ආයුසංස්කාරය ගැන වදාළේ ද අද වගේ දොහක ය
සිරි ගෝතම සම්බුද්ධ ශාසන වංසයෙහි නවම් මස පෝය දිනය යනු අති විශේෂ කාරණා ගණනාවක් සිදු වූ බව සඳහන් කිරීම වටී. බුදුන් වහන්සේ ගේ අග්‍රශාවක තනතුරු හි සැරියුත් මුගලන් දෙනම පත්කිරීම සිදුවූයේ අද වන් පෝ දිනක ය. එය බොදු වංශ කතාවේ අති විශේෂ සිදුවීමකි. එමෙන් ම පළමු සංඝ සන්නිපාතය ද මෙ දින සිදුවීම තවත් සුවිශේෂිත කාරණාවෙකි. ඕවාද ප්රාතිමෝක්ෂය මහා සංඝයාට දේශනා කිරීම ද තවත් කාරණාවක් සේ සටහන් කළ යුත්තේ ය. එමෙන් ම අප මහා බුදුරජාණෝ ආයු සංස්කාරය කළේ ද නවම් මහේ පෝ දිනක ය. පිරිනිවන් පෑමට තෙමසකට පෙර ඒ බව ප්‍රකාශයට පත්කිරීම ද මෙපුන් පෝ දා හා බැඳෙන්නේ ය.
උඳුවප් හෙවත් දෙසැම්බරයේත් දුරුතු හෙවත් ජනවාරි මහෙත් පැවතියා වූ ශීත ඍතුව හමාර වෙද්දී උදාවන හේමන්ත කාලය පසළොස්වක පෝ දා හෙවත් නවම් පෝය උදාවත් ම බොදුනුවණට වැදගත් වන්නා වූ බුද්ධ චරිතය හා බද්ධ වැදගත් කරුණු රැසක් ජනහදට, ජන සිතට, නිරායාසයෙන් දැනේ. හැඟේ.
චන්ද්‍ර මාස රටාවට අනුව නවම් යනු එකොළොස්වන මාසය යි. දහවල් දැඩි හිරු රැස් පතිත වී උණුසුමත්, රැයෙහි ශීතල ස්වභාවයත් ඇති කරන්නේ ස්වභාව ධර්මය වෙනස්කම් පාමිනි.
එදා ඇසළ පෝදා ඉසිපතන මිගදායේ දී බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම මංගල ධර්ම දේශනාව ශ්‍රවණය කළ පස්වග තවුසන් පැවිදිව ඇරැඹි සංඝ සමාජය වසරක පමණ කාලයක් ගතවෙද්දී නානා විධ දර්ශනයන් හි පිහිටා විවිධ ඇදහිලි විශ්වාස ඇතිව විමුක්තිය සොයා ගිය ජනයා බුදුරජාණන් වහන්සේගෙන් ශ්‍රී සද්ධර්මය අසා යථාර්ථය අවබෝධ කරගෙන පැවිදි වීමත් සමග සංඝ ශාසනය සංකීර්ණ එකක් බවට පත්විිය
තුන්බෑ ජටිලයන් වූ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප හා ගයා කාශ්‍යප තම පිරිවර දහසක් සමග පැවිදි වීමත්, සැරියුත් මුගලන් දෙනම ඇතුළු දෙසීය පනහක භික්ෂු පිරිස ද, යසකුල පුතු ඇතුළු පිරිස ද වශයෙන් එක්දහස් තුන්සියය ඉක්ම වූ සංඝ සන්නිපාතයක් එදා නවම් මස පෝය දින ර ජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමියේ රැස්වූූහ. එහිදී සුවිශේෂ කරුණු කීපයක්ම සිදුවූ වග යටගියාවේ සඳහන් ය.
බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් හා වමත් සව් වශයෙන් සැරියුත් මුගලන් දෙනම තනතුරුවලට පත් කෙරුණේ එදින රැස්වූ ඒ මහා සංඝ සභාව මධ්‍යයේ ි. බුදුරජාණන් වහන්සේ එසේ සිදුකළ පදවි ප්රදානය ප්‍රථම වතාවට සසුන්හි තනතුරු පිරිනැමීම ි. එහෙත් ඒ දෙනමට ප්‍රථම සංඝ සමාජයට ඇතුළු වූ හිමිවරුන් සිටිය දී නවක දෙනමකට පදවි පිරිනැමීම "මූණ බලා" සිදුකළ එකක් බවට බුදුහිමිපාණන්ට සංඝයාගෙන් චෝදනා එල්ල විය. එහිලා විශේෂයෙන්ම බුදු හිමියන් හා ගිහිකළ එක්ව සිටි ඡන්න හිමියන් (ඡන්න ඇමැති) තනතුරු ප්රදානයේ දී තමා අමතක කළ බවට චෝදනා කරමින් බුදු සසුන්හි පළමුවරට අර්බුදකාරී තත්ත්වයක් ඇතිකළ බව ඉතිහාසයේ කියැවේ
ඊට පිළිතුරු දෙමින් මේ අවස්ථාව දක්වා සංඝ සමාජයට ඇතුළත් වූ කිසිම හිමිනමක් පෙර අත් භවවලදී අගසව් තනතුරු නොපැතූ බව බුදුන් වහන්සේ, සැරියුත් මුගලන් දෙනම අගසව් තනතුරු පා පින් රැස්කළ බව පැහැදිලි කරමින් අපදාන පාලි දේශනාවෙන් අතීත කතාව ගෙනහැර පා සංඝයා අතරවූ දුර්මත බිඳ හෙළූසේක.
අගසව් තනතුරු ලැබූ සැරියුත් මුගලන් දෙනම, අනෝමදස්සි බුදුන්වහන්සේ දවස සරද හා සිරිවර්ධන යන නම් ලැබූ මහා සිටුවරු වූහ. අනේක විධ වූ සැප සම්පත් වින්දනය කරමින් බොහෝ කලක් වැස ඉන් කළකිරී ප්රවෘජා භූමියට පත්වූහ. එහිදී ගෞතම නම් වන අනාගතයේ ලොව පහළව වදාරන්නා වූ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු සඳහා, අනෝමදස්සී බුදු හිමියන් ගෙන් නියත විවරණ ලද්දෝදෝය. මේ දෙන්නා එම තනතුරු පතා සසර පුරා පින් දහම් හි හැසිර, ගෞතම බුද්ධ රාජ්‍ය සමයෙහි සරද තවුසා උපතිස්ස නමින්ද, සිරිවර්ධන තවුසා කෝලිත නමින්ද උපන්හ. සසර පුරුද්දෙන් දෙදෙනා මිත්‍රයෝ ද වූහ. එකල්හි ද සැප සම්පත් අනුභව කොට එදා රජගහ නුවර පැවැති ගිරග්ගසමඡ්ජ නම්වූ ප්‍රීති උත්සවයට සම්බන්ධවී විනෝද වෙද්දී නිසරු බව අවබෝධ වී විමුක්තිය සොයා සංජය පරිභ්රාජකයා යටතේ පිරිවැජි වෙස්ගෙන, භාවනායෝගී වූහ. කල්ගත වෙද්දී දෙදෙනා විමුක්තිය සොයා වෙන්ව දෙමඟක යන්නේ උපතිස්ස පිරිවැජියාට අස්සජී තෙරුන් වහන්සේ හමුවී, පැහැද හේතු ප්‍රත්‍ය ධර්මය විස්තර වන "යෙ ධම්මා හේතුප්පබවා" නම් වූ ගාථාව අසා පැහැද ධර්මය අවබෝධ වී සිය මිතුරා සමඟ තවත් සිය ගණනක් අතවැස්සන් කැටුව, බුදුරජාණන් වහන්සේ හමුවට ගියහ.
එදවසැ වේළුවනාරාමයෙහි ධර්ම සභා මණ්ඩපයේ වැඩ වසන්නා වූ බුදු හිමිපාණෝ ඈතින් එන පිරිස් දැක "අර එන්නේ මාගේ ශාසනයෙහි අග්‍රශ්‍රාවක දෙනම යෑ" යි පැවසු සේක. පැමිණි පිරිස ඒහි භික්ෂු භාවයෙන් පැවිද්ද ලදහ. සැරියුත් හිමි දකුණත් සව්ද, මුගලන් හිමි වමත් සව් ලෙසටද නම්කරනු ලැබුුුවේ එතැන්හි දී ය.
සාරි නම් බැමිණියගේ පුතා සාරිපුත්ත (සැරියුත්) නමින්ද, මොග්ගලී බැමිණියගේ පුතා මොග්ගල්ලාන (මුගලන්) නමින්ද හැඳින්වූයේ මවුවරුන්ට ගරු කිරීමක් හැටියට යි. පැවිදිව සත් දිනකින් මුගලන් හිමි රහත් ඵලයට පත් වූූහ දීඝනක පරිභ්රාජකයාට දේශනා කළ දහම් අසා සැරියුත් හිමිපාණෝ රහත් භාවය ලද්දෝය.
