උණුසුම් පුවත්කාලීනදේශපාලනවිශේෂාංගසංස්කෘතික

නවසීලන්තයටත් කෑම අපෙන්

කෝටි ගණනින් මුදල් ගසාකන ශ්‍රී ලාංකික තැරැව්කරුවන්

මේ ලියුම්කරු සමඟ මිත්‍ර සමාගමෙහි සිටින දෙස් විදෙස් මිතුරු ගනය සෑහෙන පිරිසකි. කෙනෙක් ඔහුගේ ගමේ ඇත්තෝ ය. කෙනෙක් පාසල් සමයේ අකුරු කළ මිතුරෝ ය. තවත් කෙනෙක් අවට පාසල් හි ඇසුරට පත්වූවෝ ය. අයෙක් විදෙස්ගත ව සිටි සමයේ දැන හඳුනා ගන්නා ලද සගයෝ ය.  නවසීලන්තයේ රැකියාවක නියැළී සිටින මිතුරකුගෙන් ඉකුත් දිනෙක තමන් ලද දුරකතන ඇමතුමකින් හටගත් කම්පනයෙන් ලියුම්කරු මේ ලිපිය ලියන්නට තත්පර වී ඇති බව පෙනේ. හෙළදිව පුවත් සංග්‍රහය දිවයින ඉරිදා සංග්‍රහයෙන් (2025. 12. 21)  මේ ලිපිය උපුටා ගෙන සංස්කරණය කර පාඨකයින් ගේ නෙත් සිත් වෙත යොමු කරන්නේ ලියැවිල්ලේ ඇති වටිනාකම හේතු කරගෙන යි. - හෙළදිව සංස්කාරක -

"අයියා පොඩි හදිස්සියකට කතා කළේ. මට ලොකු උදව්වක් නැ අයියගෙන්. අයියා දන්න කෙනෙකුට කියලා මට හාල්, සීනි, පරිප්පු, වගේ තියන් කන්න පුළුවන් දෙයක් එවන්න කෝ. මං දන්නවා නේ අයිය‌ෙග යාළුවෝ ගොඩක් මෙහේ ඉන්නව කියලා. මේ දවස්වල අතේ පිච්චියක් නෑ. කන්න බොන්න විදියක් නෑ අයියේ"

දරුවන් දෙලොවක තනිවෙයි

මුලා වූ තරුණයෝ මහමග සිඟමනේ

කෝටි ගණනින් මුදල් ගසාකන ශ්‍රී ලාංකික තැරැව්කරුවන්

හැමිල්ටන්, වෙලිංටන්, ක්ලන්ඩ් මේ හැම නගරයක ම ජොබ් සොයනවා, තාම ජොබ් එකක් සෙට් වුණේ නෑ. මාර කට්ටක් කන්නෙ භක්ති අයියේ. මට දැන් එපාවෙලා තියෙන්නේ. නවසීලන්තයට ඇවිල්ලා මෙහෙම වුණා කියලා ලංකාවේ කාටවත් ම කියන්න බෑ, ගෙදරට මේක කියන්නත් බෑ. ගෙදරට කියන්නෙ කොහොම ද මං භක්ති අයියේ"

මේ ඉකුත් සිකුරාදා (2025. 12. 19) දහවල් 12. 15 ට පමණ නවසීලන්තයේ, රොටරුවා නගරයේ පදිංචිව සිටින 'රසික හේවාපතිරණ' සොහොයුරා දුරකතන ඇමතුමකින් මා අමතා කළ ඉල්ලීම යි.

නවසීලන්තයේ හැමිල්ටන් හා රොටරුවා නගරවල ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම් අතර වාර්ෂිකව පැවැත්වෙන ක්‍රිකට් තරගය අතරතුර (2023) රසික සොවුරා මට මුණ ගැසුණි. හවුරුදු තිස් හතරක් වන රසික ශ්‍රී ලංකාවේ තංගල්ල නගරය ආසන්නයේ පදිංචිකරුවෙකි. ඔහුට වැඩිමහල් සොවුරියක සිටියි. අරාබි එක්සත් එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බවත්, මට කී බව මතක ය.

