උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

පත්තරකාරයකු ගේ කටු සටහන් හෙවත් කුරුටු ගී – 06

lකුරුටු ගී - 06

 

 

 

 

මේන්න මුල් ම ඇත්ත පත්තරේ. 1964 දෙසැම්බර් මස 14 වැනි සඳුදා ලාංකේය සුවහසක් පොදු මහ ජනයා අතට පත් ඇත්ත මංගල කලාපය යි මේ. 

අපේ දයා ලංකාපුර සහෝදරයාගෙන් ඇත්ත මංගල කලාපයේ මේ පිටපත ලැබුණු වග මෙහි ලා සටහන් කළ යුතුම යි. ස්තුතිය දයාබර දයා අපගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයාට.

ඒ ඇත්ත පත්‍රයේ මංගල කලාපය එළිදැක්වුණු එදවස ඒ සඳුදා දවස සදා අමරණීය දිනයක් බව නොකියා කෙසේ ද?     

95 කෝට්ටේ පාර, කො, 8 ඇත්ත පත්තර කන්තෝරුවේ ලිපිනය යි. 1 වන කාණ්ඩය, 1 වන පත්‍රය, මහතැපැල් කාර්යාලයේ ලියාපදිංචි කළ පත්‍රයකි. දායක වර්ෂයකට රු. 37 යි. දායක සමස රු. 19 යි යනුවෙන් ඇත්ත පත්‍රයේ ලාංචනයට පහළින් සඳහන් වෙනවා. එහි දක්වා ඇති දුරකතන අංකය 9328 ය.

අද දුරකතනයකට අංක දහයක් ඇතත් අදින් හවුරුදු 60 කට පමණක් නොව 1980 දසකයේ ද දුරකතනයකට වූයේ අංක හතරකි.

ඇත්ත පිළිබඳ ඇත්ත යනුවෙනුයි මුල් පිටුවෙ පළ කෙරුණු කතුවැකියෙහි ශීර්ෂය යි

හදිසියේ ම දිනපතා පුවත් පතක් පළකරන්නට යන්තමින්වත් බලාපොරොත්තුවක් නොවීය. නමුත් පසුගිය දින කිහිපය තුළ රටේ දේශපාලන වෙනස්වීම් හා සිද්ධීන් ඇතිවූයේ ගහෙන් ගෙඩි එන්නා සේ එක පිට එක බැගිනි. පුවත් පත් ඒකාධිකාරිය කැඩීමට ගත් පියවරයන් අවසාන වූයේ නයාට පහර දෙන්නට ගොස් පොල්ල කඩා ගත්තා සේය. දැන් නයා කෝපාවිෂ්ඨව පිඹිමින් ප්‍රගතිශීලී ව්‍යාපාරය  පසු පස එළවයි.

ලේක්හවුස් ජනසතු පනතට හා රා පනතට දක්වා ඇති විරෝධය තරම් බලවතුන්ගේ රජය දේශීය හා විදේශීය ප්‍රතිගාමිත්වය විසින් ........ ගන්නා ලද කිසිම පියවරකට ...... පනත්වලින් පමණ වෙන අන් කිසිම.......  වරකින් ප්‍රතිගාමීත්වයට පහරක් නොවැදේ......... පත්‍ර ඒකාධිකාරීත්වය තම අතේ තබා.......

මේ අප සතු ඇත්ත පත්‍රයේ මුල් පිටුවේ කතුවැකියෙහි සඳහන් කරුණු අපහැදිලි හෙයින් පාඨක ඔබ වෙත් හැකි අයුරින් එහි දැක්වෙන කාරණා අකුරු කරන්නට ගත්තු උත්සාහය ද සාර්ථක නැති හෙයින් ඔබට එය දැක ගන්නට සලස්වන්නම්. 

ඇත්ත පත්තරේ මංගල කලාපයේ මංගල කතුවැකිය මෙහි ඔබට කියවන්නට ඇති අපහසුව කෙරෙහි කමන්න යි කාරුණිකව ඉල්ලා සිටිනවා.

එච්. ජී. එස්. රත්නවීර - ඇත්ත ආරම්භක කර්තෘ

ඉදින් සකියෙනි එදා එහෙම පත්තරයක් සාමාන්‍ය ගොවි කම්කරු ජනයාගේ දුක, කඳුළ, වේදනාව ගැන කියන්නට ධනේශ්වරයේ පත්තරවලින් ඉඩකඩක් වෙන් කෙරුණෙ නෑ. ඔන්න ඔය අස්සෙ තමා හඬක් නැති මිනිසුන්ට හඬක් දෙන්න ඇත්ත පුවත් පත ජනතාව අතට පත් කරන්නට හැකියාවක් නිර්මාණය වුණේ.

