උණුසුම් පුවත්කෙටි කතාවවිශේෂාංගසාහිත්‍යය හා කලාව

දූවිලි

හෙළදිව කෙටිකතාව

ලියුවේ

සංජීවනී පද්මසේන

සිතුවම අන්තර්ජාලයෙනි
කර්කෂ වියළි සුළඟක් සමඟ ළා දුමාරයක් වැනි දූවිලි වළා අවුලවමින් ඇදෙන රිය තුළ පරිසරය නම් සිසිල්‍ ය. වායු සමනය කර ඇති සුඛෝපභෝගී රිය තුළ සිටින බැවින් වැඩි දාහයක් නොදැනුණද අවට පරිසරය හිරු රශ්මියෙන් පීඩා විඳින බව නම් මොනවට පැහැදිලිය. කහ පැහැති ගිනියම් හිරු රැසින් දවාලන පොළොව අහස දෙස බලමින් දිය බිඳක් ඉල්ලා හඬා වැටෙන සෙයකි. හිරු සිනාසෙන වාරයක් පාසා මහපොළොව දැවේ. කොළ පැහැය වියැකුණු කහ පැහැති පත්‍ර දැරූ ගස් මළානිකය. දුක්බරය.

මම නිහඬවම රිය ධාවනය කළෙමි. යාබඳ අසුනේ අඩ නින්දක මෙන් සිටින සොනාලිගේ රෝස පැහැය තැවරූ කොපුල් තවත් තද රත් පැහැයට හැරී ඇත්තේ විඩාව නිසා විය යුතුය. කොපුල් තල මත රන්වන් පැහැයෙන් පාට කළ හිසකෙස් රොදක් වැටී දඟ කරයි. පාට කළ දෙනෙත් හා දෙබැම හරිහැටි නොපෙන්නෙන්නේ පැළඳ සිටින අව්කණ්ණාඩි යුගළය නිසාය. නවීන කෙටි හැට්ටයක් ඇඳ සිටින ඇය මදක් කොට ජීන්ස් කලිසමකින් සැරසී සිටියි. සැබැවින්ම ඇය ඉතා රූමත්‍ ය. හැඩකාරය.

මේ දාහයෙන් පෙළෙන ඇඹිලිපිටි නගරයෙනුත් හැරී දුෂ්කර මාවතක අප ගමන් කරන්නේ සොනාලිගේ නෑදෑයෙකුගේ මළගෙදරක ගොස් ආපසු නිවස බලා යන අතරතුර දී ය. මළගෙදරක මෙන්ම රිය තුළද බොහෝ නිශ්ශබ්ද ය. පාළු ය. හරියටම දැනට වසර ගණනාවකට පෙර සොහොන් පිටියක් මෙන් පාළු වූ මගේ හදවත මෙන් ම ය. මේ දාහයෙන් දැවෙන දූවිලි පුරවරය මෙන්ම මගේ හදවතද දැවී ගොස් බොහෝ කල් ය.

තරමක වේගයෙන් ධාවනය වූ රියට ඉඩ දෙමින් අත දරුවෙකු දරාගත් මවක් සමඟ තවත් දරුවෙකු පාර අයිනට වේ. දුක් විඳීමෙන් පීඩාවට පත්ව සිටියද ඒ මවගේ දරු සෙනෙහස මුහුණ පුරා උතුරා ගලා යනු මට පෙනේ. ඉබේටම මෙන් සුසුමක් පිට වෙත්ම නැවතත් මට ආත්මානුකම්පාව ඉදිකටු තුඩක් හදවත පහුරුගානු දැනුණි.

සොනාලි දරුවන් හදන්නට අකමැතිය. ඇගේ සුන්දර රූපය ඉන් වැහැරී ගොස් අවලස්සන වනවාට ඇය කැමැත්තක් නොදක්වයි. නවීන විලාසිතා හා රාත්‍රී සාද, සැනකෙළි, සහිත ඇගේ සැහැල්ලු හිතුවක්කාර දිවි පෙවෙත මහද තලා දැමූවද මට කළ හැක්කක් නැත. මේ මා තෝරාගත් ජීවිතය යි. කුඩා දරුවෙකු පිළිබඳ අසීමිත ආදරයක් හා ආසාවක් තිබුණ ද මට තවමත් ඒ සඳහා සොනාලිගේ කැමැත්ත නම් ලබා ගැනීමට හැකියාවක් ලැබී නොමැත. මේ නිසාම අප අතර අඩ දබර බොහෝ ය. හැළ හැප්පීම්, රණ්ඩු සරුවල් අතර විටෙක නන්නාඳුනන්නන් සේ එකම නිවෙසක ජීවත් වීමට සිදුවීම මා කළ පාපකර්මයක් විය යුතුය.

