ජේ. ආර්. - ප්‍රේමදාස ධාර්මිෂ්ඨර් පාලකයන් ගේ දැඩි මර්දනයට එරෙහිව ගාල්ලේ අපි පෙළ ගැහුණෙමු. ඒ කොළඹ සංගම් දෙකට පරිබාහිරව ඇරඹුණු පළමුවැන්න යි
කියවන්න!
යමක් උකහා ගත හැකි නම් උරා ගන්න.
නැත්තං කුණුකූඩයට දමන්න
එය ඔබ සිතැඟි අනුව යි
සැපත සතුට යනු හුදෙක් මායාවක් ම ය. එහෙත් අපි හැම ඒ මායාවේ ගිලී සිටින්නෙමු. මොකදැයි කියනවා නම් අප නෙතු ඉතා දැඩි සේ තිමීර පටලයකින් වෙළී ඇති හෙයිනි. ඒ තිමිර පටලය තෘෂ්ණාව ය. තණ්හාව ය.
ලෝකයේ ඇති එකම සත්‍යය නම් අප - සියලු සත්වයන් නිබඳව ම කරපින්නා හිටින්නේ දුක ම බව යි. ලෝකය පිරී තිරී පැතිර ඇත්තේ ඒ දුකෙන් ම ය. එහෙත් අපි ඒ සත්‍යය බැහැර කොට මුළාවෙන් අන්ධව සැප ය සතුට හොය හොයා නිමක් නැතිව දුවන්නෙමු. දුවන්නෙමු. බලන්න සිහි බුද්ධියෙන් ඒක ගැන හොඳට සිහිකල්පනාවෙන්.
ඒසේ කියමින් මා ද දුවන්නේ, හඹා යන්නේ ද, මුළාවෙන් වෙළී ඇති සතුට හොය හොයා ම ය. එනිසා ම මේ සටහන් මුළාවින් මුළා වී මෙසේ අකුරු කරන්නෙමි.
මා අද මෙහි තබන මේ සටහන දුක්ඛය නම් ඒසත්‍යය දැන දැනම සතුටක් ගැන කතා කරන්නට කැසකැවීම, මහිත ම විසින් ම රවටා ගැනීමකි. ඒ බව මැනවින් පසක් කොට ගෙන සම්මතයේ පිහිටා කතා කරන්නට යත්න මොන තරම් බොරුවක් ද.
හිතවත! හිතවතිය!!
පෙරේදා (28) වැනිදා 2024. 07. 28 දින හවස් භාගයේ සුන්දර අත්දැකීමකට මුහුණ දුන්නෙමි. ඒ උපහාර උළෙලකි. උපහාර උත්සවය වෙන කවුරුන් වත් වෙනුවෙන් නොව මා උදෙසා යි. ඊට මහ ලොකු පිරිසක් සහභාගී වී සිටියේ නැත. ගණනින් කිවුවොත් ආරාධිතයින් එකසිය හැත්තෑවක පමණ පුද්ගල පිරිසකි ඊට හවුල්ව හුන්නේ. ඒ කියන්නේ මට ආදරය කරනා පිරිසේ ගණන ම දැ යි කියන්නට මට හරිහැටි දැනීමත් තේරුමක් නැත.
කොහොම වුණත් එවන් පිරිසක් හෝ එක්රොක්ව හෝරා තුනක තරම් කාලයක් මා වෙනුවෙන් මිඩංගු කරන්නට ඒ සුධීමත්හු රොක් වී හිඳීම කෙසේ නම් අගය කරන්න ද? දහසකුත් එකක් වැඩ රාජකාරි අතපසු කොට ඔවුහු ගාල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ රැස්වීම් ශාලාවේ අසුන්ගතව හුන්හ.
මේ ආරාධිතයෝ ද අනාරාධිතයෝ ද බොහොම සාන්තදාන්ත තීන්ත කූඩු සේ අසුන්ගතව සිටීම මා සලකන්නේ මා කෙරෙහි දැක්වූ ළෙන්ගතුකමක් හැටියට යි, ආදරයක් ගෞරවයක් නිසා නොවන්නේ දැ යි මම මගෙන් ම ප්‍රශ්න කළෙමි. ඒ ගෙදර ඇවිත් රාත්‍රී දෙකට පමණ සයනගත වීමෙන් අනතුරුව යි.
