කුරුටු ගී - 04
ඇත්තකාරයා පොලිස් අත්අඩංගුවට
අපේ රුපියල මස්තබාල්දු කරමින් වැඩ ඇරඹූ ජේ. ආර්. - ප්‍රේමදාස ඩබලගේ ධාර්මිෂ්ඨ සමාජයක් ආණ්ඩුව අධාර්මිෂ්ඨකම් කළේ ප්‍රතිවාදීන් සෑහෙන පිරිසක් ඝාතනය කරමින්. කඩු පිහි වැනි තියුණු අවි ආයුධවලින් කපාකොටා පිරිසක් ආබාධිතයන් කළා. ගේදොර කුඩුපට්ටම් කළා. ගිනිබත් කළා. කළ වින්නැහිය සුලුපටු නෑ.
පොදු මහජනයා ලෝකයේ ඇති සියලු දහදුක් විඳගෙන රටේ බැංකුවලට ණය තුරුස්වෙලා අන්තිම අමාරුවෙන් අසීරුවෙන් අටව ගත්තු ගෙපැල්කොට ජේ. ආර්. - ප්‍රේමදාස බානගේ ගම් නියම්ගම්වල සිරිසැරූ හැත්ත බුරුත්ත ගිනි තිබ්බේ කුඩු පට්ටම් කළේ හිත්පිත් නැති නරුමයන් වගේ. හරියට ම දසබිම්බරක් මාර සේනාව ගම් බිම්වලට එකවර කඩා පාත් වෙච්චි ගානට.
එතකින් නොනැවතුණු ධාර්මිෂ්ඨ නායක ඩබල රාජ්‍ය සේවකයන් දඩයම් කළේ නරුම වූත් චිරස්චීන වූත් පිළිවෙතක් අනුගමනය කරමින්. දොට්ට දැමූ ප්‍රතිවාදී රාජ්‍ය සේවක පුරප්පාඩු, සුදුසුකම් බල්ලන්ට දමල යූඇන්පී සහචරයින්ගෙන් පුරවන ලද්දේ පිළිකුල් සහගත අයුරින්.
කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැති විදිහට කරපු ඒ නොපනත්කම් නිසා පවුල් කීයක් නං එදා ඉඳල අද වෙන තුරු ගෙවුණු හතළිස් හවුරුද්දක, හතළිස් පන් තරම් කාලයක් පුරා දුක් විඳිනව ද?
හැබැයි ඒ කිසිම දෙයක් නොසිදු කළා සේ තමා අද මේ ඇත්තන් ප්‍රජාතන්ත්‍රවාදේ ගැන කතා කරන්නේ. මූලික මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. අම්මෝ!!
----------------------------
ධාර්මිෂ්ඨ ගිලටිනයට හසුවූ එක් පිරිසකි රාජ්‍ය බැංකුවලට බඳවා ගත්තුතුබැංකු සේවකයින්. තුන්හවුල් පාලන සමයේ අවසන් වකවානුවේ ඔවුන් බැංකු සේවකයන් බවට වරම් ලද්දේ. සංඛ්‍යාවෙන් ඔවුන් නමසිය හැත්තෑ එක් (971) දෙනෙක්..
මේ පිරිස වහාම යළි රැකියාවේ පිහිටු වන සේ ආණ්ඩුවට බල කරමින් ලංකා බැංකු සේවක සංගමය විසින් විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා. දිවා විවේකයේ දී පැයක උද්ඝෝෂණයකින් මේ විරෝධය දියත් කෙරුණෙ .
රටේ අවශේෂ නගරවල මෙන් ම ගාල්ලේ බැංකු සේවකයින් අරඹන ලද විරෝධතා ව්‍යාපාරයට ලිපිකරු සංගම් ද ගුරු හා සෙසු වෘත්තිය සංගම් සාමාජිකත්වය ද ඊට හවුල් වුුුණේ පාලකයන් ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන බව සහසුද්දෙන් ම දන්න නසා විතරක් නෙවෙයි. මිනිසුන් ගෙ තියෙන මූලික මිනිස් අයිතිවාසිකම් නරුම විදිහට දඬුකඳේ ගහන කොට අර කලින් කීවා වගේ ලබ්බට තියපු අත පුහුලට්ත් තියනවා නේ. ඒ අයගේ දරුවන්, මාපියන්, සොවුරු සොවුරියන් ද මහත් සේ පීඩා විඳින අයුරු බනං ඉන්න පුළුවන් හිතක් පපුවක් නැති කෙනකුට විතරයි. ඉතින්....
ගාල්ල නගර මධ්‍යයේ දින කිහිපයක් පැවති මේ උද්ඝෝෂණය ඇරැඹුණේ ගාල්ල කොටුවේ පිහිටි අධ්‍යාපන කාර්යාලය අසලින්
ඊට අල්ලපු වැටේ ඇත්තේ ගාල්ල පොලීසිය.