ඒ වන විටත් ඔහු මෝටර් රථ අලුත්වැඩියා කරන ආයතනය දෙකක සේවය කරමින් සිටියෙකි. මේ සටහන තබන අවස්ථාව වන විට ඔහුට කිසිදු රැකියාවක් නැතිව ලතවේ. සතියකට වරක් වැටුප් ගෙවන නවසීලන්තයේ සතියකට පැය හතළිහක් අවම වශයෙන් රැකියාවක නියුතු වුවත් රසිකට එසේ සේවය කරන්නට තරම් රැකියා අවස්ථාවක් නැති බව කියයි.  අඩු තරමින් පැය දහයක් හෝ කරන්නට රස්සාවක් නැතිව මේ තරුණයා විඳින දුක මට හිතාගත හැකි ය.

දෙපැයක් හෝ ඊට වැඩි කාලයක් කළ හැකි විවිධ රැකියා, සතියකට දින දෙක තුනක් කරමින්, එවැනි රක්ෂා සොයමින්, නවසීලන්තයේ නොයෙක් නගරවල සැරිසරමින් සිටින්නෝ විරළ නොවෙති.

රොටරුවා නගරයේ පදිංචි ශ්‍රී ලාංකීය වයාපාරිකයකුට රුපියල් ලක්ෂ 70 ක් පමණ දී නවසීලන්තයට පැමිණීමට අවශ්‍ය වීසා බලපත්‍ර ලබාගත් බවක් රසික කියයි. ශ්‍රී ලාංකේය මුදලින් රුපියල් ලක්ෂ 9 කට ආසන්න මුදලක් මාසයකට උපයාගත හැකි බව ව්‍යාපාරිකයා සඳහන් කළ ද තමා ස්ථිර රැකියාවක් කළ කාලය තුළ ලැබුණේ රුපියල් ලක්ෂ 7 කට ආසන්න මුදලක් බව රසික මා හා සඳහන් කළේ ය.

සතියකට කාමර කුලිය, ආහාරපාන සහ ඉන්ධන සඳහා මුදල් වෙන් කිරීමෙන් පසු අතේ රැඳෙන්නේ ඉතා සුළු මුදලක් බවත්, එවැනි සොච්චම් මුදලකින් විනෝද ගමනක් යාමට පවා නොහැකි බවත් හේ පැවසී ය.

2010 වසරේ සිට නවසීලන්තයේ ඔක්ලන්ඩ්, රොටරුවා, වෙලින්ටන්, හැමිල්ටන් ඇතුළු නගර කිහිපයක ම විවිධාකාර රැකියා පාළොහකට වැඩි ගණනක නිරත වූ මා මේ වන විට දිවිගෙවන්නේ මව්බිමෙහි ය. වසර දෙකකට පෙර  ශ්‍රී ලංකාවට පැමිණියෙමි.

දාහතර වසරක් විටින් විට නවසීලන්තයේ ගතකළ ජීවිතයට යම් පහසුවක් තිබුණ ද, මේ වන විට නවසීලන්තයට යන නවකයකුට එහි ජීවත්වීම සඳහා මහා අරගලයක් කිරීමට සිදුව ඇති බව සඳහන් කළයුතු ම ය.

2010 වසරට සාපේක්ෂව මේ වන විට නවසීලන්තයේ දී නව ගමනක්, ජීවිතයක් ආරම්භ කිරීමකිසිදු විදේශීකයකුට ලේසි පාසු කාර්යයක් නොවේ. දිනෙන් දින වැඩිවන ආර්ථික උද්දමනය නිසා විදේශිකයින්ගෙන් අයකර ගන්නා නොයෙක් ආදායම් බදු ක්‍රම මෙන් ම, මාස ගණනකට වරක් වෙනස් කරන විදේශිකයින්ට අදාළ නීති රීති මෙයට හේතු වී ඇත.