මේ උපහාර උළෙල නම් කර තිබුණේ ''සුගත හරසර" යනුවෙනි. මා උදෙසා පැවති සුගත හරසර අභිනන්දන උත්සවය පැවැත්වුණේ ෙඑතිහාසික ගාලුපුරවරය මධ්‍යයේ, 'කළූවැල්ලේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයීය ශ්‍රවණාගාරයේ ය. එය වායුසමීකරණය කරන ලද අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක් නොවේ.
ඊයේ පස්වරු තුනට උළෙල පැවැත්වීමට සංවිධායකයෝ තීන්දු කර තිබුණහ. උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධනයෝ ය.
සුගත හර සර සංවිධානය කරන ලද්දේ ගාල්ල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදී එකමුතුව විසිනි. ඊට ගාල්ලේ මාධ්‍යවේදීන් ගොනුවී ඇති සංවිධාන පහක් හෝ හයක් හෝ අත්වැල් අල්ලා ගෙන නගරයේ ව්‍යාපාරික සගයන් කීපදෙනකු ගේ සහාය ද ලබා ගෙන තිබුණි.
දකුණු පළාත් රාජ්‍ය නැටුම් කණ්ඩායම විසින් මාත් මගේ ප්‍රිය බිරින්දෑත් දියණියන් තිදෙනාත් පුතණුවනුත් පෙරටු කරගෙන රැස්වීම් ශාලාවට කැඳවා ගෙන එන ලද්දේ ඊට නුදුරුව පිහිටි නාටු කෝවිල ඉදිරියේ සිට යි.
මා හා පවුලේ සාමාජිකයින් කැන්ඳා ගෙන ඒමට මූලික වූයේ ද මාධ්‍යකරුවන් හා අර ව්‍යාපාරික හිතවතුන් කිහිප දෙනා යි. ඔවුන්ගෙන් ද මූලිකත්වය ගත්තේ ගාලුපුරේ ප්‍රකට ව්‍යාපාරික එම්. එස්. ඒ. චන්ද්‍රසිරි හා රුහුණු රෝහලේ සභාපති රවි කලංසූරිය සකියන් දෙන්නා ප්‍රධාන තවත් හිතවතුන් ය.
ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය සගයන් එකට එකතු වී මෙවන්නක් කිරීම ම කාගෙ කාගෙත් පැසසුමට ලක්විය යුත්තකි. එය ගාල්ලේ නොව සමස්ත දේශයෙහි ම අපේ වෘත්තියේ විතරක් නොව සෙසු ක්ෂෙත්‍රයන් හි සේවයේ නියුතු සුවහසකට ද ඉමහත් ආදර්ශයක් යැ යි මට සිතේ.
කොහොම වුණත් හැමදාම රටට ආදර්ශයක් සැපයීමට මුල් වූයෝ දකුණේ උදවිය යැ යි සිහින් අභිමානයක් ද හිතේ දරාගෙන ගාල්ලේ වත්මන් මාධ්‍යවේදීන්ට හා සබුද්ධික ව්‍යාපාරික සකියනට ශීර්ෂය නමා ගෞරවාචාර දැක්වීම මගේ යුතුකමකි.
ඉදින් සබඳ!
ඔබට කියන්නට බොහෝ කරුණු කාරණා ''සුගත හරසර" නමින් මා ඇගැයීමට ගාල්ලේ හා දකුණේ මාධ්‍ය සගයින් ගේ එකමුතුවෙන් පැවැත්වීම ගැන ඇති නමුදු මා ගැන මා පම්පෝරි දෙසා බෑමක් සේ සිතන්නට ඔබ සිත කියා දෝ යන සාදාරණ සැකයක් මසිත් හි පවතී.
කොහොම වුණත්,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධයන් ද මා පිළිබඳ ඇගැයීමක් කළ අයුරු ද මාතර සිට පැමිණි, රුහුණු විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාරිනී සන්ධ්‍ය කහඳගමගේ මැතිනිය ද, ජනාධිපති සම්මානලාභී ලේඛක, දේශක හා පරිවර්තක කාර්යයෙහි නියැළෙන ආචාර්ය ගාමිණි කුමාර විතාන මැතිතුමා ද, මා හා ඇත්තට ලිවීමට අත්පොත් තබන ලදුව, ටිකකලකින් ගුරුවෘත්තියට පිවිස ඉංග්‍රිසි බස අපේ දරුවන්ට පමණක් නොව මාලදිව්යින් හි දරු දැරියනට ද පොවන ලද රජයේ ලියාපදිංචි භාෂා පරිවර්තකයකු සේ වැජඹෙන මහින්ද පී. ලියනගේ සොවුරාණන් ද පළ කළ අදහස් කෙතරම් අගනේ ද යන්න වටින්නේ මට නොව මගේ දූ දරුවනට ඔවුන් ගේ දරුවනට හා රටේ සමස්ත මතු පරපුරට යැ යි සිතේ.
