උණුසුම් පුවත්

දෙටු පුවත්පත් කලාවේදී ඒ. ‌ඩී. රංජිත් කුමාරයෝ දිවිගමනින් නික්මෙති

දේහය කොතලාවල ආරක්ෂක සරසවියේ වෛද්‍ය පීඨයට

ප්‍රවීණ පුවත්පත් කලාවේදී ඒ.ඩි. රංජිත් කුමාරයෝ අද දැයෙන් සමුගත්තෝ ය. ඔහු මියයන විට 77 වැනි වියේ පසුවිය. හෙට එනම් සෙනසුරාදා (11) උදෑසන 8 ට ගල්කිස්ස මහින්ද මල්ශාලාවේ තැන්පත් කරනු ඇත. ඔහුගේ අවසන් කැමැත්ත අනුව සෙනසුරාදා එනම් හෙට උදෑසන 10 ට  කොතලාවල සරසවියේ වෛද්‍ය පීඨයට බාර දීමට නියමිත ය.

'කොස්ගස් හන්දියෙ කෙලු ගැටයා' යනුවෙන් සිය ජීවිත වංහුං ලියූ ඒ. ඩී. රංජිත් කුමාර මහතා සිංහල සිනමාව වෙනුවෙන් ඉමහත් සේවයක් කළා වූ පුවත්පත් කලාවේදියෙකි. ඔහු ලේක් හවුස් ආයතනයේ සරසවිය පුවත්පතෙහි දිගුකලක් කටයුතු කළ හේ එහි කතුවරයා සේ පස් වසරක කාලයක් සේවය කළේ ය.

සරසවිය පුවත්පත විසින් අරඹන ලද සරසවි සම්මාන උළෙලේ දැවැන්ත කාර්ය භාරයක් පුරා දාහත් වසරක් ඉටු කළ රංජිත් කුමාරයාණෝ අනතුරුව සුමති පුවත්පත හා එක්ව සුමති සම්මාන උළෙල ද විසි වසරක් සංවිධානය කරමින් හෙළ සිනමාවට, හෙළ ටෙලි නාට්‍ය කලාව ට ද කරන ලද්දේ අමිල සේවාවකි.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ උපදේශක මණ්ඩලයේ සාමාජිකයකු වූ ඔහු ගේ මෙහෙය වෙනුවෙන් සම්මාන රැසකින් පිදුම් ලද බොහොම සුහද පුවත්පත් කලාවේදියෙකි. ඔහු පොත් පත් ගණනාවක් සිංහල සාහිත්‍යට එක් කරන ලද ගත්කතුවරයෙකි. එමෙන් ම ලේක් හවුස්, ලක්බිම හා ලංකාදීප පුවත්පත් හි ද සේවය කළ දක්ෂ හා නිපුණතාවෙන් හෙබි ආදර්ශමත් දෙටු පුවත්පත් කලාවේදියකු සේ බොහෝ දෙනාගේ අදාරයට ගෞරවයට පාත්‍ර වූ චරිතයකි.

ගායිකා දමයන්ති ජයසූරිය මහත්මියගේ ආදරණීය සැමියා වූ රංජිත් කුමාර මහතා ආචාර්ය නුවන් නයජිත් කුමාර මහතා ගේ පීතෘවරයා යි.

හෙළදිව පුවත් සංග්‍රහය රංජිත් කුමාර දෙටු සොවුරාණන්ට නිවන් සුව පතන්නෙමු.