බොරැල්ල පොදු සුසාන භුමියේ දී මළහිරු බසිනා සැන්දෑවේ ඔහු වෙන්වනු ඇති
ලාංකේය වාම දේශපාලන වංශ කතාවේ තවත් සුවිශේෂ චරිතයක් සේ දේශපාලන කරලියේ සැරි සැරූ මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න යෝ හෙට සැයෙන් සමුගන්නාහ. කරුණාරත්න යෝ දිවි ගමන හමාර කරන විට අසූ එක්වැනි සැතපුම් කණුව පියමං කොට සිටියහ.
බාහු සහෝදරයා යනුවෙන් වාමවාදීන් විසින් හඳුන්වන පද වික්‍රමබාහු කරුණාරත්න මහතා 1943 මාර්තු 8 වැනි දා උපත ලබන්නේ ලුණුගල දී ය.ගුරු පියකු ගේ හා ගුරු මවකගේ පුත්‍රරත්නයක් සේ ජන්මය ලද බාහු මූලික අධ්‍යාපනය මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙන් ද අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ද ලබා ලංකා විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංවිද්‍යාව පිළිබඳ පළමු පන්තියේ ගෞරව උපාධියක් දිනා ගැන්මට සමත්කම් පෑහ.
1970 දී පොදුරාජ්‍ය මණ්ඩලයේ ශිෂ්‍යත්වයක් ලද බාහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ආදාර්ය උපාධිය දිනා පෙරළා මව්බිමට පැමිණ වෘත්තීය දිවිය අරඹන ලදහ. සරසවි සිසුවකු සේ සිටිය දී 1962 දී ලංකා සමසමාජ පක්ෂයට එක්වූ ඔහු 1972 දී සමසමාජයේ මධ්‍යම කාරක සභීකයකු සේ තේරීපත් වූහ. පක්ෂය තුළ හටගත් මතභේදයක් හේතුවෙන් 1977 දී සමසමාජ පක්ෂයට සමුදුන් බාහු, වාසුදේව නානායක්කාර මහතා ඇතුළු තරුණ පිරිසක් එක්ව නව සමසමාජ පක්ෂය නිර්මාණය කළහ.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කළුකොඩි ව්‍යාපාරයක් දියත් කිරීමේ දී මූළිකත්වය ගත් කරුණාරත්න නම් විප්ලවවාදීයා අත්අඩංගුවට ගැනුණි. අනතුරුව මාස කිහියක් ම රැඳවුම් භාරයේ තබාගෙන හුන්ව ඔහු නිදහස් කෙරුණි. විශ්වවිද්‍යාලයෙන් ඔහු සේවා තහනමකට ලක් කරන්නට පාලක පිරිස කටයුතු කරන ලදි.
ස්වකීය දේශපාලන මතය වෙනුවෙන් නිබඳව ම පෙනී හුන් වික්‍රමබාහු කරුණාරත්නයෝ ඍජු ප්‍රතිපත්තියක පිහිිිටා කටයුතු කරන්න පසුබට නොවූ විප්ලවවාදී සොවුරෙකි.
හෙළදිව වික්‍රමබාහු කරුණාරත්නයන්ට විප්ලවීය ආචාරය පුදමින් නිවන් සුව පතන්නේ ය.
සුබ ගමන් බාහු සහෝදරය!
ටික කලක් රෝගාතුරව හුන් බාහු සහෝදරයා ඊයේ සවස රෝහල්ගතව සිට අභාවප්‍රාප්ත වූහ.