විදේශවල ඉන්න අපේ සහෝදරවරු ශ්‍රී ලංකාවේ කෑම වර්ග සකස්කර විකිණීමෙන් මැතිවරණ අරමුදල තර කිරීම ඔවුන් ගෙන යන එක වැඩක් - ටිල්වින්.
ජාතික ජන බලවේගය සාර්ථක වැඩක් කළාම ඒක කොපි කරන්න උත්සාහ කරනවා. බැරි වුණාම මඩ ගහන්න පටන් ගන්නවා. අනුර සහෝදරයාගේ සාර්ථක ලන්ඩන් සංචාරය සම්බන්ධයෙන් නිර්මාණාත්මක ප්රචාරක වැඩසටහනක් කර තිබුණා. තට්ටු දෙකේ බස්, ගොඩනැගිලි යොදා ගනිමින් නිර්මාණාත්මකව කර තිබූ ප්රචාරක වැඩවලට සල්ලි කොහෙන්ද කියා ඔවුන් කලබල වෙලා තිබුණා.
ඒ රටේ බස්වල ඔය වගේ ප්රචාරක කටයුතු කරන්න බැහැ කියලාවත් දන්නේ නැති අය තමයි බලය ඉල්ලන්නේ. මැයි දිනය පවත්වන්න ටිකට් ගහලා සල්ලි හෙවූ බව මහින්දානන්ද අලුත් ගමගේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මැයි දිනයේ වියදම් පියවා ගන්න ජනතාවගෙන් සල්ලි එකතු කිරීමේ ටිකට් පත් අපි ගහන්නේ 1978 ඉඳලා. තව ප්‍රචාරයක් ගෙන ගියා කැනඩාවේ රැස්වීම්වලට බත් පැකට් දීලා ගෙන්වා ගත්තා කියලා. අපේ විදේශගත සහෝදරවරුන් මාලිමාව ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සාමූහිකව විවිධ ආර්ථික වැඩසටහන් කරනවා. විදේශවල ඉන්න අපේ සහෝදරවරු ශ්‍රී ලංකාවේ කෑම වර්ග සකස්කර විකිණීමෙන් මැතිවරණ අරමුදල තර කිරීම ඔවුන් ගෙන යන එක වැඩක්. කැනඩාව, ප්‍රංශය වෙනත් යුරෝපා රටවල්, ඉතාලිය වගේ රටවල් ගණනාවක අපේ සහෝදරවරු කරන ඒ වැඩ ගැන ඔවුන්ට හිතන්නවත් බැහැ. අපේ දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සංවාදයක් ඇත්තේම නැතිව ඔවුන් අවලාද, බොරු සහ විකෘති කිරීම් දිගටම ගෙනයනවා. ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපට ඇත්තටම තිබෙන්නේ කනගාටුවක්.
