උණුසුම් පුවත්කව් මිණි වැල්

නිර්මාණශීලී දඟයෙක් වේවා!

චමින්ද ගෙ හිතෝපදේශ

මා ඔබට සොඳුරු සුවපත් දොහක් පතනවා!

ඒත් මහා වියළි බව දරා ගන්නම බැරි තැන"

අනේ වැහැපන් " කියූ දහසක් ප්‍රාර්ථනා

එකවර මහා වැස්සක් වෙලා.

ගහ කොළ ගම්බිම් පෙරළාගෙන ගොස්

මේ වෙද්දී ජීවත ගණනාවක් බිලි අරන්.

ඒ වැස්ස කෙමෙන් තුනී වී යද්දි

වියයුතු බොහෝ දේ වී හමාරයි.

"මී පැනි වුණත් වැඩි උනොත් තිත්තයි" කීවා සේ,

වැඩි වැස්සත්, වැඩි අව්වත් අපේ ජීවිතවලට දැන් දැන්

කරන තර්ජන මරණීය දඬුවම කරාම ගමන් කරමින්.

"වැඩි සෙනේ දබරෙටයි " කියා අපි අසා තියෙනවා.

ඒත් මේ හැම දෙයක්ම සිදු වෙන්නේ

ඉබේ නොවෙයි.

අපි අපිම කරපු දේවල්වල අනිසි ඵල

නොවෙද අද අපි මේ විඳින්නේ?.

"එක මකුණයි කන්නේ.ඇයි ළමයෝ ඔක්කොම

මකුණො මරන්නේ" කියා අපි සිංදුත් ඇහුවට

මරන්න ගියාම අහුවෙන හැම

මකුණාම මරන්නා සේ,

ගස් නොකපන,

ඇළිවෙලි නොවසන,

කාණු පටු නොකරන අයත් මේ වැස්සෙන්, නියඟයෙන් අද දුක් විඳිනවා.

අපි හැමදාමත් මෙය දකිනවා. විඳිනවා. කියනවා.

ඒත් ඒක හැමදාමත් දැන් චක්‍රයක් වෙලා.

අපි පිච්චෙනවා කිය කියා දැන්, ගෙනත් තවමත් දැල්ල ඇල්ලීමෙන් වැළකී නෑ .

ඒ නිසා අපි නොදැන දැල්ල ඇල්ලීමෙන්

ලබන වේදනාවට වඩා වැඩි වේදනාවක් විඳිනවා.

මේ හැම දෙයක්ම දැනගෙන කෙටි සුවය,

බලය, හිමිකම වෙනුවෙන් අපි

බොහෝ දේවල් නැතිකර ගනිමින් ඉන්නවා.

මෙහි ඇති සුන්දර ම විහිලුව වෙන්නේ

එය දැන දැනම අපි දිගින් දිගටම සිදු කිරීමයි.

ඊටත් වඩා එහි ඇති උපහාසය නම්

අපිම ඒවා විග්‍රහ කරමින් ඒවාම අසා සිටීමයි.

එතැනින් නොනැවතී අපි

තලුමරමින් ම ඒවා විග්‍රහ කරමු.

කවදාද අපි මේවා තේරුම් ගන්නේ.

මේ රටේ සිටින සියලුම දෙනා

දවසකට හරි ලංකාවෙන් පිටරටකට රැගෙන

ගොස් නීතිය හා මනුස්සකම් පෙන්වීමෙන් ද?

ඒත් බලු වලිගය උණ පුරුකේ දැමුවත්

කෙළින් වේද?

මොකද අපි ඕනේ තැනකදී පමණක්

කෙළින් කරගතයුතු දේවල් හැම වෙලේම, හැමතැනකම

කෙළින් කරගෙන.

ඒ නිසාම ගැටුම් වැඩී. කවුරුත් ඇත්ත නොදැක

කෙළින් කරගත් මානය නිසා දිනන්නමයි යන්නේ.

වාහනය ඉස්සර කරන්න නොදුන්නනත්

ඒක මරණයෙන් අවසන් කරන්න තරම්

අපි මානය ,බලය,

මුළාව කෝපය කෙළින් කරගෙන.