ඉදින් හැකි වුවහොත් ඒ අභිනන්දනීය වූ වංහුං ඔබ නෙතට හසුකරන්නට බලන්නම්.
සුගත හරසර උළෙලේ මුලසුන රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු සිංහල අධ්‍යයනාංශයේ අංශ ප්‍රධානි මහාචාර්ය අඟුළුගහ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ දැරූහ. උන්වහන්සේ ගේ ගුරු හිමිපාණෝ අපවත් වී වදාළ මීපේ සෝරත නාහිමිපාණන් ය.
1980 මහා වැඩ වර්ජනයෙන් රැකියාව අහිමිවී හුන් මට උන්වහන්සේ කළ උදව් උපකාර කෙතරම් ද?
කණුමුල්දෙණියේ චන්දවිමල හිමිපාණන් වහන්සේ යනු අමරපුර මහ නිකායේ සිරි සද්ධම්මවංශ නියුක්තික නිකායේ වත්මන් මාහිමිපාණන් වහන්සේ ය. මාහිපාණෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපතිත්වය දරන්නාහ. උන් වහන්සේගේ ගුරු හිමිපාණෝ අපවත්වී වදාළ මුල්ලෙවත්තේ චන්ද්‍රසිරි නාහිමයන් ය. ගාල්ල කොටුවේ පිහිටි සියලු සාන්තුවරයින්ගේ විද්‍යාලයේ හෙවත් ඕල් සෙන්ට් කොලීජියේ (ගාල්ල මධ්‍ය මහා විද්‍යාලයේ) උප විදුහල්පති ධූරන්ධරව ඉමහත් සේවයක් කළ කිසිදු විටෙක අයුක්තියට අසාධාරණයට නිහඬ වතක් නොපෑ චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේ ගාල්ල හා තදාසන්න ප්‍රදෙශයන් හි ශාසනික ආගමික සංස්කෘතික හැම කටයුත්තක දී ම අනුශාසනා දෙමින් කළ මෙහෙය සුළුපටු නොවේ.
උන්වහන්සේ විසින් අරඹන ලද ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පත්තරකාරයන්ට හැම විටක ම සෙවණ සැලසූ පින් බිමකි. අප දිගු කලක් පුරා උන්වහන්සේ ඇසුරු කළේ සතියකට දවස් දෙක තුනක්, තුන හතරක් හිමිපාණන් බැහැ දූටුවෙමු.
අප එහි යන්නට එන්නට හුරු පුරුවී සිටිය බව ද පත්තර දිවියට වසර පණහක් සපිරෙණ මේ මොහොතේ ඉතා ආඩම්බරයෙන් සඳහන් කරන්නට කැමැතිය. එසේ සඳහන් නොකරන්නේ නම් අප ද කෘතගුණය නොදත්තකු වනු මගේ පපුව මට ම කියනු ඇති.
මා කෙරෙහි මහත් සේ හිතෛෂීභාවයක් ඉතා තරුණ කල පටන් ම දැක් වූ පාල යනු චන්ද්‍රසිරිට කවුරුත් කියන ආදරණීය පට බැඳි නමයි. අද ද එසේම ඒ සොඳුරු ඇසුර එලෙසින් ම පවතින්නේ අප අතර විවිධ විෂයන් කෙරහි පවතින මත හා තර්ක සියල්ල එකිනෙකාට අනුව තේරුම් බේරුම් කර ගන්නට ඇති හැකියාව නිසා ද?
ගාල්ලේ සියලු වාම දේශපාලනඥයින්ට පාල සගයා නැතිව ම බැරිය. කොටුව තුළ දිවිගෙවන ඔහුගේ නිවහන ලොක්කන්ට මෙන් ම සොක්කන්ට ද පාරාදීසයක් යැ යි කිවහොත් වැරැද්දක් නැතැ යි මට හැඟේ.