ජාතික ජන බලවේගය බලයට පත්වී පුද්ගලික දේපළ පවරාගන්නා බවටත් ප්‍රචාරයක් ගෙන ගියා. ඇත්තටම අපි සිදුකරන්නේ අපේ නිෂ්පාදනය වැඩි දියුණු කර, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. මේ වන විටත් දේපළ නැති අයටත් ජීවත් විය හැකි දේපළක් ඇති අය බවට පත්කිරීමයි. සරදියල්ගේ ක්‍රියාවලිය අපේ ප්‍රතිපත්තිය නොවෙයි. ඇත්තම ගත්තොත් දේපළ අහිමි කරන්නේ ඔවුනුයි. කර්මාන්ත ලක්ෂ ගණනක් වැහිලා, දේපළ බැංකුවලට සින්න වෙලා දරාගන්න බැරි බදු බරක් පටවලා දැන් අලුතින් දේපළ බද්දකුත් ගහන්න යනවා. එහෙම කරලත් ඒ ගොල්ලෝ ආර්ථිකය හදන බවත් මාලිමාවෙන් දේපළ පවරා ගන්නා බවත්, තවමත් කියමින් යනවා. රට විනාශ කරලා, ජනතාව හිඟමනට දාලා, ඒගොල්ලන් ආවාම රට හදන බව තවමත් කියනවා. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයා ඇතුළු නායකයන් ඉලක්ක කරගෙන බාල මඩ ගැසීමේ ප්‍රචාර ගෙන යනවා. ඔවුන්ට වෙන කියාගන්නවත් දෙයක් නැති නිසා පසුගිය කාලයේ විශේෂයෙන්ම ස.ජ.බ.යේ කණ්ඩායමක් හඳුන්නෙත්ති සහෝදරයා ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රහාරයක් දියත් කර තිබෙනවා. මහ බැංකු වංචාව යට ගහන්න ඔවුන් ක්‍රියාකළ අවස්ථාවේ එයට ඉඩ නොදී කෝප් කමිටුවේ සභාපති ලෙස හඳුන්නෙත්ති සහෝදරයා කටයුතු කළා. දැන් ස.ජ.බෙ. ඉන්න ඒ වෙලාවේ යූ.එන්.පී.යේ ගොඩක් අය කෝප් කමිටු වාර්තාවට ෆුට් නෝට් දමමින් රනිල්ව බේරන්න ක්‍රියා කළා. හඳුන් සහෝදරයා සම්බන්ධයෙන් ඒ පරණ තරහත් ඔවුන්ට තිබෙනවා. අපි ඔබ සියලු දෙනාට අවධාරණය කරන්නේ “මහත්වරුනි, ඔය ගොල්ලන්ගේ පක්ෂ වගේ නොවෙයි ජාතික ජන බලවේගය. අපේ කිසි කෙනෙකුට තනිකරලා ගහලා වට්ටන්න බැහැ. අපි ඒ සියලු දේට සාමූහිකව මුහුණ දෙනවා” කියලා. ඕනෑ අභියෝගයකට එක්ව මුහුණ දී ජයගත හකි හයියක් අපට තිබෙනවා.
ලාල්කාන්ත සහෝදරයා සම්බන්ධයෙනුත් ඔය වගේම විකෘතියක් ගියා. “සමහර අය කියනවා අපි ආවොත් ව්‍යාපාර පවරා ගන්නවා කියලා.” මේ මාතෘකාව විකෘති කරන අය “සමහර අය කියනවා” යන කොටස කපනවා. ඒ වගේම “කියලා” යන වචනයත් කපා හැරියාම සම්පූර්ණ විකෘතියක් නිර්මාණය වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ “අපි ආවොත් ව්‍යාපාර පවරා ගන්නවා” යන වාක්‍ය කොටස විතරයි. දැන් කරගෙන යන්නේ මෙන්න මේ කැත, ජඩ, අශික්ෂිත සෙල්ලමයි. ඔවුන්ට ඒ හැර වෙන කරන්න දේකුත් නැහැ. ඔය සෙල්ලමෙන් මාලිමාවේ ගමන නතර කළ නොහැකි බව අපි මේ අයට අවධාරණයෙන් කියනවා. තමන්ගේ පරාජයෙන් බය වී වියරු වැටී ගෙනයන මේ විකෘති සම්බන්ධයෙන් අවධානයෙන් සිට අපේ නිල මාධ්‍යවලින් සහ අපෙන් තොරතුරු ලබා ගන්නා ලෙස අවධාරණය කරනවා. ඒ වගේම සතුරන්ට කියන්නේ මහජනතාව ඉදිරියේ එතරම් ජරාජීර්ණ නොවන ලෙසයි. නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගත හැකි තැන්වලදී නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නවා. අවශ්‍යම තැනකදී පැහැදිලි කිරීම් කරනවා. නොසලකා යා යුතු තැන්වල නොසලකා යනවා. ජනතාවගේ විශ්වාසය සහිතව පාරිශුද්ධ අරමුණක් වෙනුවෙන් අපි දිගටම වැඩ කරනවා.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්
ප්රශ්නය: පැරිස් ක්ලබ් එකේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් අදියරේ තිබෙන බව සඳහන් වෙනවා. මේ සම්බන්ධ අදහස මොකක්ද?