දෙමව්පියන් සමඟ නවසීලන්තයට යන පාසල් දරු දැරියන්, තවත් දරුණුම ඉරණමකට මුහුණ පෑමට සිදුවේ. විශේෂයෙන් ම එරටේ පාසල්, සිසු සිසුවියන් ගේ ක්‍රියාකාරකම් මෙන් ම, ඔවුන්ගේ සංස්කෘතියට හැඩ ගැහීමට මෙරට දරුවන්ට පහසු කාරියක් නොවේ. මේ හේතුවෙන් ඒ දරු දැරියන් දෙලොවක් අතර අතරමං වී තනිවී ඇතැ යි කිව හැකි ය. ශ්‍රී ලංකාවේ දී අපේ දරුවන් අත්වින්ද බොහෝදේ නවසීලන්තයේ දී   ඔවුනට අහිමිවන බව කිව යුතුම ය.

කොළඹ, ගාල්ල, මාතර, නුවර, කුරුණෑගල, යාපනය  වැනි දිවයිනේ  ප්‍රධාන නගරවල පිහිටි ප්‍රසිද්ධ ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලද බොහෝ දරුවන් බහුතරයක් මෙලෙස සිය මාපියන්ගේ අවශ්‍යතාවය මත නවසීලන්තය වැනි රටවල්වලට ගෙනයෑම නිසා මුල් වසර කිහිපයේ දී, ඔවුන් දැඩි කම්පනයකට මෙන් ම අසහනයකට පත්වන අයුරු ලියුම්කරු දැක ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) මෙන් ම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා සූදානම් වි සිටින දරුවන් සමඟ දෙමාපියන් විදේශගත වීම තුළින් ඒ දරු දැරියන් ගේ අධ්‍යාපනය තවත් වසර ගණනාවකට පිටුපසට ඇදීගෙන යෑමක් ලෙස පෙන්වා දිය හැකි ය.

දෙමාපියන් උසස් අධ්‍යාපනයකට හෝ රැකියාවක් සඳහා හෝ විදෙස්ගත වන්නේ නම් දරුවන්ගේ මෙම අධ්‍යාපන කඩඉම හමාර කිරීමෙන් පසුව ළමයින් කැටිව යාමට කටයුතු කිරීම බුද්ධිමත් ක්‍රියාවක් හැටියට පෙන්වා දීමට කැමැති ය.

නවසීලන්තයට යාම සිහිනයක් කරගත් බොහෝ පිරිසක්, මේ වන විට ශ්‍රී ලංකාවේ සිටිති. ඒ වග සමාජ මාධ්‍ය වලින් අපට දැකගත හැක. එහෙත් ඒ සිහිනය සැබෑ කරගැනීමට හැකි වුව ද, වර්තමානයේ නවසීලන්තය ජීවත්වීමට පහසු රටක් නොවන බව සටහන් කළ යුතු ම කරුණකි.

මීට වසර හය හතකට ඉහත දී නවසීලන්තය යනු නෑම විදේශිකයකුට ඉතා පහසුවෙන් ස්ථාවර විය හැකි රටක් මෙන් ම ජීවත්වීම සඳහා වටිනා පරිසරයක්තිබූ රාජ්‍යයෙකි. එහෙත් වර්තමානයේ නවසීලන්තයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අධික ලෙස ඉහළ අගයක් ගන්නා අතර පැයක සේවා කාලය සඳහා ගෙවනු ලබන මුදල ඉතා පහළ අගයක් ගනී.

තවත් ප්‍රධාන කාරණාවක් වන්නේ,  පළමු උපාධිය ලබාගැනීම සඳහා, අධික මුදලක් ගෙවා නවසීලන්තය කරා ලෝකයේ රටවල් සියයකට වැඩි ප්‍රමාණයකින් පැමිණෙන ශිෂ්‍යයින් සඳහා, රැකියා වෙළඳ පොළක් නොමැතිවීමත්, එලෙස පැමිණි සිසුන්, එරටේ ස්ථිර පදිංචිය ලබා ගැනීම නිසාවෙන් රැකියා ඉතා හිඟයක් පැවතීම යි.

නවසීලන්තයේ පිහිටි විශ්වවිද්‍යාල කිහිපයක් ම ලෝකයේ ප්‍රධාන විශ්වවිද්‍යාල ලෙස අන්තර්ජාතික විශ්වවිද්‍යාල ලෙස පිළිගන්නා හෙයින් එරට රජයට ප්‍රධාන ආර්ථික ආදායම් මාර්ගයක් සේ විදෙස් ශිෂ්‍යයින් සරසවිවලට ඇතුළත් කිරීම දසක කිහිපයක සිට සිදුකරමින් පවතී. මෙලෙස පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උපාධිය දිනාගැනීමෙන් පසුව රැකියා සොයා ගැනිම මහත් ගැටලුවක් වී තිබේ.