එෙතිහාසික ගාලුපුරවරෙයේ තවත් ජනතුඩ තුඩ රැව් දෙන නමක් සතු කරගත්තෙකි මහේන්ද්‍ර විජේසේකර සකියා. ඔහු ව්‍යාපාරිකයෙකි. හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි. ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපතිවරයකු සේ ද හුන් මහේන්ද්‍ර ගේ පියාණන් ගාල්ලේ සමූපකාර රෝහල නිර්මාණය කිරීමෙහිලා පුරෝගාමියා වූ සුන්දර මිනිහෙකි. අද ගාල්ල නගරයේ මෙන් ම තදාසන්න ප්‍රදේශවල ජනතාවට ගාල්ල සමූපකාර රෝහලෙන් හා එහි කාර්ය මණ්ඩලයෙන් සිදු වෙන අනගි සේවාවට මහේන්ද්‍රගේ පියාණන් කොයිබක හෝ සිට තුටුවනු ඇති.
මහේන්ද්‍ර ම හා ඇසුරට පත්වන්නට පෙර ඒ පවුලේ ඔහු ගේ බාප්පා කෙනකු (මවගේ නැගණියකගේ සැමියා වූ) රාජා අලහප්පෙරුම සගයා හා පැවතියේ දිගු ඇසුරක් බව ඔහුට කෘතවේදීත්වය දක්වමින් සටහන් නොකළොත් මා නරුමයෙකි.
ඉදින් සබඳ! මහේන්ද්‍රගෙන් 'සුගත හරසර' වෙනුවෙන් ද සිදු කෙරුණේ මහත් ම මහත් වූ සේවයකි. පාල මෙන් ම මහේන්ද්‍රයන් ද මට මෙන් ම බොහෝ උදවියට බොක්කෙන් ම කෙරනා උපකාර කෙසේ නම් අමතක කරන්න ද?
සුගත හරසර අභිනන්දනෝත්සවය ගැන රටට ලෝකයාට කියන්නට පුවත් පත් මෙන් ම ූපවාහිනී නාලිකා ද කළ බව සිහිපත් කළ යුත්තේ ම ය. එහිලා නෙත්තියෙහි ම තබන්නට මට සිදු වන්නේ 'මොනරා' පත්තරේ ය. මොනරා පත්තරේ කතුවර ආරියනන්ද දොඹගහවත්ත සකියා ගේ මගපෙන්වීම මත මාත්තෙක්ක දිවයින පත්තරේ සේවයේ නියුතුව හුන් පුෂ්පා ඉලංගන්තිලක සොවුරිය දුරකතනයෙන් මා අමතා කීවේ තානායම්පල්ලා මට කතා කරාවි කියායි. ඈ ඒ තොරතුර මගේ කනේ තබා විනාඩි දෙක තුනකින් තානායම්පල්ලා හෙවත් රංජන් ගාමිණි ජයවර්ධන සකියා මට කතා කොට වංහුං ගොඩක් අසා ගත්තේ ය.
මොනරා හි කිරුළ අතිරේකයේ 06 වැනි පිටුවේ පත් ඉරුව තීරුවේ පත්තරකාරයෙක් කියන එක තරම් ආඩම්බරයක් තවත් නෑ' හිසින් රංජන් ගාමිණි මගේ වංහුං ඔබට කියවන්නට ලියා තිබිණි. එහි පිටු සැකසුම් ශිල්පියා ද කදිමට පිටුව සරහා තිබිණි. දොඹේටත්, පුෂ්පා නැගණියටත්, තානායම්පල්ලාටත් බොහොම පින්!
සුමුදු චතුරාණි ජයවර්ධන සිළුමිණ නියෝජ්‍ය කතුවරිය පෙර ඉරිදා දිනෙක සුගත හරසර පුවත පළ කරන්නට තරම් දයාබර වූවා ය. සුමුදු කෙල්ලටත් නොවක් තුති.
මා හවුරුදු තිහක තරම් කාලයක් දාඩිය මුසු කළ දිවයින පත්තරේ ද පුංචි හෝ ඉඩකඩක් වෙන් කළ මිතුරා නාරද නිශ්ශංක ද මේ වෙලාවේ සිහිපත් නොකර බැරි ය.
