උණුසුම් පුවත්කාලීනපරිසරයවිශේෂාංගසංස්කෘතික

දිවයින ආදි වාසී රැහේ රොත්තක් කඩුවෙල බෝමිරිය පැත්තේ රොද බැන්දාහ.

පත්තර ලෝකයේ විප්ලවයක් කළ අභීත නියමුවාණන් එඩ්මන්ඩ් රණසිංහයන්ට 95 යි

දිවයින ආදි වාසී රැහේ රොත්තක් ඊයේ (16) උදේ කඩුවෙල බෝමිරිය පැත්තේ රොද බැන්දාහ. ඒ දිවයිනේ මහහූරා ට සුබ පතන්නට ය. පෙර්දාට ඒ මහහූරා දිවිමඟේ අනූපස් (95) වැනි හැතැප්ම කණුවට සපැමිණියේ ය. ඉදින්...

මේ මහහූරා කවුරුන්දැ යි තවමත් නොකීවාට කමා කරන්න.

දිවයිනේ ආදි වාසීන් යනුවෙන් මෙහි සඳහන් කරන්නේ සීමාසහිත උපාලි පුවත්පත් සමාගමේ දිවයින ය. දිවයින ඉරිදා සංග්‍රහය හා දිනපතා දිවයින පුවත්පත් දෙක ද ඔවුනගේ නිවුන් සහෝදරියන් දෙන්නා වන දි අයිලන්ඩ් ඉරිදා පත්තරේ හා දිනපතා අයිලන්ඩ් පත්තරේත් පත්තරකාරයින්ට නිසි මඟ පෙන්වූ ඔහු ය. නමින් හේ දොන් එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහ ය.
හෙළයේ හෙවත් මෙසිරිලක පුවත්පත් ලෝකයේ අති දැවැන්ත පෙරළියක්, විප්ලවයක් කරමින් 1981 ඔක්තෝම්බර් මහේ 11 වැනි ඉරිදා දිවයින ඉරිදා සංග්‍රහය එළිදක්වමින් එදා මෙදා තුර අද දක්වා හෙළයගේ හෙළකම, හෙළ බස හා හෙළ දෙස රැක්මේ පුරෝගාමී මෙහෙවරක් කරන්නට හේ සිය කතු මඬුල්ල මෙහෙය වූයේ කිසිදු ජගතකුට මායිම් නොකරමිනි. ඉදින් එවන් උදාර මිනිසකු වෙනුවෙන් ඔහු ගේ උපදෙස් අනුශාසනා මත දෙස් විදෙස් පාඨකයනට නැවුම් වූ පුවත් මෙන් ම කාලෝචිත ලිපි ලේඛන ලියන්නට රොද බැඳ ගත් පුවත්පත් කලාවේදීන් පිරිසක් නොවරදවා ම ඔහුට දිගාසිරි පතන්නට බෝමිරියට රොක්වීම වසරක් පාසා ම සිදු වන්නකි.

ජනක රත්නායක, ගයිරික පේරුසිංහ, අනුර සිරිවර්ධන, දයා ලංකාපුර, සුන්දර නිහතමානි ද මෙල්, විනී හෙට්ටිගොඩ, ධර්මන් වික්‍රමරත්න, ශාන් විජේතුංග, සිසිර පරණතන්ත්‍රි, ටී.එම්.ජී චන්ද්‍රසේකර, රන්ජන් පරණවිතාන, දීප්ති අධිකාරි, ධර්මප්‍රිය ලියනාආරච්චි, හර්ෂණ ජයතිලක, චිත්‍රා රත්නායක, රූපිකා විජේතුංග, යන දිවයින ආදි වාසීහු රණසිංහයන්ට දිගාසිරි පතන්නට එක්වූවෝ ය.

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ අංකුර මාධ්‍යවේදීන් රැසකට තක්සලාවක් වූ 'දිවයින' නම් මහා සරසවියේ දිසාපාමොක්වරයා මෙන්ම ඕනෑම අභියෝගයක් හමුවේ දණින් නොවැටී දෙපයින් නැගී සිටින්නට ආදර්ශයෙන්ම අප සැමට ගුරුහරුකම්  දී වෘත්තීය පන්නරය මුවහත් කළ,  ඒ ශ්‍රේෂ්ඨ මිනිසා  ලාංකේය පුවත්පත් ලෝකයේ සිටින වෘද්ධතම පුවත්පත්කලාවේදියා නම්  සම්මානනීය පත්තරකාරයා  එඩ්මන්ඩ් රණසිංහ සූරීහූ ය.

ජීවිතයේ අනූපස් වැනි වියට පා තැබූ ඔහුගේ සිතුම් පැතුම් නිබඳවම යාවත්කාලීන වීම නම් අසිරියෙක් ම ය.

හෙළදිව ඊ පුවත් සංග්‍රහය දොන් එඩ්මන්ඩ් වික්‍රමරත්න රණසිංහයාණන්ට දිගාසිරි පතන්නෙමු!

අභීත මිනිසාණෙනි, චිරං ජයතු!!!

 - සුගතපාල මැන්දිස් -