තවත් පැත්තකින් පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි ලබාගෙන නවසීලන්තයේ ස්ථිර පදිංචියේ අපේක්ෂාවෙන් එරටට යන තවත් බොහෝ පිරිසක් ද වෙති. මේ සඳහා ශ්‍රී ලංකාවේ ද මහත් පිරිසක් උනන්දු වෙති. ශිෂ්‍යත්වයක් ලබා ගැනීම සඳහා එරටට යාම කිසිදු ගැටලුවක් නැත. එහෙත් පශ්චාත් උපාධි (MA) උපාධි, ආචාර්ය උපාධි ලබා ගැනීම සදහා මේ වන විට එරටට රුපියල් කෝටි ගණනින් ගෙවීමට උපාධි අපේක්ෂකයින්ට සිද්ධ වේ. ඒ උදෙසා විදෙස්ගත වන බොහෝ උපාධි අපේක්ෂකයින් හවුරුදු 35 – 55 අතර පුද්ගලයින් ය. ඔවුන් ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රීය මෙන් ම විධායක ශ්‍රේණිවල රැකියාවන් හි නියැළී සිටින පුද්ගලයින් ය. ඔවුන් රැකියාවෙන් මෙන් ම ජීවිත ස්ථාවරත්වයක් ඇති කරගත් පිරිසකි.

මෙලෙස විදේශගත වන පුද්ගලයින්ට නවසීලන්තය තුළ මීට වසර හයකට උඩ දී රැකියා සහ අර්ද රැකියා කිරීමේ අවස්ථා තිබුණ ද වර්තමානයේ එලෙස රක්ෂාවක් සොයා ගැනීම පහසු කාරණාවක් නම් නොවන වග කිය යුත්තේ ම ය.

උසස් අධ්‍යාපනය උදෙසා නවසීලන්තයට යන මෙවන්නන්ගෙන් බොහෝ දෙනකු තම ස්ථිර රැකියාව මෙන් ම තම බිරිඳගේ ස්ථිර රැකියාවෙන් සම්පූර්ණයෙන් ම ඉවත දමා දරුමල්ලන් ද කැටිව නවසීලන්තයේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ අරමුණින් විදේශගත වන අතර එසේ විදෙස්ගත වූ පවුල් වසරකට වඩා අඩු කාලයක දී ආපසු මෙරටට පැමිණි බව ලියුම්කරු හොඳින් දන්නා කරුණකි.

එසේ පැමිණි උදවිය මෙහි තිබු තමන්ගේ මෝටර් රිය හෝ වෙනත් රථවාහන මෙන් ම නිවෙස් ඇතුළු වෙනත් දෑ විකුණා දමා රැකියාවෙන් ද ඉවත් වී විදෙස්ගත වීම නිසා යළි හදිසියේ පැමිණීමේ හේතුවෙන් මහත් දුෂ්කරතා රැසකට මුහුණ පාමින් ජීවිතය අලුතෙන් ම ආරම්භ කරන්නට සිදුව ඇති බව කියන්නට අපට සිදුව ඇත්තේ කනගාටුවෙනි. දුකෙනි.

මෙහි දරුණුම පැතිකඩ වන්නේ ජාතික පාසල්වලට මෙන් ම ලංකාවේ ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනය ලබමින් සිටි දූදරුවන් වෙනත් පාසල්වලට ඇතුළු කිරීමට සිදුවීමේ කතන්තරය යි. ඒ හේතුවෙන් ඒ දරු දැරියෝ දැඩි කම්පනයකට, පීඩනයකට පත් ව සිටිති.

මෙරට හා එරට සිටින තැරැව්කරුවෝ උපාධි ලබා ගැනීමට නවසීලන්තයට යන පුද්ගලයින්ට සිහින ලෝකයක් මවා පාති. මේ ඒජන්තයින් තමන්ගේ මඩි තරකර ගැනීමට උප්පරවැට්ටි යොද යොදා විදෙස්ගත වන පිරිස් අන්දවන බව දන්නේ කවුරුන් ද?

