය. ඒ කඳු මුදුනේ දැල්වෙන පහන සේනක බිබිලේය” කියලා. බොහෝ රටවල්වල ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ නිර්නායකයන්ට මඟ පෙන්නුවේ සේනක බිබිලේයි. අපේ රටේ ඖෂධ සංස්ථාව ගොඩනගා අවුරුදු තුනයි හිටියේ. ඔහුව ඇදලා එළියට දැම්මා. මාටින් වික්‍රමසිංහ, සරත්චන්ද්‍රලාගේ සාකච්ඡාවක් එළියේ තිබුණා. ඒ සියල්ලම යටපත් කරගත් දේශපාලන අධිකාරියක් ගොඩනැගුණා. දේශපාලන අධිකාරිය ලෝකයේ ඇතිවෙන නව වෙනස්කම් පිළිබඳ කල්පනා කළේ නැහැ. ඔවුන් අතීතයේ තිබූ ශ්‍රී විභූතිය නැවත නැවත පුනරුච්චාරණය කරමින් අපව ඒ තුළ හිරකරමින් ඒ මත ඔවුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය එළනු ලැබුවා.