උද්ඝෝෂකයෝ දාහකට කිට්ටු පිරිසක් සටන් පාඨ හඬ නඟමින් කොටුවේ සිට ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට පාරේ අනිත් පැත්තේ විරෝධතාවයේ යෙදෙද්දී ඇත්ත පත්තරකාරයා ඔවුන් රූගත කරන්න පටන් ගත්තා.
පත්තරකාරයා ආවේ ලයන් පොටේ එකේ ඉඳලා. ඒ ෆිල්ම් රෝල් දෙකක් අරගන්න ගිහින්. වෙනදා ගත්තෙ ඩැනියල් ස්ටුඩියෝවෙන්. ඒත් එදා ඒ ඡායාරූප ශාලාවේ කළුසුදු දළසේයා පටල තිබුණෙ නෑ. ඉතින් ඇත්තකාරයා කඩිමුඩියෙ තුන් මූණින් දාඩිය බේර බේරා, හනි හනිකට උද්ඝෝෂකයින් වෙත ආවේ වරෙක දුවමින්. ආපහු වංගියක් කකුල් ඉක්මන් කර කර. ආපහු සැරයක් අඩි කීපයක් දුව දුව.
ගාල්ල ෙමධ්‍යම බස නැවතුම්පොළ ඉස්සරහයි උද්ඝෝෂණය පැවත්තෙන්නේ
මහජන ක්‍රීඩාංගණය ඉස්සරහ. දැන්න නං ඉතින් ඒක ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියක් නෙවැ. ලහිලහියේ නගර මධ්‍යයේ පිහිටි බෝධිය ළඟ සෑම් ගෙ කිරි මණ්ඩල අලෙවිසල අයිනෙන් ඇත්තකාරයා පින්තූර ගන්නවා. උද්ඝෝෂඛයින් ගෙ සටන් පාඨ හඬනැගිල්ල දසත පැතිරෙන්නේ ගාල්ල ම ඒකකෝලහාල කර කර. හුළඟෙ පාවෙන උද්ඝෝකයන් ගේ වේගවත් කෑ ගෑම් සමනල පාලම පැත්තෙන් ඇදී එන හුළඟ වරාය ඉස්මත්තෙන් පාව ගිහින් රූමස්සල කන්දෙ වැදිලා දෝංකාර දෙනවා වගෙ යි.
ඇත්තකාරයා විටෙක මහපාර මැද්දෙ. විටෙක බස්නැවතුම්පොළ ඉස්සරහ පදිකවේදිකාවේ. ඔහොම ඒ් කොනේ මේ කොනටත්, මේ කොනෙන් ඒ කොනටත් යමින් එමින් කඩියෙක් වගේ වැඩ... වැඩ...
ඕන්න ඔය අතර වාරෙ පත්තරකාරයගෙ උකුසු ඇහැට අහුවුණා පොලිස් ලොක්කෙක් පිටියෙ අනිත් අන්තයෙ උද්ඝෝෂකයන් දිහාවට එනවා. බොහොම ගාහ්භීරව. ගරුගාම්භීරව. ඇත්ත කාරයා අඩිටයට දෙකට ඒ පැත්තට ගියේ ඊයක් ඉගිලිච්චි ගානට.
ගාල්ල පොලිසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක තිරිණාකරුසු..... තිරිණාකරුසු....
පැදගෙන ආ යතුරු පැදිය අයින ගාල් කරපු වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ගාලු ක්‍රිකට් සමාජ ගොඩනැගිල්ලට ටිකක් එහා, එහා කියන්නෙ මාතර පැත්තට වෙන්න සටන් පාඨ කිය කියා කෑ මොර දෙන පිරිස වෙතට ළඟා වුණා. මිනිහගෙ අතේ පොලිස් පොල්ලක්. ඇත්ත කාරයාට පේනවා පොලිස් ලොක්කා පොලිස් පොල්ල වනනවා. වනනවා. ඒ කියන්නෙ නිරායුධ බැංකු හා රාජ්‍ය සේවකයන්ට පහර දෙනවා. මිනිහා ඉන්නෙ තනියම. සමහර විට සිවිල් ඇඳුම් ඇඳගත්තු කට්ටියක් හෙම කිට්ටුවෙන් කිට්ටුවෙන් ඉන්න ඇති. නැත්තම් දාහක විතර සෙනඟක් මැද්දට තනි මිනිහෙක් එහෙම කඩා පාත්වෙලා නගරං දමාවියැ.
ඇත්තකාරයා පොටෝ ගන්නවා. ලවක් දෙවක් නැතුව පොටෝ ගහනවා.