මෙරට සරසවි ඇදුරන් ඇතුළු නොයෙක් ක්ෂේත්‍රවල ගුරුවරුන් ද ආචාර්ය උපාධි සහ පශ්චාත් උපාධි හැදෑරීම සඳහා නවසීලන්තයට යෑමේ දී මොවුන් මේ තැරැව්කරුවන්ට හසු නොවන බව ලියුම්කරු අත්දැකීමෙන් හඳුනාගත් කාරණයකි. එලෙස විදෙස්ගත වන ඇදුරන් තමන්ගේ සරසවිවල සිටින මිතුරන්ගෙන් මෙන් ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් විදෙස්ගත වීම එයට ප්‍රධාන හේතුවක් සේ පෙන්නුම් කළ හැකි ය.

අංශ ගණනාවක් ඔස්සේ නවසීලන්තයය යන පුද්ගලයින්ට අත්වන කටුක ඉරණම පිළිබඳව අපට සටහන් තැබිය හැකි ය.

විශේෂයෙන් ම මෝටර් රථ කාර්මිකයින්, කෘෂිකර්මාන්තයට අදාළ රැකියාවල නිරත පුද්ගලයින්, සූපවේදීන්, රූප ලාවණ්‍ය ශිල්පීන්, වඩු කාර්මිකයින් ඇතුළු නොයෙක් රැකියා සඳහා ශ්‍රී ලංකාවේ මෙන් ම ඩුබායි, අබුඩාබි ඇතුළු අරාබි රාජ්‍යවල රැකියාවන් හි නිරතව සිටින පුද්ගලයින් නවසීලන්තයේ රැකියා ලබා දෙන බව පවසා එරටට ගෙන්වා ගන්නා වූ ඉන්දීය හා ශ්‍රී ලංකේය තැරැව්කරුවන් නවසීලන්තයේ මහා මිනිස් ජාවාරමක යෙදේ.

වසර තුනක රැකියා වීසා බලපත්‍රයක් මඟින් මෙලෙස ගෙන්වා ගන්නා පුද්ගලයෝ නවසීලන්තය තුළ දී සරණාගතයන් බවට පත්වී සිටිති එහිදී තැරැව්කරුවන්ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 70  - 100 දක්වා ගෙවීමට සිදුව තිබේ. මෙලෙස පැමිණි පුද්ගලයින්ට මාස හයකට ආසන්න කාලයක් රැකියා ලැබේ. ඉන්පසුව රැකියා අහිමි වේ. මෙවන්  පුද්ගලයින් නවසීලන්තය පීරමින් රැකියා සොයා ගැනීමට උත්සාහ ගනී. එහි රක්ෂාවක් සොයාගත නොහැකි අයට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සිදුවන අතර අරාබියේ හා වෙනත් රටවල සිට ආ පුද්ගලයින්ට තමන් පෙර කළ රැකියාව ද අහිමි වූ බව කිහිප දෙනකු ලියුම්කරු හා පවසන ලද්දේ දැවැන්ත දුක්ගිනි කන්දරාවක් හිත් හතන් හි පුරෝ ගෙන ය.

ක්ලන්ඩ්, හැමිල්ටන්, රොටරුවා, තව්ෆෝ, ෆමන්ටනොන්, වෙලින්ටන්, නේපියර්, ඩැනිඩින්, ක්‍රයිස්චර්ච් ඇතුළු නවසීලන්තයේ ප්‍රධාන නගර ආශ්‍රිතව මෙන් ම ගොවිපළවල් ආශ්‍රිත රැකියා අහිමි වූ පුද්ගලයින් සිය ගණනින් රැකියා හොයමින් තාවකාලික රැකියාවල නිරත වන බවට තොරතුරු රැසක් ලියුම්කරැ සතුව ඇත.

ඔක්ලන්ඩ් නගරයේ හිඟමන් යදින අපේ තරුණයින් කිහිප දෙනකු පිළිබඳව ද තොරතුරු සටහන් කරන්නේ දැඩි වේදනාවකින් පිරි හදවතිනි.

