උණුසුම් පුවත්දේශපාලනවිශේෂාංගසතියේ සටහන

නරේන්ද්‍ර මෝදි කණස්සල්ලෙන්

ජගත් ගේ සතියේ සටහන  -  59

වසර දෙකකට අධික කාලයක් කල් දමා තිබූ ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් නාමයේජනා කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන ආයතන 336 ක් සඳහා නාමයෝජනා භාර ගැනීමට මාර්තු 14 වැනිදා සිට 19 දා දක්වා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී සිදු කෙරෙන බව එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

පළාත් පාලන මැතිවරණවලට තරග කිරීමට දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විශාල උනන්දුවක් දක්වන අතර පෙරේදා වන විට රට පුරා ඇති පළාත් පාලන ආයතන 88 ක් සඳහා ඇප මුදල් තැන්පත් කොට තිබූ බවද වාර්තා වුණා.

මේ පළාත් පාලන මැතිවරණ ජාතික ජන බලවේග ආණ්ඩුවට මෙන් ම විපක්ෂයට ද අතිශය තීරණාත්මක වෙනවා. ඒ ආණ්ඩුවට සිය ජනප්‍රියතාව මෙහිදී බලාගත හැකි නිසයි. විපක්ෂයට ද ජනතාවගේ අදහස් උදහස් තේරුම් ගැනීමට මෙය හොඳ අවස්ථාවක්.

ආණ්ඩු බලය හිමි ජාතික ජන බලවේගය මේ වන විටත් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා ඔවුන්ගේ අපේක්ෂක ලැයිස්තු සකස් කොට අවසන් බවයි වාර්තා වෙන්නේ. ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය ද පළාත් පාලන මැතිවරණවලට අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා ගෙන යනවා. ටැලිපෝනය ලකුණ යටතේ සිය අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමටයි සමගි ජන බලවේගය මේ වන විට තීරණය කොට තිබෙන්නේ.

මේ නිසා සති ගණනාවක් තිස්සේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීම ගැන පැවති සාකච්ඡා බිඳ වැටී තිබෙනවා. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී තරග කිරීමට සමගි ජන බලවේගයේ ම නායක මට්ටමේ පිරිසක් දැඩි ලෙස විරෝධය දැක්වීම යි.

මේ නිසා එක්සත් ජාතික පක්ෂය සමඟ පළාත් පාලන මැතිවරණවලට අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම ගැන බරපතල අර්බුදයකට පත්වී තිබෙන බව දැන ගන්නට තිබෙනවා. ඒ එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලබා ගැනීමට ප්‍රදේශීය මට්ටමේ වැඩි දෙනකු ඉදිරිපත් නොවීම නිසයි.

පසුගිය දිනවල එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා යළිත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු වශයෙන් පැමිණීමට යන බවට රාවයක් පැතිර ගොස් තිබුණා. එහෙත් එයට කිසිම සාධකයක් පෙනෙන්නට තිබුණේ නැහැ. සිලින්ඩරය ලකුණෙන් ඉදිරිපත් වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට පසුගිය මැතිවරණයේ දී ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් පමණයි. පක්ෂයේ කිසිදු තීරණයක් නොමැතිව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් ෂර්මිලා පෙරේරා මහත්මිය ඒ සඳහා රවි කරුණානායක හා ෆයිසර් මුස්තාපා යන මහත්වරුන්ගේ නම් මැතිවරණ කොමිෂමට යැවීම නිසා ඔවුන් දෙදෙනාට එම මන්ත්‍රී ධූර දෙක හිමි වුණා. රනිල් වික්‍රමසිංහ මහතා නැවත පාර්ලිමේන්තුවට එනවා නම් ඔවුන් දෙදෙනාගෙන් කෙනකු ඉල්ලා අස්විය යුතුයි. එහෙත් තමන් ඉල්ලා අස්නොවන බව රවි කරුණානායක මහතා සහ  ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