ජාතික රූපවාහිනියේ ද සුගත හරසර වෙනුවෙන් ඔවුන් ගේ ගුවන් කාලයෙන් චුට්ටක් හෝ වෙන් කිරීම ද සතුටක් දනවන්නකි.එහිලා පුරෝගාමී වන්නට ඇත්තේ අශොක් ප්‍රියන්ත යැ යි මට සිතේ.
අසෝක ප්‍රියන්ත යනු හබරාදූව නිජබිම කරගත් උණකාරයෙකි. ඒ උණකාරයා දක්ෂයෙකි. කැමරාව බුහිටි කරගත්තු අසෝක සුගත හරසර උපහාර දක්වද්දී ඔහු විසින් සැකසූ රෑපාවලිය බෝ දෙනාගේ පැසසුමට ලක්වන සේ නිමහම් කරන්නට ඔහු කළ කැපකිරීම අමතක කළ නොහැකි ය.
දක්ෂිණ මාධ්‍ය මධ්‍යස්ථානය විසින් ද එවන් රූපාවලියක් ඉදිරිපත් කරන්නට මගේ අතුපැලට සපැමිණ කාලය මිඩංගු කළ රවීන්ද්‍ර ලියනගේ ද සමන් කුමාර ද ලසන්ත ද ගත්තු වෙහෙස සටහන් කළ යුත්තේ ම ය.
ඉදින් මගේ පම්පෝරියේ ඉතිරි ටික ද කියවන්නට ඇරයුම් කරමි.
ගාල්ලේ ඇරඹි ප්‍රථම පුවත්පත් කලාවේදී සංගමය නිර්මාණය වූයේ ජේ. ආර්. - ප්‍රේමදාස ධාර්මිෂ්ඨ පාලනයේ දුර්දාන්ත ක්‍රියා කලාපයට එරෙහිව යි.
එදා අද මෙන් පත්තරකාරයින් ගොඩක් හිටියේ නැත. අපි ප්‍රේමදාසගේ මාධ්‍ය මර්දනයට එරෙහිව පෙළ ගැසුනෙමු. ඊට ඈඳුණේ පත්තරකාරයින් දහතුන් දෙනෙකි. අපි පාලනයේ කිරිරුකම්වලට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩා සමාජය ඉස්සර සිට කළ විරෝධතාවයට වික්ටර් අයිවන් හෙවත් පොඩි අතුල, සුනන්ද දේශප්‍රිය, ලූෂන් රාජකරුණානායක, වැනි චරිත ද ඊට කැඳවා ගතිමු.
ගාල්ල දිස්ත්‍රික් ජනමාධ්‍ය සංවිධානයේ භාපති ධූරයට සහෝදර පුවත්පත් කලාවේදීන් විසින් මා නම් කළෝ එක පයින් ය. ලේකම් දිවංගත යටියන පුස්පකුමාර ය. අයිලන්ඩ් පත්තරේ ජයසේන විජේරත්න ජ්‍යෙෂ්ඨයා උපදේශක ය. ඩී. සිරිවර්ධන, උප සභාපති වෙද්දී නියෝජ්‍ය ලේකම් ගැමුණු චන්ද්‍රලාල් සගයා පත් කෙරුණි.
රවීන්ද්‍ර චන්ද්‍රලාල්, ආරියසෝම නාගොඩ විතාන, යක්කලමුල්ලේ ජයසුන්දර, වදුරඹ යසපාල, සංඛ විජ්සූරිය, අක්මීමන ගුණපාල, හබරාදූවේ කුලසේන, හබරාදූවේ ජී. එල්. ඒ. ආරියරත්න, දයා මුතුකුමාරණ, අපේ කණ්ඩායම විය.
හැබැයි පිරිසක් හැටියට දහතුනක් හෝ දාහතරක් හෝ වුව ද ඉතා ශක්තිමත් පදනමක් අප සතු විය. එනසා ම ප්‍රේමදාසට එරෙහිව පෙළගැසී අප කළ පළමු විරෝධතාවයට රජයේ මෙන් ම බැංකුවල හා පෞද්ගලික අං්‍ශයේ ද පිරිස් දාහකට වැඩි පිරිසක් ඈඳා ගන්නට සමත් වූ බව මේ සටහන තබන මැදියම් රැය ඉක්ම හතළිස් පස් වැනිවිනාඩියේ දී වුව කිසියම් ආඩම්බරකාරී හැඟීමක් ම සිත මෝදු වෙන්නේ අතීතකාමය සූප්පු කරන්නට ඇති ආසාව හෙවත් තණ්හාව නිසාබව මට ඉතා පැහැදිලි ය.