පිළිතුර: බංකොලොත්භාවයෙන් රට මුදා ගත් බව ප්‍රකාශ කරන්න රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන ප්‍රවෘත්තියක් අපි දැක්කා. රනිල් වික්‍රමසිංහලා සහ රාජපක්ෂලාගේත් ඔවුන්ගේ අනෙක් කණ්ඩායම්වලත් බංකොලොත්භාවයේ වැඩ ගැනයි අපි මේ දක්වා පැහැදිලි කළේ. ඔවුන්ට ප්‍රකාශ නිකුත් කිරීමෙන් විතරක් බංකොලොත්භාවයෙන් මිදෙන්න බැහැ. රටේ පාලකයන් කරන ප්‍රකාශ මත බංකොලොත්භාවයෙන් මිදෙනවාද නැද්ද කියලා තීරණය වෙන්නේ නැහැ. රට සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ලැබෙන පිළිගැනීමෙන් පමණයි එය සිදුවන්නේ.
විදේශ ණය කපා හැරීම ගැන සාකච්ඡාවට ගියේ මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව සේවක අර්ථ සාධක අරමුලේ ප්රතිලාභ කපා හැරීමෙන් පසුවයි. දෙවන ණය වාරිකය අනුමත කළාට පස්සේ තවත් බදු වැඩිකරන්න කොන්දේසි පැනවූවා. ආරෝපිත කුලී බද්දක් දේපළවලට අය කරන්න යන්නෙත් මේ කොන්දේසිය අනුවයි. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා දෙකට සිදුවී තිබෙන්නේ කුමක්දැයි තවමත් පැහැදිලි කර නැහැ. අනෙක් පැත්තෙන් විදේශ ණය හිමිකරුවන් සමග සාකච්ඡා අතරමැද තිබෙන්නේ. ඒ සියලු ණය හිමිකරුවන්ට අසමාන සැලකිල්ලක් නැතිව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් තවම එකඟතාවක් නැහැ. මේ එකඟතාවයට පැමිණිය හැක්කේ, සියලු පාර්ශ්වයන්ගේ එකඟතාවන් ලබා ගත හැකි ජන වරමක් සහිත පාලනයකට පමණයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපව හමුවූ අවස්ථාවේ අප පැහැදිලිව ප්‍රකාශ කළේ මූල්‍ය අරමුදලේ කොන්දේසි පිළිබඳව සමාලෝචනය කිරීමේ සාකච්ඡා පවත්වන බවයි. රට හමුවේ අපි ඒ බව ප්‍රකාශ කළාම විශේෂයෙන් ස.ජ.බ. අය අපේ ඒ ප්‍රකාශය විහිළුවට ලක්කර දැන් ඔවුන් කියන්නෙත් ඔවුන්ගේ පාලනයක් යටතේ මේ ණය කොන්දේසි පිළිබඳව නැවත සාකච්ඡා කරන බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ස්වෛරිත්ව බැඳුම්කර ණය හිමියන් ඇතුළු අපට ණය ලබාදී තිබෙන පාර්ශ්ව සමග අපි අවධාරණයෙන් කියා සිටියේ අපේ පාලනයක් යටතේ නැවත සමාලෝචන සිදුකරන බවයි. ඒ වෙනුවෙන් ජන වරමක් සහිත පාලනයක් පිහිට විය යුතුයි. එසේ නොකර රනිල් වික්‍රමසිංහ කටවචනයෙන් බංකොලොත්භාවයෙන් මිදුණා කීවාට සත්‍ය වශයෙන්ම එසේම සිදුවන්නේ නැහැ.
මෙම මාධ්‍ය හමුවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති සහ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්සද එක්ව සිටියහ.
