උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික

ජාතික වැදගත්කමකින් යුක්ත සිදුවීම් වාර්තාකරණයේදී සියලු ජනමාධ්‍ය ආයතන වෙත සම අවස්ථා ලබාදීම රජයේ වගකීමක්

- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාලකයින්ට කියයි.

ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර ලේක්හවුස් සමාගමට අයත් සන්ඩේ ඔබ්සර්වර් ජනමාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරාට මහතාට පහරදී, බියවද්දා පළවාහැරීමේ සිදුවීමක් පිළිබඳව  ඔහු විසින් මහනුවර පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිකුත් කරැති නිවේදනකින් පාලකයන්ට මෙසේ ප්‍රකාශ කර ඇත.

2026 / 04 / 25

 මාධ්‍ය නිවේදනයයි

 ජාතික වැදගත්කමකින් යුක්ත සිදුවීම් වාර්තාකරණයේදී සියලු ජනමාධ්‍ය ආයතන වෙත සම අවස්ථා ලබාදීම රජයේ වගකීමක්. මාධ්‍යවේදී බුවනෙකගේ වෘත්තීය කාර්යය අවහිර කිරීම හෙළා දකිනවා.                        

- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

ජාත්‍යන්තර අවධානය දිනා ගත් සාම පාගමන වාර්තාකරණයේ නිරතව සිටි ලේක්හවුස් ඡායාරූප ශිල්පී බුවනෙක එස්. පෙරේරා මහතාගේ වෘත්තීය කටයුතුවලට බාධා කරමින් බැණ තර්ජනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් ඔහු විසින් පොලිස් පැමිණිල්ලක් සිදු කරනු ලැබ ඇත.

සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සමග අදහස් දැක්වූ බුවනෙක මහතා ප්‍රකාශ කළේ සාම පා ගමන ඡායාරූප ගත කරමින් සිටි ඔහු තල්ලු කර දමමින් බැණ තර්ජනය කළ පුද්ගලයා තමා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස හඳුන්වා දුන්  බවයි. 

එසේම "තමන් චන්දන සූරියබණ්ඩාර" යැයි සඳහන් කළ එම තැනැත්තා,  සාම පා ගමන වාර්තා කිරීමේ අයිතිය පවරා දී ඇත්තේ සිරස නාළිකාවට පමණක් යැයි පැවසූ බවද මාධ්‍යවේදී බුවනෙක මහතා සඳහන් කරයි.

මෙම සිදුවීම මාධ්‍ය වෘත්තිකයෙකුගේ රාජකාරිය වෙත එල්ල වූ අයුතු මැදිහත්වීමක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අදහසයි. එසේම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධූරය වැනි වගකිව යුතු තනතුරක් දරන තැනැත්තෙකු මාධ්‍යවේදීන් කෙරෙහි හැසිරිය යුතු අන්දම මෙය නොවන බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.

එවැන්නෙකුගෙන් පොදු සමාජය අපේක්ෂා කරන්නේ වඩාත් පරිණත වෘත්තීයමය සහ ආචාර සම්පන්න හැසිරීමකි.

එබැවින් මෙම සිදුවීම මාධ්‍ය සමාජයේ කම්පනයට හා හෙළා දැකීමට හේතුවන්නක් ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දකියි. ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා "දේශපාලන අභිනතීගෙන් තොර පොදු කටයුතුවලදී" ආධානග්‍රාහී නොවී සියලු මාධ්‍ය ආයතන සහ මාධ්‍ය ප්‍රජාවට සම අවස්ථා ලබාදීමේ වගකීමක් දරන මහජන මුදලින් වැටුප් ලබන්නෙක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

එසේම තවත් ස්ථානයකදී පොලිස් නිලධාරීන් පිරිසක්ද "මේක වාර්තා කරන්න පුලුවන් සිරසට විතරයි." යනුවෙන් පවසමින් තමන්ට බාධා කළ බවද මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා අදහස් දක්වමින් වැඩිදුරටත් පැවසුවේය.

මෙම සිදුවීම්වල උත්ප්‍රාසජනක දිගුවක් වන්නේ සාම පාගමන මහනුවර සිට ගමන් අරඹා  ඉදිරියට ඇදෙන අවස්ථාවේ ජනාධිපති මාධ්‍යඅංශයේ ජාත්‍යන්තර වාර්තාකරණ සහ ඡායාරූප මාධ්‍ය උපදේශකවරයා වන අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා මුහුණ දුන් සිදුවීමයි. පා ගමන ඡායාරූප ගත කරමින් සිටි ඔහුද පොලීසියේ මැදිහත්වීමෙන් එළවා  දමන්නට උත්සාහ ගන්නා අන්දම වීඩියෝ සාක්ෂි සහිතව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙත වාර්තා වී ඇත.

මෙම සිදුවීම් දෙකම දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.

එසේම ශ්‍රී ලංකා රජය හා මෙම සාම පාගමනේ ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වගවිය යුතු සියලු පාර්ශවවලින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙලෙස ප්‍රශ්න කරයි.

  • පොදු ජාතික වැදගත්කමක් ඇති කර්තව්‍යයකදී එක් මාධ්‍ය නාලිකාවක් පමණක් අදාළ වාර්තාකරණයේ නිරත වන බවට තීන්දු කරන්නේ කෙසේද? සහ ඊට අදාළ පදනම කුමක්ද?
  • මෙහිදී හිරිහැරවලට ලක් වූ මාධ්‍යවේදී බුවනෙක එස් පෙරේරා රජයට අයත් ලේක්හවුස් ආයතනයේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත නියෝජනය කරන පසුබිමකදී ඔහු මුහුණදුන්  සිදුවීම සම්බන්ධව ලේක්හවුස් පාලනාධිකාරිය දරන ස්ථාවරය කුමක්ද?
  • මෙවැනි අවස්ථාවක් යනු මාධ්‍යය මගින් වාර්තා කිරීමට ලැබෙන කදිම සිදුවීමක් වන අතර නිදහසේ වාර්තා කිරීමට මාධ්‍යයට අවකාශ සැළසෙන පරිදි පෙර සැළසුම් කිරීමට රජය අපොහොසත් වූයේ ඇයි?

සමස්ත සිදුවීමෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවබෝධ කරගෙන ඇත්තේ මීට අදාළව සියලු මාධ්‍යවලට සමබිමක් නිර්මාණය කරදීමට සංවිධාන කටයුතුවල ප්‍රමුඛ වගකීමක් උසුලන රජයේ අදාළ අංශ ආපාහොසත්ව ඇති බවයි. නොඑසේනම් ඔවුන්ගේ අභිලාශය වී ඇත්තේ එක්තරා පාර්ශවයකට පමණක් මාධ්‍ය වාර්තාකරණ ඉඩ සළසා දීමේ කාර්යයයි. එය එසේ වී නම් දේශපාලනික ලැදියාවන් මත කළ අගතිදායක කටයුත්තක් ලෙසද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දකියි. එබැවින් සාම පාගමනේ ඉදිරි අර්ධයේදී සියලු මාධ්‍ය වෙත සමබිමක් නිර්මාණය කර දෙන මෙන්ද මාධ්‍යවේදීන්ට එරෙහි සියලුම ආකාරයේ අවහිරකිරීම් හා බාධාවන් ඉවත් කිරීමට මැදිහත් වන මෙන්ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයේ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.

 ලසන්ත ද සිල්වා  (කැඳවුම්කරු)                                                       දිලීෂා අබේසුන්දර (ලේකම්)