එක්කෝ මේ රටේ පාලකයෝ

රටේ පාලනයෙන් ඉවත් විය යුතුයි.

එක්කෝ නඩුකාරයෝ නඩු

නොඅසා සිටිය යුතුය .

එක්කෝ පොලීසිය නීතිය හා ආරක්ෂාව

රැකීමෙන් ඉවත් විය යුතුය .

නැත්නම් මේ සියලු ආගමික දේශකයො

හා රඟන්නෝ ඉන් ඉවත් විය යුතුය .

කුඩු බොන උන්‍ට ඒවා බීමට දිය යුතුය .

අඟපසඟ පෙන්වන්නට දඟළන

උන්ට ඕනෑ දෙයක් පෙන්වීමට ඉඩ දිය යුතුය.

ආයුධ ගන්න උන්ට ඒවා ගන්නට දිය යුතුය.

අඩුම ගානේ සතියක් හෝ එසේ කරල

බැලුවොත්වත් මේ සමාජය හැදේවිද

බලනවා හැර

දැන් කළ යුතු වෙනත් දෙයක්

නැති තැනට මේ සමාජය පත් වී නැතිද?

මන්ද සෑම තැනකදීම,

සෑමවිටම පෙනී යන්නේ බොහෝ ඉටු නොවූ

ආශාවෙන් මඬනා ලද සිත් (To be recovered AREAS ) ඇතිව

දඟළන මිනිසුන් මේ හැම දෙයක්ම කරන්නේ

ඒ ආශා මුදුන්පත් කර ගන්නට නොවේද?

අනේ අපි මේ ගැන නොසිතමුද?

ඒ ගැන කතා නොකර සිටිමුද ?

ඒ වෙනුවෙන් ඔබට කළහැකි සුළු දේ වුවද

දැන් ම ඉටු කිරීමට ඔබට ඇවැසි

ශක්තිය ලැබෙන

දඟකාර සුවපත් දොහක් !

      -  චම්මින්ද වෙලගෙදර .

හද පුදසුන

මුදා හැලුණු දිගු වරලට

සිනහ පිපුණු  මුව කමලට...

ඉඟ  සොලවා ඔමරි පපා

නිතඹ සලා යන ගමනට...

නීල නුවන් පෙති විදහා

හොරැහින්  කළ ඇරයුමකට...

පිටුපා යන්නට සිත නැහැ

ඒත් බයයි මම නෝනට...

තරු අමුණා රටාවකට

මල් වියනක් ගොතලා ...

ජීවිතයේ රස මුසු තැන්

එය මතුපිට තියලා...

ආදරයේ හද පුදසුන

සඳසාවිට පුදලා...

නැලවී සැනසෙමු සැමහට

 සෙත සාමය පතලා.....

  -  ඇන්ජලා පැල්පොළ  -

පෙදරේරුවා ඔබය.

කාලයේ විවිධ පරාල මත

ආදරය යැයි කී

බොහෝ උළුකැට සතපවා

අව් වැසි වලට හිස දෙන

වහලක් නොමැති

පෙදරේරුවා ඔබද?

දඩස් ගා

උදෑසන

කඩාවැටුණු පසු හිස මත

ඇය නම් වූ නිවහන

තනා නිම කරනට පිටවන

පෙදරේරුවා ඔබද?

අහසට අත් දික් කරන

තට්ටු පිරි

මාළිගා දැක දැක

ඈ මුව කමල මැලවෙන විට

ආදරේ ලස්සනම වචන

සිනා මේසන් හැන්දකින් අනා

සුසුම් පොදි බිම හෙලන

පෙදරේරුවා ඔබද?

මිනුම් පටියක් ගෙන

අන් මුවඟ

සිනා

මැන මැන

හඬ හඬා යන ලෝකයක

සල්ලඩයකින්

දිවියේ දුක්ඛ වැලිගල්

හල හලා යන්න

සිහින මවන

පෙදරේරුවා ඔබද?

   -  නජිලා අධිකාරි  -