ඒ වන විට රිච්ඩ් පතිරණ මෙන්ම අමරසිරි දොඩන්ගොඩ ද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වූහ. ඒ 1983 පැවති අතුරු මැතිවරණවලින් ලද ඔවුන් ලද ජයෙනි.
රිචඩ් පතිරණ මෙන් ම අමරසිරි දොඩන්ගොඩ යන මන්ත්‍රීවරුන් ම විසින් අමතන ලද්දේ රිචඩ් සහෝදරයා, දොඩන් සහෝදරයා යනුවෙනි.
විරෝධතවය ගැන රිච්ඩ්ට කී විට ඔහු මට කීවේ ''හොඳයි. සුගතෙ... ඒ එන හැමෝටම මගෙන් දහවල් කෑම... " ඔහු ගාල්ලේ හැව්ලොක් පෙදෙසේ පිහිටි චීන අවන්හලේ (එය චීන ජාතිකයකුගේ) හිමිකරුගේ පුතාට අවශ්‍ය දෑම දෙන සේ පවසන ලද බව කීය.
අපි පැය දෙකකට වැඩි කාලයක් විරෝධයේ නියැළුණෙමු. හවස් යාමයේ දන්දන නානායක්කාර සගයා ගේ රෝයල් ඉන්ස්ටිටියුට් වෙත කොළඹින් පැමිණි පිරිස සමඟ අපි ගාල් වූයෙමු. අපේ නඩේ තිහකට වැඩි මිස අඩු නොවේ.
රාත්‍රී දහය විතර වනතුරු අපේ කතාබහ දිග්ගැස්සුණි. ඇවැසි තරමට ඇවැසි සියලු දේ සපයා ගන්නට පත්තරකාරයින් වන අපේ පිරිස සමත් වූයේ නගරයේ ව්‍යාපාරික සමහර හිතවතුන් ද දැක්වූ අනුග්‍රහයේ පිහිටෙනි. චන්දන මැදිහත්ව රාත්‍රී ආහාරය සකස් කරවා තිබුණි.
අප කණ්ඩායම නිතර නිතර මුලිච්චි වෙන පිරිසකි. මා ද පුෂ්පෙ ද, සිරා ද, දයා ද, ගැමුණු ද ගාලු වපසරියේ තොරතුරු රටට ලෝකයාට බෙදා දෙන්නට වරම් ලද්දෝ වෙම්හ. ආණ්ඩුවේ ලේක් හවුස් ආයතනේ ප්‍රාදේශීය වාර්තාකරු වූ ඩී. සිරිවර්ධන (අද අප අතර නැත්තේ ය) ගාල්ල ජනමාධ්‍ය සංවිධානයේ එක නියමුවෙකි. පට්ට යූඇන්පී කාරයෙක් වූ දිවංගත දයා මුතුකුමාරණ සකියා දවස හා සන් පත්තර දෙකේ ගාල්ලේ නියෝජිතයා යි. බොහෝ දෙනෙක් දිවයින පත්තරේට සම්බන්ධ ප්‍රාදේශීය වාර්තාකරුවන් ය.
අප දෙසතියකට වරක් රැස් වූයේ එක එක වරෙකට එක එක තැන්වල ය. බොහෝ විට ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ය. නැත්තන් වක්වැල්ල පාරේ පිහිටි ගුණරතන බෞද්ධ මධ්‍යස්ථානයෙහි ය.
කලක් ගත වෙද්දී දකුණු පළාත් සභාව ඇරඹිණි. එම්. එස්. අමරසිරි මහ ඇමතිවරයා බවට පත් විය. විපක්ෂ නායකයා මාතර බී. වයි. තුඩාවේ ය.
ඔය අතර ඩේලි නිවුස් පත්තරේ වාර්තාකාර කමක් අටවා ගත්තු කවිරත්න නම් ඉං ග්‍රසි ගුරුවරයෙක් අමරසිරි උන්නැහේ ළඟට රිංගා ගත්තේ ය. ඒ ඔහු දේශපාලන විශයෙන් යූඇන්පී කාරයකු සේ ලද පත්වීම හේතුවෙනි.
