උණුසුම් පුවත්කාලීනදේශපාලනසතියේ සටහන

ජුලි චං රහස් කතා බහෙක

ජගත් ගේ සතියේ සටහන  -  77

නව ආණ්ඩුක්‍රමයක් ඇතිකරනවා - මාධ්‍ය ප්‍රකාශක නලින්ද  කියයි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු හැර ශ්‍රී ලංකාවේ පාලන බලය හිමිකර ගත් අනෙකුත් සෑම ආණ්ඩුවක් ම බලය ලබාගත්තේ 1978 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ විධායක ජනාධිපති ක්‍රමය තමන් බලයට පැමිණි පසු අහෝසි කරන බවට පොරොන්දු දෙමිනුයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය 1994 දී බලයට පැමිණියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට දුන් ප්‍රතිඥාව සමඟ ය. එහෙත් ජනාධිපති ධූරයේ සිටි වසර 6 ක් තුළ ම එම පොරොන්දුව ඉටු කිරීමට ඇයට හැකිවුණේ නැහැ. විධායක ජනාධිපති දූරය අහෝසි කෙරෙන නව ව්‍යවස්ථා කෙටුම්පතක් චන්ද්‍රකි බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් 2000 අගෝස්තු මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහෙත් විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ එම කෙටුම්පත් ගිනි තබා කෑකෝ ගසමින් විරෝධය පෑම නිසා එය සම්මත කර ගැනීමට නොහැකිවුණා.

ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතා ද  2005 දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව පවසා ජනාධිපති දූරයට පත්වූ නමුත් ඔහු කළේ එය අහෝසි කරනවා වෙනුවට විධායක ජනාධිපතිට තවත් බලතල ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යි.

ජාතික ජන බලවේගය ද 2024 ජනාධිපතිවරණය සඳහා නිකුත් කළ ''පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්"නම් වූ මැතිවරණ ප්‍රකාශනයේ 194 වැනි පිටුවේ සඳහන් කොට ඇත්තේ ''නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන අතර එය මහජනතාව වෙත ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදුකොට ජනමත විචාරණයක් ද සමඟ සම්මත කරගනු ඇත"යනුවෙන්.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම හා විධායක බලතල රහිත ජනාදිපතිවරයෙක් පත් කෙරන බවත් නව පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දෙන බවත් එහි වැඩි දුරටත් සඳහන් කොට තිබෙනවා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වී මේ වන විට මාස දහයක් ගතවී ඇතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ.

මේ ගැන පසුගිය අඟහරුවාදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ  දැනුම්දීමේදී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට කැබිනට් ප්‍රකාශක ඇමති දොස්තර නලින්ද ජයතිස්ස මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව ප්‍රකාශ කළා. ඒ කවදාදැයි මාධ්‍යවේදියා යළි ප්‍රශ්න කළ විට ''අවශ්‍ය වෙලාවට" යයි ඔහු පිළිතුරු දුන්නා.

වර්තමාන ආණ්ඩුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උනන්දුවක් නොදක්වන බව පෙනී ගොස් ඇති නිසා විපක්ෂය රැස්වී මේ සඳහා පක්ෂ නායකයින් අත්සන් කළ යෝජනාවක් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බාරදීමට පසුගිය සතියේ සාකච්ඡා කොට තිබුණා. පක්ෂ නායකයින් පමණක් නව ව්‍යවස්ථාවක් ඉල්ලා සිටින යෝජනාවට අත්සන් කළහොත් කතානායකවරයා එය ප්‍රතික්ෂේප කිරීමට ඉඩ ඇතැයි මෙහිදී එක් මන්ත්‍රීවරයෙක් පෙන්වා දී තිබෙනවා. ඒ නිසා මෙම යෝජනාව විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සන්වලින් යුතුව ඉදිරිපත් කළහොත් එය ප්‍රතික්ෂේප කිරීමට කතානායකවරයාට නොහැකි වන බැවින් මෙයට සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම දැන් ආරම්භ කොට ඇති බවයි විපක්ෂයේ මන්ත්‍රීවරයකු අප හා ප්‍රකාශ කළේ.

අත්සන් ලබා ගැනීමෙන් මෙ යෝජනාව මේ මස අග සතියේ හෝ ලබන මස  මුල්  සතියේ දී කතානායකවරයාට බාරදීමට  යන බව ද ඔහු පැවසුවා.

මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කිරීම සඳහා වූ යෝජනාවක් ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

⋆⋆⋆⋆⋆   ⋆⋆⋆⋆⋆   ⋆⋆⋆⋆⋆

විපක්ෂ නායක කම සජිත්ගෙන් ගැලවේ?

 පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉවත් කර විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකුට ලබාදීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීන් අතර රහසිගත සාකච්ඡා ආරම්භ වී ඇතැ යි අද පළවන ඉරිදා ජාතික පුවත්පතක් අනාවරණය කොට තිබෙනවා.

සමගි ජන බලවේගය ජනාධිපතිවරණ දෙකක්, මහ මැතිවරණ තුනක් හා පළාත් පාලන මැතිවරණයක් පරාජයට පත්වී ඇති තත්වය යටතේ විපක්ෂ නායක ධූරය සජිත් ප්‍රේමදාසගෙන් ඉවත් කර විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකුට ලබාදිය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සහ බහුජන සංවිධාන යෝජනා කොට ඇතැයි ද එම පුවත්පත් වාර්තාවේ දැක්වෙනවා.

නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් විපක්ෂයේ මැනවින් ඉටු කරන බැවින් ඔවුන්ගෙන් කෙනකු විපක්ෂ නායක ධූරයට පත්කර ගත යුතු යැයි මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහස වී ඇති බව ද දැනගන්නට තිබෙනවා.

වර්තමාන විපක්ෂ නායකවරයා යටතේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කාර්යභාරය හරියාකාරව ඉටු නොවන බවත්, විපක්ෂය බොහෝ කාලීන ප්‍රශ්නවලට ආමන්ත්‍රණය නොකොට ආණ්ඩුවට උපදෙස් දෙන පිරිසක් ලෙස කටයුතු කිරීම බරපතල ගැටලුකාරී තත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ අතර විපක්ෂ නායක ධූරය වෙනත් අයකුට ගැනීමට ඇති හැකියාව සහ නීතිමය පසුබිම ද ඔවුන් විසින් මේ දිනවල විමර්ශනය කරමින් සිටින බව ද වාර්තා වෙනවා.

මේ අතර පසුගිය ආණ්ඩුවේ ඇමතිවරයකුව සිටි නවීන් දිසානායක මහතා සමගි ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතුයැයි පවසනවා.

මේ පිළිබඳව විමසූ විට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බන්ඩාර මහතා පැවසුවේ ඉදිරියේ දී පක්ෂයේ ප්‍රධාන තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවනු ඇති බවත් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුවලට අදාළ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බවත් ය.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීන් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතා හමුවී පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වන ලෙසට කළ ඉල්ලීම පසුගිය සතියේ අප අනාවරණය කළා.

එයින් පසු සමගි ජන බලවේගය තුළ සිටින සජිත්ට හිතවත් පිරිස් ඔවුන්ට හිතවත් මාධ්‍ය යොදාගෙන සජිත්ට විරුද්ධව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැති බවත් සැම දෙනාම සජිත් ගේ නායකත්වය පිළිගන්නා බවත් දැක්වෙන ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඔවුන් පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායක රිනල් වික්‍රමසිංහ මහතා ගේ පවුලේ මාධ්‍ය යොදාගෙන ඔහු සජිත් විරුද්ධව එම ප්‍රචාර ගෙනයන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා පසුගිය යහපාලන ආණ්ඩුවේ නිවාස ඇමතිව සිටිය දී, මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් කෝටි ගණනක මුදල් අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව ලබාගෙන පන්සල් හා ආගමික ස්ථානවලට ලබාදීම ගැන මේ වන විට පරීක්ෂණ පැවැත්වෙනවා.

එමෙන්ම උදාගම් පිහිටුවීමේ දී නිවාස තනා ගැනීම සඳහා රුපියල් කෝටි ගණන්  ණය ලබාදී ඇතත් ඒවායින් බොහොමයක නිවාස බාගෙට ඉදිකොට ඇති අතර ඒ සඳහා ලබාගත් ණය මුදල්වලින් ආපසු ගෙවා ඇත්තේ සුළු මුදල් ප්‍රමාණයක් බවත් විගණන පරීක්ෂණවල දී හෙළිවී තිබුණා.

මෙම පරීක්ෂණ ගැන සසල වී සිටින සජිත් ප්‍රේමදාස මහතා මේ දිනවල අාන්ඩුව තදින් ම විවේචනය නොකර නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව ද විපක්ෂයේ මන්ත්‍රීවරුන් පවසනවා.

තලාවේ සජබෙ කට්ටිය ස්වාධීන වේ

 මේ අතර පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතනවල සමගි ජන බලවේගයට ලැබුණු සභික ධූරවලින් අතිරේක ලැයිස්තුවේ සභික ධූරවලට පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ මහ ලේකම් විසින් පක්ෂයේ පැරණි හා ජනප්‍රසාදයක් ඇති අය කපාදමා වෙනත් පුද්ගලයින් පත්කිරීම නිසා පලාත් පාලන ආයතන ගණනාවක අර්බුද ඇති වී තිබෙනවා.

