ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස නොවිකුණන බව ඇමති සිරිපාල ද සිල්වා කියයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුගතකරණය කිරීම මිස එය විකිණීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ නීතියට අනුවත් වෙනත් සමාගමකට ලබා දිය හැකි වන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස්වලින් 49% ක් පමණයි. නමුත් ඒ සඳහා ලෝකයේ පවතින උනන්දුව අවමයි. ඊට ඉදිරිපත් වූයේ 06 දෙනෙකු පමණයි. ඒ අතරින් සුදුස්සකු අපට හමු වුණේ නැහැ. ශ්‍රී ලාංකික ව්‍යවසායකයකු සඳහා එම අවස්ථාව ලබා දීමට හැකි වුවත් ඊට ඇති හැකියාව සනාථ කළ යුතු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යනිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ ය.
අද (03) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවක දී ය. 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' යන තේමාව යටතේ මේ සාකච්ඡාව පැවතිණි.
මත්තල ගුවන් තොටුපොළ කළමනාකාරීත්වය ද ඉදිරි සති කිහිපය තුළ රුසියානු – ඉන්දියා හවුල් ව්‍යාපාරයකට ලබා දීමට කටයුතු කරනවා බව ද සිරිපාල ද සිල්වා ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.
ඩොලර් මිලියන 69 ක ඉන්දියානු ආධාර මත කන්කසන්තුරය වරාය සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ෆෙරී සේවය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට කටයුතු කරන බව පසුගියදා මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා ප්‍රකාශ කළ බව ද හෙතෙම සඳහන් කළේ ය.
මේ රට පත්වූ ව්‍යවසනයෙන් ගොඩ ගැනීමේ පළවෙනි පියවර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන තිබෙනවා. දෙවන පියවර වන්නේ එය ආරක්ෂා කර ගෙන ඉදිරියට ගෙන යාමයි. එසේ නොවන්නට මීට වසර 2කට පෙර රට තිබූ තත්ත්වයට නැවත පත් වීම වැළැක්විය නොහැකියි.
මෙවර අයවැයෙන් පළාත් සභා, ප්‍රාදේශීය සභා සහ රජයේ දෙපාර්තමේන්තු මෙන්ම අස්වැසුම වැනි සමාජ ආරක්ෂණ ප්රතිලාභ සඳහා මුදල් වෙන් කර තිබෙන බව ද ද සිල්වා ඇමතිවරයා පැවසී ය. එම කටයුතු සිදු කරන්නේ මැතිවරණ බලාගෙන නොවනා බව ද ඔහු සඳහන් කළේ ය.
''ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA) ලබන සතියේදී ඔවුන්ගේ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි. මෙය ද ණය ප්‍රතිව්‍යුගතකරණයේ තවත් එක් ප්‍රතිලාභයක් බව කිව යුතුයි.
ගුවන්තොටුපොළ ව්‍යාපෘතිය සඳහා චීන සමාගම් ඉදිරිපත් වී තිබුණත් ජපානය සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම් අනුව එම කොන්ත්‍රාත් ලබා දිය යුත්තේ ජපන් සමාගම්වලටයි.