කවියා අපේ ගාල්ල දිස්ත්‍රික් ජනමාධ්‍ය සංවිධානය ආණ්ඩු විරෝධී සංවිධානයක් සේ හුවා දක්වා අමරසිරි උන්නහෙගෙන් ආණ්ඩු පාක්ෂික පත්තරකාරයින් ගේ සංවිධානයක් අටවා ගත්තේ ප්‍රධාන ඇමතිවරයා ගේ ආශ්ර්වාදයෙනි. ඔහු අප හා හුන් ලේක් හවුස් වාර්තාකරුවන් අපෙන් බිඳවා ගන්නට දත කෑවේ ය.බෙදා පාලනය කිරීම පාලකයින් ගේ ක්‍රමය නිසා අපේ සමහර මිතුරන් කවියා හා එක්වුණි. ඒත් අපි දුබල කරන්නට ඔවුනට නොහැකි විය.
ඒසේ මෙසේ දිගු කලක් පැවති අපේ සංවිධානය ද පෞද්ගලික අවශ්‍යතා ඉස්මතු වී දෙදරා ගියේ ය. .ඊට පසු අපි වෙනත් අයුරකින් ගොඩනැඟුණෙමු.
දක්ෂීණ මාධ්‍ය මධ්‍යස්ථානය බිහිවූයේ මීට වසර කීපයකට පෙර යි. ඔවුන් ශක්තිමත් සංවිධානයක් සේ පෙරමග බලා යයි. මේ අතර තවත් සංවිධාන කීපයක් ම බිහිවූයේ එක එක්කෙනාගේ සිතැඟි අනුව කටයුතු කරන්නට අමුඩ ගසන්නට වූ හෙයිනි.
කුමාර උදයරත්න යනු මේ අය අතර සිටින තවත් දක්ෂයෙකි. ඔහු කිසියම් දෙයකට කකුල තිබ්බොත් සිය අරමුණ කරා කෙසේ හෝ ළඟා වෙන්නේ ය.
'සුගත හරසර' නමින් පත්තරකාරයකුගේ පණස් වසරක සේවය අගැයන්නට පෙරමුණේ රාල සේ යෝජනාව ආවේ රුහුණු මාධ්‍ය කවය සංවිධානයෙනි. එය හික්කඩුවේ නාරිගම උඩුමුල්ලේ පදිංචි දකුණු පළාත් සභාවේ හිටපු ගණකාධිකාරිවරයකු වූ උපාලි දොඩන්ගොඩ සකියා ගේ උවමනාවට කෙරුණු යෝජනවාකි. එය සාර්ථක කර ගන්නට බොහෝ සේ වෙහෙස මාන්සි වූයේ කුමාර උදයරත්න නම් මාධ්‍යකරුවා යි. එමෙන් ම දක්ෂිණ මාධ්‍ය මධ්‍යස්ථානයේ සෙට් එක ද වැඩේට බැස ගත්හ.
මේ ටික නොකියා බැරි නිසා මෙසේ කුරුටු ගෑවෙමි. එය ද කෘතගුණ දැක්විය යුත්තන්ට කෘතගුණ දක්වන් සේ මගේ මෑණියන් මා පුංචි සංදියේ දී ම මගේ ඔළු කට්ට තුළට රිංගවූ අදහසයි. අද වන විට සැත්තෑ හය වසරකුත් මාස එක හමාරක් ජීවිත යාත්‍රාව පදිමින් සිටින මට පුතේ යුක්තියට ගරු කරපං. අයුක්තියට විරුද්ධ වෙයං" යි මගේ මෑණියන් වහන්සේ මට දුන් ඔවා නිබඳවම සිහියට නැංවෙන සේ මගේ ජානවලට කවා ඇති හෙයින් දෝ අද ද කවර බාධක හිරිහැර, දුක්පීඩා, එල්ල වුව ද මගේ අම්මා මට දුන් ඒ උතුම් ඔවදන් නිබඳවම සිහියට ගෙන කටයුතු කරන හෙයින් ගාල්ලේ මාධ්‍යකරුවන් හා ව්‍යාපාරිකයින් පිරිසක් මෙවන් උපහාරයක් ම වෙත පුදන ලද බව මේ රෑ යාමේ ම සිහියට නැඟෙයි.
- සුගතපාල මැන්දිස් -