මෙසේ රැකියා අහිමි තරුණයින් කිහිප දෙනකු දුරකතනය ඔස්සේ ලියුම්කරු හා අදහස් දක්වන ලදි.

රුවන් බදුගේ

''මං හපුතලේ, අම්මයි, තාත්තයි, නංගියි පවුලෙ සාමාජිකයින්. මම ඉගෙන ගත්තේ කෘෂිකර්මය. සත්ව පාලනය පිළිබඳ පාඨමාලාවකුත් කළා. යාළුවෙක් මාර්ගයෙන් ලක්ෂ 60 ක් දීලා තමයි නවසීලන්තයට ආවේ. ඇවිත් දැන් අවුරුද්දකට වැඩියි. මුලින් ම හැමිල්ටන් නගරය කිට්ටුව තියෙන ගව ගොවිපළක වැඩ කළා. ඒක අයිති ලංකාවේ කෙනකුට. ඔහු මාස හයකට පස්සෙ ගොවිපළ වැහුවා. මට අයින් වෙන්න කීවා. ඔහු මාස හයකට පස්සේ ගොවිපළ විකුණුවා. සති තුනක පඩි වැඩියෙන් ගෙව්වා. ඊට පස්සේ මං නොයෙක් තැන්වල කම්කරු වැඩ කරනවා. දැන් නැවතිලා ඉන්නේ ඉන්දීය ජාතිකයකුගේ නිවෙසේ. ඔහුට පිරිසිදු කිරීමේ ආයතනයක් තියෙනවා. හෝටල්, පාසල් මං පිරිසිදු කරනවා. පැය හතරයි දවසකට රැකියාව කෙරෙන්නේ. මගේ ගැටලු ඉන්දීය ජාතිකයාට කිව්වහම ඔහු මට  කාමරයක් දුන්නා නොමිලේ  නැවතිලා ඉන්න. ඔහු නොසිටින්නට මට එළියෙ තමයි නිදා ගන්න වෙන්නේ.

අපේ ගෙදර අය මගේ තත්තෙ දන්නෙ නෑ. මට කියන්නත් බැහැ. මගෙ අම්මා ගුරුවරියක්.  ඇය බැංකු ලෝන් එකක් අරගෙන යි මට සල්ලි දුන්නේ නවසීලන්තෙට එන්න. ඊට අමතරව අපට අයිති ඉඩමක් විකුණලා මගේ තාත්තා මට සල්ලි දුන්නා. ලංකාවෙන් ගෙනාපු මුදල් සොයා ගත්තු ගමන් මං ලංකාවට යනවා. මට තව අවුරුදු දෙකකට වීසා තියෙනවා. මාව මෙහාට ගෙන්නපු පුද්ගලයා දැන් මට කතා කරන්නෙවත් නැහැ.  මං පෝන් කරහම කෝල් එකට ආන්සර් කරන්නෙත් නෑ.

රුවන් රසංග පෙරේරා ‍

''දැනට ක්ලන්ඩ් නගරය කිට්ටුව තමයි මං ඉන්නේ. මං වත්තල ප්‍රදේශයේ.  කළමනාකරණය පිළිබඳ වසරක ඩිස්ලොමා පාඨමාලාවක් හැදෑරීමටයි නවසීලන්තයට ආවේ. කොළඹ නුගේගොඩ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක් මඟින් තමයි නවසීලන්තයට ආවේ"

''එම ආයතනය ලක්ෂ 40 ක පමණ මුදලක් ලබා ගත්තා මගෙන්. ඩිප්ලොමා එක අවසන් කිරීමෙන් පස්සෛ රැකියාව ලබාගෙන නවසීලන්ත.යේ පදිංචියට  (PR) ඉක්මනින් ලබා ගන්න පුළුවන් කියලයි ඔවුන් කීවේ. ඒක එහෙම නෙවෙයි ඒ සඳහා ලොකු ක්‍රියාදාමයක් තියෙනවා. තවත් සල්ලි වියදම් කරමින් මම ඉගෙන ගත් ඩිප්ලොමා පාඨමාලාවට අදාළ රැකියාවක් හොයාගෙන එහි කළමනාකරු දක්වා උසස්වීම් ලබා ගැනීමෙන් පසුවයි  PR ඉල්ලුම් කළ හැක්කේ.   මේ වන විට PR ලබා ගැනීම සඳහා  නීතිඥ මුදල් සහ ඊට අදාළ ලියකියවිලි මෙන් ම රජයට ගෙවන මුදල නවසීලන්ත ඩොලර් 9000 කට ආසන්නයි. ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 15 කට වැඩි අගයක් ගන්නවා.