ඔහු අත පොලිස් පොල්ලට සටන් ාඨ හඬනංවන්නන් පොල්ල ඉස්සෙන්න වුණේ 5/5 ආණ්ඩුවේ හයිය අරන් හින්දා වෙන්නැති. උද්ඝෝෂකයිිි එක්ක පොලිස් ලොක්කා පැටළුණේ සාමය රකින්න වෙන්නැති. ඒ කතාවකුත් මිනිහා කිව්වා වගේ පත්තර සගයාට මතකයි.
ඔහුගේ පොලිස් පොල්ල ඉහළ ට එසවෙනවා. ඒත් එක්කම ඇත්ත පත්තරකාරයා ගේ කැමරාව ක්‍රියාත්මක වෙනවා. ඔහු රිසි සේ පොලිස් පොල්ල ඔසවන පොලිස් නිලධාරියා සිය කැමරා කාචයට ග්‍රහණය කර ගන්නට ගත් උත්සාහය කීප වංගියක් ම ව්‍යවර්ථ කවුරුන් හෝ ඔහු ගේ ප්‍රහාරයට ඉලක්ක වෙද්දී අනෙකකු ඒ වෙත කඩා පනින හින්දා. එතකොට පොලිස් ලොක්කා වැහෙනවා.
හේ යළි තිරුණානහෙකරසු කැමරාවට රිංගවා ගනිද්දී එය පත්තරකාරයා තමන් ඡයාරූපගත කරන වග පොලිස් ඇහැට අහුවුණා..
ඒ දුටු වහා පොල්ල පහත හෙළන ගාල්ල වැඩ බලන මූලස්ථාන පොලිස් ලොක්කා තම ශිල්ප දැක්වීම පසෙක ලා ඇත්ත පත්තරකාරයා වෙත පැන්නා. ඔහු අල්ලා ගත්තා. පත්තර සගයා ගේ බෙල්ල තදවෙලා. හැබැයි කමීසෙ කොලරය නිසා පොඩි සහනයක දැනුණා. සැණෙකින් පත්තර කාරයාගේ කැමරාව ඩැහැ ගත් පොලිස් උත්තමයා යතුරුපැදිය කරා පිය මනින්නේ පත්තර කාරයා අතකින් අල්ලා ගෙන.
"නගිනවා. නගිනවා සයිකලේට"
ඔහුගේ විධානයට අවනත වන හේ පසුපසට බර දෙද්දීම පොලිස් ලොක්කා ගාල්ල පොලීසිය වෙත පියඹන්නේ ගොදුරක් ඩැහැ ගත්තු උකුස්සකු බඳුව .
ඇත්ත කාරයා කැටිව සිය කාර්යාලයට ආ තිරුණාකරසු දෙතුන් වංගියක් ම ගෝරනාඩු දැා. ඔහු ගේ මුල් ප්‍රශ්නය උද්ඝෝෂකයෝ පෙළපාලිය ඇරඹුවේ කොතැනින් ද යන්න. දෙවැන්න අධ්‍යාපන කාර්යාලය ඉස්සරහින් නේ ද යන්න. තෙවැන්න ඔහුගේ පින්තූර ගත්තේ මොකද කියා.
පළමුවැනි ප්‍රශ්න දෙකට "මං දන්නෙ නෙ" යි උත්තර බැන්ඳ මා අනෙක් ප්‍රශ්නයට " සතියක් තිස්සේ ගාල්ලේ බැංකු සේවකයෝ උද්ඝෝෂණ කරද්දි තමුසෙ එක නිවුස් කෑල්ලක් වත්, පින්තූරයක්කත් එව්වෙ නැ. තමුසේ ගාල්ලේ මොනවද කරන්නේ අයිෂේ. බැරිනං කියනවා අපි වෙන කෙනෙක් පත්තර ගන්න. ඉතින් මං ස්ටුඩියෝ එකට ගිහින් ෆිල්ම් රෝලක් දාගෙන එතෙන්ට ආවා විතර යි "
මා කැටිව පොලිස් චෝදනාගාරයට ආ පොලිස් ලොක්කා "මෙයා බලාගන්නවා' රිසවි රාලහාමිට තරමක සද්දෙට කිව්වා. රිසව් රාලහාමි පත්තරකාරයා යටැසින් බලල කට කෙනකට හීන් හනාවක් නඟ ටග්ගාලා ඒක වහන් කර ගත්තා.
පැයක තරම් කාලයක් ගෙවුණු තැන අබෙයි (ප්‍රේමලාල් අබේසේකර) දේනෙත්ති යන සගයන් දෙන්නගෙ ඉස් කෙළියාව පත්තරකාරයා ගේ නෙත ගැටුණා. ඔවුන් පොලිස් ලොක්කා එක්ක දිග කතාවක නියැළීමෙන් පසු මං කැදෙව්වා. ඊට පස්සෙ මුදා හැරුණා. කිසිම කට උත්තරයක් නං ලියා ගත්තෙ නෑ පොලිසියෙන්.
- ඉදිරියටත් බලමු -