මේ හේතුවෙන් තලාව ප්‍රදේශීය සභාවේ සමගි ජන බලවේගයේ සභිකයින් කණ්ඩායම එම පක්ෂයෙන් ඉවත්වී සභාව තුළ ස්වාධීනව කටයුතු කරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළා.

මෙයට හේතුවී ඇත්තේ  අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ එක්තරා මන්ත්‍රීවරයකු ගේ බලපෑම බවද ඔවුන් චෝදනා කරනවා. මේ ගැන පක්ෂ නායකත්වයට කලින් දැනුම් දුන්න ද පක්ෂය ඒ ගැන කිසිදුක්‍රියාමාර්ගයක් නොගැනීම ඔවුන් ගේ අප්‍රසාදයට හේතුවී තිබෙනවා.

⋆⋆⋆⋆⋆   ⋆⋆⋆⋆⋆  ⋆⋆⋆⋆⋆

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චං මහත්මියගේ නිල කාලය මේ වසර අග දී අවසන් වෙනවා. නිල කාලය අවසන් වුවද ඇය තවත් මාස දෙකක පමණ කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් දිවයින පුරා පිහිටි සංචාරක ස්ථාන නැරඹීයට යනු ඇතැ යි තානාපති ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාවේ 2022 අරගලය පැවති කාලයේ දී ගෝඨාභය රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට ඇමරිකානු තානාපතිනි ජුලි චං විශේෂ මෙහෙයුමක් සිදු කළ බව ප්‍රකට කරුණක්. ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ ගතව සිට ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ අවස්තාවේ ජනාධිපති ධුරය බාරගන්නැ යි ඇය එවකට කතානායකව සිටි මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසට ම ගොස් ඉල්ලා සිටි බව අබේවර්ධන මහතා පසුව පවසා තිබුණා. එහෙත් තමා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද ඔහු කියා සිටියා. එමෙන්ම ගාලු මුවදොර අරගලයේ සිටි පිරිස් ජනාධිපති කාර්යාලය අත්පත් කරගත් අවස්ථාවේ ඔවුන්ට පහරනොදෙන ලෙස ජුලි චං මහත්මිය ගෝඨාභය රාජපක්ෂ මහතාට බලපෑම් කළ බව ද වාර්තා වුණා.

තානාපති රාජකාරිවලට එහා ගොස් ශ්‍රී ලංකාවේ දේශපාලනයට විශාල බලපෑම් කළ තානාපතිවරයික ලෙස ඇය හැඳින්වෙනවා.

ජුලි චං ගේ රහස් සාකච්ඡාව

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය සිය ධූර කාලය තුළ සෑම ප්‍රදාන දේශපාලන පක්ෂ කාර්යාලකයකට ම ගොස් ඒවායේ නායකයින් හමුවුණ. එසේම ජනාධිපතිවරණයට පෙර සිට ම ඇය පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට කිහිප වතාවක් ම ගියා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පණවන ලද අන්‍යොන්‍ය තීරුබදු පිළිබඳව ශ්‍රී ලංකාවේ විපක්ෂයේ දේශපාලනඥයින්ගේ අදහස් දැනගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා හා කබීර් හෂීම් යන මහත්වරු හා එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු වන මලික් සමරවික්‍රම මහතා ද ජුලි චං මහත්මිය විසින් පසුගිය සතියේ කැඳවා සාකච්ඡා කොට තිබූ අතර මොවුන් වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වූ බවත් වාර්තා වෙනවා.

පැමිණ සිටි හැම දෙනාට ම ඇමරිකානු තානාපතිවරයි පවසා තිබුණේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පණවන ලද අන්‍යොන්‍ය තීරුබදු අඩු නොකළහොත් ඇමරිකාවට ඇඟළුම්, පොල් හා රබර් නිෂ්පාදන හා මත්ස්‍ය අපනයනයන් හි යෙදෙන ශ්‍රී ලාංකික ආයතනවලට බලවත් පහරක් වදින බවයි.

ඉතාමත් රහසිගත අයුරින් පවත්වනු ලැබූ මෙම සාකච්ඡාවේ තොරතුරු එයට සහභාගි වූ මන්ත්‍රීවරයකු විසින් මාධ්‍යවලට හෙළිකොට තිබුණා.

මේ අතර ශ්‍රී ලංකාවට පණවා ඇති 30% ක් වන තීරු බද්ද තවත් අඩු කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු රජයේ නියෝජිත පිරිසක් පසුගිය 18 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ ඇමරිකානු වෙළඳ මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වා තිබුණා.

  -ජගත් -