මේ ගැන විමසූ විට රනිල් වික්‍රමසිංහ මහතා තමාට යළි පාර්ලිමේන්තුවට යාමේ අදහසක් නැති බව පවසා  ෆෙරාරි වාහනවලට ලයිෂන් තිබෙන මට 'එල් බෝඩ්' කාරයෙක් එක්ක වාඩි වෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කොට තිබුණා.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබෙන්නේ පළාත් පාලන මැතිවරණවලට ඉදිරිපත්වීම සඳහා තරුණයන් තුළ උද්යෝගයක් ඇති කිරීමේ අරමුණින් රනිල් යළි පාර්ලිමේන්තු එන බවට පක්ෂයේ  කිහිප දෙනකු ගෙන ගිය ප්‍රචාරයක් බවයි ඒ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 'පොහොට්ටුව' ලකුණ යටතේ පළාත් පාලන ආයතන සියල්ලට ම වාගේ තරග කිරීමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය කාලයේ පක්ෂයෙන් ඇත්වී සිටි එම පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින් විශාල පිරිසක් නාමයෝජනා ලබාගැනීම සඳහා මේ දිනවල බත්තරමුල්ලේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ ගැවසෙමින් සිටිනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 21 ත් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසුගිය සතියේ හිටපු ඇමති ජොන්ස්ටන් ෆ්‍රනාන්දු මහතා ගේ විලේගොඩ පිහිටි පක්ෂ කාර්යාලයේ දී පැවැත් වුණා.

ශ්‍රීලනිපෙ 'බුලත් කොළෙන්'

එහි පැවති සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල මුලසුන දරමින් හිටපු මන්ත්‍රීවරුන් වන සරත් වීරසේකර, සී. බී. රත්නායක, තේනුක විදානගමගේ,සුමිත් උඩුකුඹුර, සමන්ප්‍රිය හේරත් යන මහත්වරු කටයුතු කළ අතර දෙදහසකටආසන්න අපේක්ෂකයින් සංඛ්‍යාවක් පැමිණ සිටි බවයි වාර්තා වෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය සම්බන්ධයෙන්  අධිකරණයේ නඩු පවතින නිසා එම පක්ෂයට අත ලකුණ හෝ බුලත් කොළය ලකුණ යටතේ හෝ තරග කිරීමට හැකියාවක් නැහැ.

ඒ නිසා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න ඇතුළු පිරිස පොදුජන එක්සත් පෙරමුණේ 'පුටුව' ලකුණ යටතේ තරග කිරීමට තීරණය කර තිබෙනවා. දැනටමත් ඔවුන් පුටුව ලකුණ යටතේ තරග කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5 කට ඇප මුදල් පසුගිය සතියේ තැන්පත් කළ බව ද වාර්තා වෙනවා.

වෙන්ව තරග කර දිනුවහම එකතු වීමේ න්‍යාය

මේ අතර සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ පළාත් පාලන මැතිවරණවලට තම පක්ෂ යටතේ තනි තනිව තරග කොට ප්‍රතිඵලවලින් පසු වැඩි පිරිස එක්වී ඒ පක්ෂයෙන් සභාපතිවරයකු පත්කර ගැනීමට යි.

පසුගිය දා පැවති කල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී ස්වාධීන කණ්ඩායමට එහි බලය ලබා ගත හැකි වුණේ වෙන්ව තරග කොට පසුව එකතුවීම නිසා බැවින් අනිත් පළාත් පාලන ආයතනවල ද ආණ්ඩුවට විශාල බලයක් ලබාගත නොහැකි වනු ඇති නිසා විපක්ෂයට එක්වී බලය ලබා ගත හැකි බවයි එම පිරිස් පවසන්නේ.

කෙසේ වුවද ජාතික ජන බලවේගය කොට්ඨාස සභා පිහිටුවා ඒ මඟින් අපේක්ෂකයින් නම් කොට තිබෙන බැවින් ද ඔවුන්ට ප්‍රබල ප්‍රචාරක සංවිධානයක් තිබෙන බැවින් ද පළාත් පාලන ආයතන විශාල සංඛ්‍යාවක බලය ජාතික ජන බලවේගයට හිමිවීම ස්ථිර බවයි දේශපාලන නිරීක්ෂකයින් පවසන්නේ.

එසේම ආණ්ඩුව මල්වතු අස්ගිරි මාහිමිවරුන් ගේ හා දියවඩන නිලමේ තුමාගේ අනුග්‍රහයෙන් අප්‍රේල් 18 වැනිදා සිට 28 වැනිදා දක්වා මහනුවර දළඳා මාළිගාවේ දී විශේෂ දළඳා ප්‍රදර්ශනයක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා.

මේ කාලය තුළ දළඳා වහන්සේ වැද පුදා ගැනීමට ලක්ෂ 20 කට අධික ජනකායක් පැමිණෙනු ඇති බවට ආණ්ඩුව ගණන් බලා තිබෙනවා.

එහෙත් සමගි ජන බලවේගයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම දළඳා ප්‍රදර්ශනයට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහු පවසන්නේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කෙරන අතර ආණ්ඩුව දළඳා ප්‍රදර්ශනය  මුවාවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරන බවයි.