"මට තවම මගේ ඩීප්ලොමාවට අදාළ රැකියාවක් ලැබුණේ නෑ. නමුත් මම වෙනත් රැකියා කළා. කම්කරු රැකියා කිහිපයක් කරගෙන යනවා. හැබැයි පැය ගණන මදියි."
''කෑමට, බීමට, නවාතැන්වලට ලොකු වියදමක් යනවා. ඒක හිතා ගන්නවත් බැහැ. කොහොම හරි ගේමක් ගහලා සල්ලි ටිකක් හොයා ගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි ලේසි වැඩක් නෙවෙයි මේක. මේ කන කට්ට ලංකාවේ දී කන්න පුළුවන් වුණා නම් මං අද ලංකාවේ කෝටිපතියෙක්".

මෙවැනි අමිහිරි අත්දැකීම් ඇති තවත් තරුණ තරුණියන් රැසකගේ තොරතුරු ලියුම්කරු වෙත ලැබී ඇත. ඔවුන් සියලු දෙනාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍යව සිටියත් තමන් වියදම් කරන ලද මුදල කෙසේ හෝ උපයා ගෙන නැවත මව්රටට පැමිණීමේ අපේක්ෂාවෙන් ජීවිත හටනක යෙදී සිටී.

විදේශ රැකියාවල නිරත වූ ශ්‍රී ලාංකික කාන්තාවන් සහ නොයෙක් පුද්ගලයින් මුහුණ දුන් අත්දැකීම් අප මීට පෙර දැක ඇත්තේ කුවේට්, ඩුබායි වැනි මැදපෙරදිග රටවලිනි. එහෙත් එය දැනටත් ක්‍රියාත්මක වන අතර දශක ගණනාවක් තුළ දී මේ සඳහා විසඳුම් නොපෙනේ.

ඉතාලියේ රැකියා සඳහා ද නොයෙක් ක්‍රම ඔස්සේ එරටට ගොස් සිටින අප රටවැසියන්ට අත්වූ අමිහිරි අත්දැකීම් ප්‍රවෘත්තිවලින් අපි දැක ඇත්තෙමු. අසා ඇත්තෙමු.  එහෙත් වර්තමානය වන විට එවන් රටවල් කිහිපයකට සීමා වූ මෙම කලබගෑනිය ලෝකයේ ප්‍රබල රටවල් යැයි කියා ගන්න‌ා රටවල් රැසක ම මෙය සිදුවෙමින් පවතී.

නවසීලන්තය, එංගලන්තය, ස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක සිටින ශ්‍රී ලංකීයයන් සිය ගණනක සංචාරකයින් තම සංචාරක කාලය දිගු කරගනිමින් ශ්‍රී ලංකාව තුළ වැඩි කාලයක් සංචාරයේ නිරත වන්නේ මේ භූමියේ පවතින සුන්දරත්වයට ආකර්ශනය වීමෙනි. ඔවුන්ගෙන් බහුතරයක් කියන්නේ තමන් ශ්‍රී ලංකාවේ දී තරම් සතුටු වූ වෙනත් රටක් නැති තරම් යැ යි කියායි.

වරක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී නවසීලන්තයට පැමිණි නවසීලන්තයකු ලියුම්කරුට වෙලින්ටන් නුවර දී මුණ ගැසුණු අවස්ථාවේ ලියුම්කරුගෙන් අසා සිටියේ ශ්‍රී ලංකාව තරම් සුන්දර රටක් තිබිය දී නවසීලන්තයේ නුඹ මොනවා කරනවා ද මිතුරේ යනුවෙනි.

භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් -