එහෙත් එකළ මට අවැසි වූයේ ධනවත්, රූමත්, නවීන සුන්දර බිරිඳක් බැවින් පියාගේ ව්‍යාපාරික මිතුරෙකුගේ දියණිය වූ සොනාලි හා විවාහ වීම මා සිතුවේ මා ලද වාසනාවක් යැයි කියා ය. දුටුවන් මන්මත් කරන රූපයෙන් යුතු ධනවත් මගේ සුන්දර බිරිඳ වැඩි කළක් නොගොසින් ම මගේ සිතුම් පැතුම් බිඳ දමා හුදෙකළා ජීවියෙකු සේ තුඹසකට වැදී සිටින සර්පයෙකු මෙන් සැඟවී සිටීමට මට අවස්ථාව උදා කර දුන්නී ය.

එහෙත් මා තවමත් මේ කුලගෙය රැකගැනීම සඳහා වෙර දරමි. මේ කුටුම්භය රැකගැනීම උදෙසා ලෝකාපවාදයෙන් මිදීම සඳහා දහසක් දුක් සංතාපයන් නිහඬව දරා ගනිමින් ලෝකයට සිනා මුහුණක් පෙන්වමින් රඟපාමි. ජීවිතය නම් මේ සා දුෂ්කර වංකගිරියක් වේ යැයි මම සිතා නොසිටියෙමි. එසේ නොපැතූවද මට හිමිවූ ජීවිතය මෙයයි.

පාර අයිනේ ලැග සිටි මොනරෙකු මදක් සෙමින් මෑත් වී වන ලැහැබකට ඇදුණි. පිපාසයක් දැනුණද සොනාලි නම් තවමත් බර කල්පනාවක ය. හෙට සැලෝන් යන්නේ ද, නැතහොත් රෑ සාදයකට යන්නේදැයි කල්පනා කරනවා විය යුතුය. නැතහොත් සිය කොණ්ඩා විලාසිතාව වෙනස් කරන්නේ කෙසේදැයි කල්පනා කරනවා විය හැක. ඈතින් කටුමැටියෙන් සෑදූ තරමක කඩයක් පෙනේ. එහි එළියෙන් තැනූ මැස්සක තැඹිලි වලු කිහිපයක් ද එලවළු හා පළා වර්ග ද විකුණන්නට තිබෙනවා පෙනුණේ තැඹිලි ගෙඩියක් බීමේ නොනිත් ආසාවකින් මගේ හදවත දැවෙන්නට විය.

සොනාලි, තැඹිලි තියනවා බොමු ද? “ මම ඇයගෙන් විමසීමි.

අනේ මට බෑ ඔය ජරාව බොන්න, ඔයාට ඕනි නම් බීලා එන්න. මම මේක ඇතුළේ ඉන්නම්. ඔය දූවිලි ගොඩේ බහින්න මට නම් බෑ. “ ඇය මුහුණ ඇඹුල් කරගනිමින් නැවත නෙත් පියා ගනියි.

මම කඩයෙන් ටිකක් ඈතට වන්නට රථය නතර කළෙමි. වටපිටාව දූවිලි සහිත වුවත් වියළි සුළඟ නිසා තරමක සිසිල්‍ ය. විශාල ගස්කොළන් සහිත තණ පඳුරු හා බඩවැටි අතර වූ කඩයෙහි පිටුපස තරමක නිවසක් ද ඇත. ඒ කඩ හිමිකරුගේම නිවස විය යුතුය.