අගසව් දෙනම පිළිබඳව බුදුරජාණන් වහන්සේ වරෙක මෙලෙසට ප්‍රකාශ කළ සේක.
"එතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූ නං පඤ් වන්තානං යදිදිං සාරිපුත්තො ඉද්ධිමන්තානං මහා මොග්ගල්ලානො" (අංගුත්තර නිකාය) "මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ගෙන් මහා ප්‍රාඥයන් අතුරෙන් සැරියුත් තෙරුණුවෝද, සෘද්ධිමතුන් අතුරෙන් මුගලන් තෙරණුවෝද අග්‍රවෙති. තවද "සෙවෙථ භික්ඛවෙ සාරිපුත්ත මොග්ගලීලාතො භජථ භික්ඛවෙ සාරිපුත්ත මොග්ගල්ලානො.." යන ලෙසට සැරියුත් මුගලන් දෙනම ඇසුරු කිරීමේ වැදගත්කම ද 'සච්ච විභංග' සූත්‍ර දේශනාවේදී බුදුන් වහන්සේ දේශනා කළ සේක.
මෙලෙසට ශාසනයේ චිරස්ථිතිය උදෙසා අගසව් තනතුරු ආදී තනතුරු ප්රදානය කිිිිිරීමටම බුදු හිමි අපේක්ෂා කළහ. එපමණක්ද නොවේ. තනතුරු නොලද හිමිවරුන්ගේ දුර්මත නැති කිරීම් වස් ප්‍රථම "ඕවාද ප්රාතිමෝක්ෂය" (අවවාද කිරීම) දේශනා කළේ ද නවම් පෝ දිනයේය. මුල් යුගයේද භික්ෂු සමාජයට අවවාද විනය නීති අවශ්‍ය වූයේ නැති අතර සිහි කිරීම පමණක් ප්‍රමාණවත් වූ බව පාරාජිකා පාලි දේශනාවට ඇතුළත්ව තිබේ. බුද්ධත්වයෙන් මුල් විසිවස (පඨමාභිසම්බෝධි සමය) තුළ භික්ෂු සමාජයේ විනය ශික්ෂා නොමැති වුවද පසුව කල්යැමේදී ඕවාද ප්රාතිමෝක්ෂය අවශ්‍ය බව සඳහන් කළ හැකිය.
මෙම පෝය දින වැදගත් වන තවත් ප්‍රධාන කරුණක් නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑම සඳහා ආයු සංස්කාරය අතහැරීමට තීරණය කර ප්‍රකාශ කිරීමයි. මෙම අනුවේදනීය අවස්ථාව වන විට බුදු හිමිට වයස අවුරුදු අසූව සම්පූර්ණ වීමට මාස තුනක් තිබිණි. එදා බුදුරජාණන් වහන්සේ අග්‍ර උස්ථායක ආනන්ද හිමියන් සමග රජගහ නුවර චාපාල චෛත්‍ය නම් ස්ථානයේ වැඩ විසූහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් ලෙසට බුදුවරයකුගේ ආයු සංස්කාරය අත්හැරීම් අටක් පිළිබඳව ආනන්ද හිමිට දේශනා කොට තිබේ. "ඡන්ද, වීරිය, චිත්ත, විමංසා" යන සතර සෘද්ධිපාද වැඩූ බුදුවරයකුට කල්පයක් කාලයක් වැඩ සිටිය හැකි බවද බුදුහිමි තෙවරක්ම ආනන්ද හිමිට ප්‍රකාශ කළද "එසේ කල්පයක කාලයක් වැඩ සිටින ලෙසට" බුදු හිමියන්ගෙන් ආනන්ද හිමිට ඉල්ලා සිටීමට තරම් සිහි කල්පනාවක් ඒ මොහොතේ පහළ නොවී ය. එසේ වූයේ උන්වහන්සේ දුකට පත්ව වික්ෂිප්තව සිටි නිසා බව පසුව අනාවරණය විය. ප්‍රථම ධර්ම සංගායනා අවස්ථාවේදී මේ ගැන ආනන්ද හිමියන්ට චෝදනා එල්ල වූ විට ඉහත කී ලෙසින් පිළිතුරු දීමට ආනන්ද හිමියනට සිදු වියවිය.
මෙපරිද්දෙන් සලකා බලන කල්හි නවම් පුර පසළොස්වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ බව පැහැදිලි වෙයි. ලෝක සත්වයාට වසර හතළිස් පහක් පුරා ධර්මය දේශනා කරමින් විමුක්ති මාර්ගය පෙන්වා සිය දහසක් ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝයත් සමගය.
- සුගතපාල මැන්දිස් -