එබැවින් මේ දළඳා ප්‍රදර්ශනය පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු පවත්වන ලෙස ඔහු පසුගියදා පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා.

එසේ වුවද විශේෂ දළඳා ප්‍රදර්ශනය අඛණ්ඩව දින 10 ක කාලයක් පැවැත්වීමට ආණ්ඩුව හා අදාළ ආයතන මේ වන විටත් සියලු කටයුතු සූදානම් කොට තිබෙනවා.

⋆⋆⋆⋆⋆⋆⋆

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් පළමු සතියේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන බව මහ කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග තහවුරු කොට තිබෙනවා.

ඔහු මෙහි පැමිණෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඉන්දියාවේ කළ සංචාරයේ දී මෝදි අගමැතිවරයාට කරන ලද ආරාධනයකට අනුවයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගේ සමීප හිතවතකු වන ගෞතම් අදානිට අයත් අදානි බලශක්ති සමාගමට මන්නාරමේ සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා පසුගිය ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ කාලයේ දී ගිවිසුමක් අත්සන් කර තිබුණා.

මෙම සුළං බල ව්‍යාපෘතිය ඇරඹීමට විරුද්ධව ශ්‍රී ලංකා පරිසර සංවිධාන කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු කිහිපයක් ගොනු කොට තිබෙනවා. ඒ අතර ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඒ සුළං බලාගාර ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුවක් අඩු මිල ගණන් ඉදිරිපත් කොට ඇති ශ්‍රී ලාංකික සමාගමකට ලබා දිමට යන බවට ද ආරංචි පැතිර තිබුණා.

අදානි නිහඩයි

මෙම ව්‍යාපෘතියෙන් ඉවත්වන බව අදානි සමාගම ද පවසා තිබූ අතර එම ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා ද යන්න ස්ථිර වශයෙන් ම පසුගිය බ්‍රහස්පතින්දාට පෙර දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය අදානි සමාගමට දැනුම් දී තිබෙන බව ද වාර්තා වෙනවා.

එහෙත් අදානි සමාගම පෙරේදා වන තුරුත් එයට ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.

ඉන්දීය අගමැතිවරයා අප්‍රේල් මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව නවදිල්ලියෙන් නිවේදනය කොට තිබුණේ පසුගිය බදාදා.

මෝදි කණස්සල්ලෙන්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 වසරේ දී මන්නාරමේ සුළං බලාගාර ව්‍යාපෘතිය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ප්‍රතිසංස්කරණය කිරීම යන ගිවිසුම් ද ඇති කරගෙන තිබුණා.

එහෙත් ජාතික ජන බලවේගය ආණ්ඩුව අදානි සමාගමේ කොන්ත්‍රාත්තුව පිළිබඳ ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ඉන්දීය අගමැති මෝදි මහතා මෙන් ම ඉන්දීය රජයේ නිලධාරීන් ද දැඩි කණස්සල්ලෙන් පසුවන බවයි දැනගන්නට තිබෙන්නේ.

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ නවදිල්ලියේ දී දෙවතාවක් ම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කොට තිබුණා.

අදානි සමාගමේ ව්‍යාපෘතිය නතර කිරීම ගැන මෙහිදී මෝදි මහතා දැඩි කණස්සල්ලෙන් අදහස් දක්වා තිබෙනවා.

මේ අතර මෝදි අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව නිවේදනය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා හා නියෝජ්‍ය මහ කොමසාරිස් වරයා මල් පාරේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතා ගේ දේශපාලන කාර්යාලයට ගොස් ඔහු සමඟ දීර්ඝ සාකච්ඡාවක් කළ බව ද වාර්තා වෙනවා.

ඉන්දීය සංචාරයෙන් පසු පෙරළා ශ්‍රී ලංකාවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා හිටපු මන්ත්‍රීන් පිරිසක් සමඟ පවසා තිබෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළේ ගෙදරට ඇවිත් සැලකුම් ලබලා ලංකාවට ගොස් පස්ස හැරෙව්වා වගේ වැඩක යැ යි ඉන්දියාව කල්පනා කරන බවයි.

කෙසේ වුවද ඉන්දීය අගමැති ගේ ශ්‍රී ලංකා සංචාරය ජාතික ජන බලවේගයේ ආන්ඩුවට තීරණාත්මක එකක් වනු ඇති බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

    - ජගත්  -