එළවළු මැස්සට පිටුපා ගැහැනියක එළවළු තෝරමින් සිටියි. ඇය චීත්ත ගවුමට උඩින් මල් මල් චීත්තයක් ද ඇඳ කොණ්ඩය ගෙඩියක් සේ ගෙල මුලට කර බැඳ සිටියා ය. පිටුපස පෙනුමෙන් තරුණියක හෝ තරුණ විය යාන්තමින් පසු කරන තැනැත්තියක් විය යුතුය. කඩය පසෙක වූ පන් පැදුරක අවුරුදු තුනක පමණ කුඩා ළදරුවෙකු සෙල්ලම් කරයි. දරුවා දකිත්ම මගේ හදවත නැවත කඩා වැටුණේ මට අහිමි වූ දරු සෙනෙහස මතක් වීම නිසා විය යුතුය.

ඈ ආසන්නයට ගිය මම සෙමින් උගුර පෑදුවෙමි. ඇය පිටුපස හැරී බැලුවා ය. තත්පරයක්, දෙකක්, විනාඩියක්, ඇයගේ දෙනෙත හා මගේ දෙනෙත පැටලී තිබුණි. මට ක්ලාන්ත ගතියක් දැනුණි. මෙය විය නොහැක. මෙය සිහිනයක් විය යුතුය. ඇයගේ මුවට උඩින් දහඩිය බිඳිති කිහිපයක් මතුවෙනු මට පෙනේ. මගේ හද රිද්මය වැඩිවෙනවාත් සමඟ මා වෙව්ලනු ද ඇය බිත්තියට වාරු වනුද මට පෙනුණි.

මාලි “ මම මිමිණුවෙමි.

අප දෙදෙනා කොපමණ වේලාවක් එසේ සිටියාද යැයි මට මතකයක් නැත. ඇය කිසිවක් නොකීවා ය. ඇගේ කඳුළු පටලයකින් වැසුණු දෙනෙත මට බොහෝ දේ පවසයි. මට ඇය වැළඳගැනීමට වුවමනාය. ඇය තුරුල් කරගෙන හඬා වැටීමට වුවමනා ය. එහෙත් මගේ දරදඬු වූ මාංශ පේෂීන් මට එයට ඉඩ නොදේ.

එවිටම කඩයත් නිවසත් සම්බන්ධ වූ පටු දොරටුවෙන් තවත් දරුවෙකු දුවගෙන ආවේය. ලෝකය උඩු යටිකුරු වූවාක් විය යුතුය. ඒ ශ්වේත වර්ණ ළදරු සම, රැළි ගැන්වුණු බොකුටු කොණ්ඩය, ලොකු ඇස් මට නොකී කතාවක් යළි යළි කියයි. ඇයගේ දෙනෙත් තෙමෙයි. ලොකු දරුවා දෑතින් තුරුලු කරගෙන ඇය මුමුණයි.

නැත. කියන්නට අවැසි නැත. මම මේ කතාව දන්නෙමි. මම මේ ලේ සුවඳ හඳුනමි. මේ නොකී කතාව කියන මගේ දරුවා, මගේ ලෙයින් උපන් මගේම දරුවා, මා ප්‍රතික්ෂේප කළ මගේම උරුමය මම හඳුනමි.

මා හඬන බව මට දැනේ. දරුවා පුදුමයෙන් මා දෙසත් ඇය දෙසත් බලයි. ඒ ලොකු ඇස් සිපගන්න, ඒ කිරි සුවඳ තුරුලු කරගන්න බැරි පව්කාර මම හඬමි.

 “ පුතා, මල්ලිව ඇතුළට එක්කගෙන යන්නකෝ. මේ මහත්තයාගේ ඇස්වලට දූවිලි වැදිලා. මම වතුර ටිකක් දීලා එන්නම්.” ඇය ඉකිබිඳුම ආයාසයෙන් යටපත් කරගනිමින් කියයි.

මහත්තයා’.. මම ඇතුළතින් දැවෙමි. ‘මහත්තයා නෙවෙයි පුතේ මම ඔයාගේ තාත්තා’ මම හදවතින් මොරගසමි. වචන පිටවන්නේ නැත. අහෝ මා වාගේ පවුකාරයෙක්!

ලොකු දරුවා කුඩා ළදරුවා ද රැගෙන ඇතුළට යයි.

