නිදහස් අධ්‍යාපන පනත සම්මත කළේ ඉතා අමාරුවෙන්
මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය හදලා ගත්තේ යෝධ පියවරක්. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
"එදා මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ මැතිතුමන්ලාගේ පියා ඩී.ඒ රාජපක්ෂ මැතිතුමා අපේ රටේ මහා පෙරළියකට හම්බන්තොට ජනතාව ගෙන ආවා. එතුමා රටේ නොසෙල්වෙන ඡන්දයක් පාවිච්චි කරපු මන්ත්‍රීවරයෙක්. නිදහස් අධ්‍යාපනය ඕනෙද එපාද කියන වෙලාවෙ ඩී.ඒ.රාජපක්ෂ මැතිතුමා නිදහස් අධ්‍යාපනය ඕනේ කියන පැත්තටයි ඡන්දෙ දුන්නේ. එදා ඒ පනත සම්මත වුණේ එක ඡන්දෙන්. එදා පැරදුනානම් මේ රටේ නිදහස් අධ්‍යාපනයට තව අවුරුදු පනහක් යනකන් පනතක් ගේන්න බැහැ. ලංකා ඉතිහාසයේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් හැමගෙන් ඒ ඓතිහාසික සටන කියවෙනවා අඩුයි. සී. ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාට ඊට අවුරුදු දහයකට පස්සේ තමයි පනත ගෙනල්ලා සම්මත කරන්න පාර්ලිමේන්තුවෙන් අවසරය දුන්නේ. කලින් තීරණය ජයග්‍රහණය නොවෙන්න එදා නිදහස් අධ්‍යාපනය පිළිබඳ අයිතිය තව කාලයකට නොලැබෙන්න තිබුණා.
පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොනවද කළේ කියලා සමහර අය අහනවා. කෙටි උත්තරය වන්නේ, ඔබටත් ඉගෙන ගන්න නිදහස් අධ්‍යාපනය ලබා දුන්නා කියන එකයි. නිදහස් අධ්‍යාපනය තමයි මහා වස්තුවයි.
එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක, පිලිප් ගුණවර්ධන සහ ඩී.ඒ රාජපක්ෂ මැතිතුමන්ලා මහ කැලෑවක් මැද එදා චන්ද්‍රිකා වැවට ආරම්භයක් දුන්නා. චන්ද්‍රිකා වැවෙන් වලවේ නිම්නය අලුත් වැඩපිළිවෙළකට වෙනස් වුණා. වලවේ නිම්නයක් බවට සංවර්ධනය කරන්නට පටන් ගත්තා.
මම නාගරික සංවර්ධන අමාත්‍යවරයා හැටියට ඉන්න කාළේ චමල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා, සමග චීන තානාපතිතුමා පළවෙනි පස් පිඩැල්ල කපනවා හම්බන්තොට වරායට. බොහෝ අය බොහෝ දේවල් කිව්වා. හොඳ වරායක් හැටියට කොළඹ හැදෙන්න අවුරුදු පන්සිය විස්සක් ගියා. කෝට්ටේ රාජධානිය වැටුණට පස්සේ අවුරුදු පන්සියයක් ගියා කොළඹ වරාය දියුණු වරායක් බවට පත් කරන්නට.
මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය සැලසුම් කරලා අපේ මහ මුහුදේ ගමන් ගත් නැව් මෙතනට ගෙන්වන්නට ඒ තරම් කාලයක් ගත වුණේ නැහැ. වරායන් දියුණු වෙන්නේ අදියරෙන් අදියර. ඒ ක්ෂේත්‍ර ප්‍රයෝජනයට ආකර්ෂණයට පුළුවන් විදිහටත් ඒ වටා ගොඩනැගෙන කර්මාන්ත හරහාත් වරාය ගොඩනැගෙන කාල සීමාව වෙනස් වෙනවා. එදා අනාගතය වෙනුවෙන් ගත්ත යෝධ පියවර අද හදන්න කවුරුහරි කතා කරනවා නම් කොපමණ වියදමක් දරන්න වෙයිද? අපිට දෙවැනි වරායක් අවශ්‍ය වෙන්නේ නැද්ද? මේවා සංසන්දනය කරලා ආර්ථික ඉදිරිය සඳහා අපි ආයෝජනය කරන්නට වෙනවා. ඒ ආයෝජනය වර්ධනය කර ජයග්‍රහණය කරන්නට වෙනවා.