1964 දෙසුම්බර් මහේ 14 වැනිදා කලඑළි බට ඇත්ත පුවත් පතට වසරක් සපිරුණු දා මාලිනී කෝපිවත්ත නමැති පාඨක කතක් මෙවන් සුබ පැතුමක් කවි කර තිබුණා. ඈ රාජගිරියේ ඔබේසේකරපුර පදිංචිකාරියක්.

දනපති පත්තරවල බොරු           වරුණා                                           ඇත්ත නිසා ටික - ටික මග        හැරුණා                                        ලැබගත් පොදු ජනතාවගෙ         කරුණා                                          ඇත්ත කුමරිට වසරක්               පිරුණා

ඇත්ත ආරම්භක කතුවරයා එච්. ජී. එස්. රත්නවීර සහෝදරයා යි. නියෝජ්‍ය කර්තෘ රිචඩ් විජයසිරි ය. ආරම්භක ඇත්තෙ හි උප කතුවරුන් තිදෙන යි. ඒ ටියුඩර් ජයසූරිය, සුබසීල කොඩිකාර හා උප කතුවර එස්. නිමල් ගුණරත්න. කේ. ඩී. ප්‍රේමචන්ද්‍ර ඇත්තේ කැමරාකාරයා හෙවත් ඡායාරූප ශිල්පියා. 1964 දෙසුම්බර් මහේ 14 වැනි දා ඇත්ත ඇරඹෙද්දී රත්නවීර සහෝදරයා ගේ මෙහෙයවීම මත පත්තරේ සියලු බර කරට ගත්තේ ඕන්න ඔය නම් සඳහන් හය දෙනාගෙන් යුත් සෙට් එක නැත්තං කණ්ඩායමයි. එහෙම ඇරඹුණත් සතියක් දෙකක්, තුනක්, මාසයක් දෙකක් ගතවෙද්දී තවත් දාහතර දෙනෙක් ඇත්තට ඈඳුණා. නැත්තං ඈඳා ගත්තා. ඒ එකුන් පාළොස් දෙනා ද අංක එකේ වැඩකාරයන්. හටන් කාරයන්.   පටන් හවුරුද්දක් ගත වෙන විට මේ චරිත හයට තවත් රොත්තක් එකතු වුණා

ඇත්ත ප්‍රධාන උප කර්තෘ බී. ඒ. සිරිවර්ධන යෝ ය. නැත්තං පොදුවේ කවුරුත් දන්න ඇත්තෙ සිරා ය. ඊළඟට බුද්ධි කීර්තිසේන ය. බුද්ධි යනු පසු කලෙක බුද්ධි බතික් හිමිකාරයා යි. ඔහු ද උපකතුවරයෙක්.

ජැක්සන් සේනාරත්න ප්‍රවෘත්ති කර්තෘ වෙද්දී, සහාය ප්‍රවෘත්ති කර්තෘ වූයේ අර්වින් වීරක්කොඩි ය. අර්වින් වීරක්කොඩි යනු අද හෙළදිව වසනා අංක එකේ වෙළඳ දැන්වීම් ප්‍රචාරක ආයතනයක අධිපති. ඇත්තේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ සිරිලාල් කොඩිකාරයන්.

ප්‍රධාන ඡායාරූප ශිල්පියා නිමල් පිටිපන ය. ඔහු ගේ සහායකයා ප්‍රේමලාල් රණවල වෙද්දී කුලසිරි රාජපක්ෂ ඇත්තේ ඡායාරූප කාර්මික සේ සේවයේ යෙදුණා. වෝල්ටර් වීරසූරිය ද ඇත්තේ කාර්ය මණ්ඩලයේ සගයෙක්. මේ හැම දෙනාට ම හැම විටක ම ඇවැසි සේවකයා ජේ. බාලන්.

 

ඇත්තට හා හා පුරා කියා හවුරුද්දක් ගතවෙද්දී තවත් පිරිසක් ජනතාවට තොරතුරු උණු උණුවේ ලබා දෙන්නට  මහත් සේ කැපවීමෙන් සිය වගකීම් අකුරට ඉෂ්ට සිද්ධ කළ ද ඔවුන්ගේ තොරතුරු අනාවරණය නොකරන්නට රත්නවීර සහෝදරයාත් රිචඩ් විජේසිරි ඇතුළු සගයන් වගබලා ගත්තා.

ඒ මන්දැ යි ඔබ දන්නෙහි ද?                                                                                                                                              ඔවුන් රහස් පරීක්ෂකයන් හා වාර්තාකරුවන් නිසා.