නිසල් මහත්තයා” ඇය කඳුළු පිසදමා කතා කරයි. ඇගේ හඬ ශක්තිමත් ය.

 “ ඔයාට මම මේ ගැන කිව්වා. කොච්චර නම් ඇඬුව ද? කොච්චර කියලා එව්වාද? ඔයා ගාණක්වත් නැතුව මාව අමතක කළා.”

ඇත්ත” මම නැවත පිච්චෙමි.

සෙල්ලක්කාරකමට මගේ ජීවිතයත් එක්ක සෙල්ලම් කරලා දරුවා බඩට ආවට පස්සේ ඔයා මාව අතහැරියා. මම ගෙදරට මූණ දෙන්න බැරුව අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදරට ඇවිත් ගාමන්ට් එකක වැඩට ගියා. ඔයා කොච්චර පව්කාරයෙක් වුණත් මගේ කුසට ආපු දරුපැටියාව නැති කරගන්න මට හිත හදාගන්න බැරි වුණා. නොවිඳිනා දුක් විඳපු මට දෙවියෙක් වගේ පිහිට වුණේ සසංක අයියා. එයා මාවයි ඔයාගේ දරුවාවයි භාර ගත්තා. මේ අනිත් දරුවා එයාගේ. එයා දෙන්නාටම කිසිම වෙනසක් කරන්නේ නෑ. අපිව හොඳට බලා ගන්නවා. සත්තු වගේ මිනිස්සු අතර දෙවි දේවතාවුන් වගේ මිනිස්සු ඉන්නවා කියලා සසංක අයියා ඔප්පු කළා. “
මට සමාවෙන්න මාලි” මම කඳුළු අතරින් කියමි. මගේ ධනවත්කමින් ඇසුරු කර මවක වූ පසු ඇයව අමතක කර දැමූ පවුකාර මට දිය හැකි උපරිම දඬුවම දෙවියන් විසින් දී තිබේ. දරුවන් එපා කියන බිරිඳක්, දරුවන්ට පෙම් නොකරන බිරිඳක්, පාළු කතරක් වගේ හදවතක් එක්ක ඉන්න ලැබුණු ආත්මයක්. ඉතින් තවත් දඬුවම් මොකටද!

මාලි, මම මොනවාද කරන්න ඕනි?”

මොනවා කරන්නද මහත්තයා. ගන්න ආපු දෙයක් අරන් ආපහු යන්න. ආයෙත් මගෙවත් මගේ පුතාගෙවත් ජීවිතේට මහත්තයාගේ දූවිල්ලක්වත් එපා” ඇය කියයි.

මම වෙව්ලන දෑතින් පසුම්බිය රැගෙන එහි ඇති සියළුම මුදල් ඇය අත තබන්නට සැරසුනෙමි. ඇය කටකොණකට උපහාසී සිනාවක් නගා එය ප්‍රතික්ෂේප කළාය.

සල්ලි වලින් මහත්තාට ඕනි සතුට ලැබුණා ද?” ඇය අසයි.

මට පිළිතුරු නැත. මම අසිහියෙන් මෙන් රථය අසළට ඇවිද ගියෙමි. ඒ සුදු පැහැති සුන්දර කොලු පැටියා නැවත මිදුලට පැන සෙල්ලම් කරන්නට පටන් ගෙන ඇත. මම හැරී බැලුවෙමි. ඇය කුඩා දරුවා තුරුල් කරගෙන ලොකු පුතුගේ අත අල්ලාගෙන මා දෙස බලා සිටියි.

මට අහිමි මගේ පුතු දෙස මම නැවත වරක් හැරී බලමි. දෙවියන් දෙන විට එපා කියා ප්‍රතික්ෂේප කර නැවත දෙවියන් යැද්දාට මට ඒ වසන්තය ආපසු දීමට දෙවියන් එකඟ වන්නේ නැත. මම ඒ කුරිරු දඬුවම වින්ඳෙමි. දිවි ඇති තුරාම විඳිමි. මේ නෙතඟින් වැටෙන කඳුළු ඒවාට සාක්ෂි දරයි.

මොකද ඔය ඇස් ? ” සොනාලි අසයි.

දූවිලි “ මම කියමි.